-Malintha Vithanage-
ජාතියේ කතන්දරකරුවා බවට පත්ව සිටින ටෙලිනාට්‍ය ආලින්දයේ සිටින ලාංකේය ප්‍රේක්ෂකාගාරයේ වින්දනය සපයන ප්‍රධානතම ප්‍රබන්ධ කලාව බවට පත්ව සිටී.
ටෙලිනාට්‍ය කලාවක් වශයෙන් යථාර්ථය තේරුම් ගැනීමට ප්‍රධාන උපකාරී මෙවලමක් බව රූපවාහිනිය සම්බන්ධයෙන් සිටින විචාරකයන්ගේ මතයයි. නමුත් ලාංකේය නූතන ටෙලිනාට්‍ය තවදුරටත් කලාවක් වශයෙන් හැඳින්වීම කෙතරම් දුරට ප්‍රායෝගිකද? සහ ගැළපෙනවාද? යන්න පිළිබඳ ඉතාමත් අරපරෙස්සමෙන් යුතුව විමසා බැලිය යුතු ය. වර්තමානයේ රූපවාහිනියේ විකාශනය වන බහුතර ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයාගේ ඇඟේ හැප්පෙන තරමට විකෘති වී ඇත. අති සරල දෛනික ජීවිතයේ අප අසන, කියවන පුවත්පත් වාර්තා හෝ ටෙලිවිෂනයේ ප්‍රවෘත්තිවල සිදුවීමි මෙන් ටෙලිනාට්‍යවල අන්තර්ගත හරසුන් ටෙලිනාට්‍යය දක්නට ලැබේ.
ලාංකේය නූතන ටෙලිවිෂනයේ අටෝරාසියක හරසුන් ටෙලිනාට්‍යය මධ්‍යයේ ටෙලිනාට්‍යයක් යැයි කිවහැකි අපුරු නිර්මාණයක් මේ දිනවල ජාතික රූපවාහිනියේ විකාශය වේ. ඒ ප්‍රවීණ තිර පිටපත් රචකයකු වන රසික සූරවීරආරච්ච් විසින් රචනා කළ 'The Lake' ටෙලි වෘතාන්තයයි.

'The Lake' ටෙලි නාට්‍යයේ කතාව කුතුහලය පිරී Psychological - Thriller ශානරයේ ටෙලි නාට්‍යයකි. Psychological - Thriller ප්‍රධාන ශානරය තුළ ප්‍රවර්ගත වූවත් මෙහි දාම ඝාතක (serial killer) කතාවක හැඩය ගනී. ටෙලි නාට්‍යයක් ලෙස හඳුන්වනවාට වඩා මෙය Tv Series ප්‍රවර්ගයේ ටෙලි නිෂ්පාදනයකි. කතාංග 11කින් සමන්විත පළමු සීසනයේ දිගුවක් ලෙස දෙවැනි සීසන් එක මේ වනවිට විකාශය වෙමින් පවතී. ලාංකේය නාට්‍ය කලාවට මෙම ශානරය අලුත් හැඩයක් ගෙන එන බව ලියුම්කරු සඳහන් කරන්නේ සීසන් ලෙස කතාව ඉදිරිපත් කිරීම සහ මෙම ශානරය බටහිර ටෙලිනාට්‍ය කලාව තුළ සුලබව දක්නට ලැබෙන හෙයිනි.
එම නිසාම Psychological - Thriller ශානරය බරපතළ ලෙස සිනමාව සමඟ ගනුදෙනු කරන ලාංකේය ප්‍රේක්ෂකාගාරයට නම් අලුත් දෙයක් නොවේ. මෙම ශානරය යටතේ හොලිවුඩ්, මලයාලම්, කොරියානු සිනමා හා ටෙලි කර්මාන්තය වැඩි අවධානයක් යොමු කරම්න් සිනමාපට බොහෝ ගණනක් නිෂ්පාදනය කර ඇත. නිදර්ශනයක් ලෙස psychological - Thriller - Serial Killer ශානරයේ ජනප්‍රිය ටෙලිකතා මාලාවක් වූ 'True Detective' වැනි ටෙලි කතා මාලාවක් සඳහන් කිරීමට පිලිවන. පසුගිය දශකය කිහිපය තුළ බොහෝ මනෝවිද්‍යාත්මක - ත්‍රාසය වඩවන විවිධ මාධ්‍යවලින් (චිත්‍රපට, නවකතා , ගුවන්විදුලිය, ආදිය) මතු වී තිබේ. මෙම ආඛ්‍යාන පුරාවටම පොදු ප්‍රවණතා දක්නට ලැබේ. එනම් මරණය, පැවැත්ම, අරමුණ, අනන්‍යතාවය, මනස, සංජානනය සහ යථාර්ථය යන ප්‍රපංච (phenomenons) ඇතුළත් තේමාවන් පෙරදැරිකරගනිම්න් චරිතවලට මානසික ව්‍යාකුලතාවලට මුහුණ දීමට සිදුවන ආකාරය ඇතුළත් ආඛ්‍යාන රචනා වෙයි.
ගුණාත්මක Psychological - Thriller පන්නයේ ටෙලි නාට්‍යයක ලක්ෂණය වන්නේ මිනිමැරුමක්, සොරකමක්, පැහැර ගැනීමක් වැනි සිදුවීමක් සහ එහිම බලෙන් සඟවන යමක් පිළිබඳ තාර්කිකව ගොඩ නඟන ලද විමර්ශනය තත්ත්වාකාරයෙන් කියාපෑමකි. එම විමර්ශනය එක්තරා ආකාරයකින් නොවිසිඳුණු එහෙත් අනෙකාගෙන් තවදුරටත් වසන් කරන එකක් බවට ද පත්වන්නට පිලිවන. සිනමාපටයේ කතාව ද එවැන්නකි. අභිරහස් ඝාතනයක් හරහා සිදුවන එක්තරා ආකාරයක පැටලවිල්ලකි. සූක්ෂම ලෙස සඟවන ලද තොරතුරක් අවසානයේ නිමා නොවන කරදරයකට මැදිවන චරිත කිහිපයක කතාන්තරයක් ටෙලි නාට්‍යය ඔස්සේ දිග හැරෙයි.
මෙහි කතාව ගෙතෙන්නේ කඳුකර ප්‍රදේශයක සිදුවන අභූතරූපි සිදුවීමි දාමයක් වටායි. ඒ ධනවත් තේ වතු හිමියෙකු වන ග්‍රෑන්සන්ඩ් රාමවත්ත යන පුද්ගලයා පාදක කර ගනිමිනුයි. වළව්කාර රදළයකු වන ඔහුට කීත් අප්පු නම් පුත්‍රයකු සිටියි. වලව්වවේ රදැල්ලේ අම්මා හෙවත් රුක්මණි, කොමසාරු, රන්දි නම් ආවතේවකරුවන් ද වේ. ව්‍යාකූල මානසිකත්වයක් සහිත ඔහු හුදකලාව බංගලාවේ සේවක සේවිකාවක් සමග ජීවත් වන්නෙකි. මෙම සිදුවීමට සමගාමීව රූමත් තරුණියන් දෙදෙනෙක් විනෝද චාරිකාවක් සඳහා මෙම බංගලාවට පැමිණීම සිදු වෙනවා.
මෙලෙස පැමිණෙන තරුණියන් එක් වරම අතුරුදහන් වීමට පටන් ගන්නා අතර මෙය සිදු වන්නේ එක් වරක් පමණක් නොවේ. කෙසේ වෙතත් මෙම තරුණියන්ට සිදු වන්නේ කුමක්ද? යන්න අභිරහසකි. තේ වත්ත කෙළවර කුඩා වැවක් පිහිටා තිබෙන අතර මෙම තරුණියන්ට සිදු වන දේ හා මෙම වැව අතර සම්බන්ධයක් ද පවතී.කතා මාලව පුරාවටම මෙම චරිත විසින් ගැටුමි මාලාවක් නිර්මාණය කරනවා. ඒ ග්‍රැන්සන් රාමවත්ත සහ ඔහුගේ අභ්‍යන්තරය අතර ගැටුම, කීත් අප්පු සහ ඔහුගේ අභ්‍යන්තරය අතර ගැටුම, ග්‍රැන්සන් රාමවත්ත සහ කීත් අප්පු අතර ගැටුම, රදැල්ලේ අම්මා සහ කීත් අප්පු අතර ගැටුම, කීත් අප්පු සහ සමාජය අතර ගැටුම සහ බංගලාවට පැමිණෙන ආගන්තුක තරුණියන් දෙපළ සහ මොවුන් පසුපස හඹාඑන ආගන්තුකයන් අතර ගැටුම වේ.

බිය, උමතුව, කම්පනය, වරදකාරිත්වය, ව්‍යාකූලත්වය හෝ මානසික අස්ථාවරත්වය කෙරෙහි අවධානය යොමු කරමින් මිනිස් මනෝභාවය ගවේෂණය කරන්නට 'ද ලේක්' සමත් වෙයි. යහපත හා අයහපත බොඳ වී ඇති සදාචාරාත්මක අපැහැදිලි බවක් කතාව තුළ ගැබ්ව පවතී. සැකයෙන් පිරුණු කතන්දර කීමේ කලාව භාවිතා කරමින් සැඟවුණු සත්‍යයක් පිළිබඳ හෙළිදරව් වීම මෙම ශානරයේ දක්නට ලැබෙන සුවිශේෂි නිරික්ෂණයයි. මේ නිසාම ප්‍රේක්ෂකයන් මෙි චරිත, සිදුවීමි දෙස සාවධානව අසා සිටින, බලා සිටින නිරික්ෂකයන් බවට පත් වීම වළක්වන්නට බැහැ.
'ද ලේක්' ටෙලි නාට්‍යය ධනුෂ්ක රේමන්ඩ් විසින් අධ්‍යක්ෂණය කර ඇත. ඔහු ටෙලි නාට්‍ය වෙනුවෙන් යොදා ඇති අපමණ වෙහෙස සහ ව්ශ්වසනීයත්වයෙන් යුතුව ගොඩ නඟන රූප රිද්මය වැදගත් වේ. කතාංගයෙන් කතාංගයට ප්‍රේක්ෂකාගාරය කණස්සල්ලට පත් නොකර ව්ශ්වසනීයත්වය සහිත කතාවක් පැවසීම සෑම අධ්‍යක්ෂවරයකුටම කළ නොහැකිය. ශිල්පීය උපක්‍රම භාවිතා කරමින් නවතාවයක් නරඹන්නාගේ දෙනෙත් ඇති කිරීම අරමුණ විය යුතුය. තිර පිටපත් රචකයාත්, අධ්‍යක්ෂවරයාත් සාර්ථක වී ඇත්තේ මෙතැනදීය. රූප නිර්මාණය සහ සංස්කරණය ද එකම ශෛලියක පිහිටයි. චින්තන සෝමකීර්තිගේ කැමරාකරණය විසින් ගොඩ නඟන රූප සමුදාය සෞන්දර්ය කැට් වු භීතියක තතු ගෙන එන්නට සමත් වෙයි. දෙබස් සහ සංවාද විසින් කතාව වඩාත් තීව්‍ර කරන ප්‍රධාන සාධකයකි. චරිත විකාශනය, හේතුඵල සම්බන්ධතාවෙන් ද චරිතවල විශ්වසනීය බවත්, මනුෂ්‍ය ගතිලක්ෂණත් ඉස්මතු වෙි. ග්‍රැන්සන් අප්පු, කීර්ති සහ රුක්මණි අතර සම්බන්ධතාව ගැඹුරු සංකීර්ණ මානුෂික අත්දැකීමක් බවට තිර රචනයේ සුසාධිත බව ප්‍රකට කරයි. ටෙලි නාට්‍ය පුරා නළු නිළියන්ගේ රඟපෑම ප්‍රේක්ෂකාගාරයේ වඩාත් අවධානය දිනාගන්නකි. විශේෂයෙන් නළු සෞම්‍ය ලියනගේ, සේවියර් කණිෂ්ක, ජගත් චමිල, නිළි සේමිණි ඉද්දමල්ගොඩ සහ චමත්කා ලක්මිණි රංගනය වඩාත් ප්‍රශස්ථ රංගනයක් ඉදිරිපත් කරන්නට සමත් වෙයි. පසුබිමි සංගීතය ටෙලි නාට්‍ය පුරාවට ලැබෙන කුතුහලය මුසු භයංකාරත්වය දැඩි ලෙස තීව්‍ර කරයි. එය කතා මාලාව තුළ දුටු වැදගත් නිර්මාණාත්මක අංශයකි. 'ද ලේක්' මානසික ව්‍යාකුලතා, ප්‍රේමය, ලිංගිකත්වය, පංති භේදය, ධූරාවලිය, ස්ත්‍රී - පුරුෂ සමාජභාවය වැනි තේමා අරභයා සිදු කළ කදිම නිර්මාණයකි. 'ද ලේක්' (The Lake) ගුණාත්මක ටෙලි වෘතාන්තයක් වශයෙන් කතාංගයෙන් කතාංගයට ප්‍රේක්ෂකයා කුතුහලයේ ශ්‍රාවයෙන් නහවන අගනා ටෙලි ව්‍යාපෘතියකි.

ලිපිය - මලින්ත විතාන්ගේ ( Malintha Vithanage)
(මෙම ලිපිය 2025 අගෝස්තු මස 29 සිකුරාදා දින මුල්වරට දිනමිණ පුවත්පතේ පළ විය.)




