ශ්‍රී දේවිය ගේ 300 වැනි සිනමාපටය
දේවතාවක වන මවකට දූර්ගා, කාලි වීමට අපහසු නොවේ
බොලිවුඩ් පුරවරයේ පළමු සුපිරි තාරකාව ශ්‍රී දේවිය ජූලි හත් වැනි දිනට සමරන්නේ සිනමා දිවියේ පනස් වැනි අවුරුද්දයි. එදින ශ්‍රී දේවියට සුවිශේෂී වන්නේ ඇයට වගේ ම ප්‍රේක්ෂකයන්ට ද ඉංග්ලිෂ් විංග්ලිෂ් නොපරදින තවත් සිනමා පටයක් තිළිණ වෙන නිසාය. මම් (MOM) නම් වන මෙම චිත්‍රපටය ශ්‍රී දේවිය රඟන තුන්සිය වැනි සිනමා පටයයි.
යූ ටියුබයේ මේ සිනමා පටයේ පූර්ව දැන්වීම පළමු දිනයේදී පමණක් නැරඹූ රසිකයන්ගේ සංඛ්‍යාව මිලියන 1.2 කි. හින්දි, දමිළ, තෙළගු, මලයාලම් භාෂා හතරින් සිනමා පටය තිරගත කරන්නේ එපමණට ම ඉල්ලුමක් සිනමා පටයට ඇති නිසාය. එයට භාරතයේ මෙන් ම පකිස්ථානයෙන් ද ලැබී ඇති ඉල්ලුම එක සමානය.
ශ්‍රී දේවිය ප්‍රේක්ෂකයන් තිරයෙන් දකින්නේ ඉංග්ලිෂ් විංග්ලිෂ් තිරගතවී පස් වසරක ඇවෑමෙනි.
“මවකගේ සෙනෙහස කාලයත් සමඟ වෙනස් නොවේ. දරුවන් ඇය සුපිපි පුෂ්පයකි. එහෙත් සතුරන්ට ඇය තියණු මුවහතක් ඇති කඩුවකට නොදෙවැනිය. තවත් අයුරකින් පැවසුවොත් ඇය ලොවට පවසන්නේ දරුවන් ඉදිරියේදී ගැහැනියකට ලක්ෂ්මී, සරස්වතී දේවතාවන් විය හැකිසේ ම දරුවන්ට එරෙහි එදිරිවාදිකම් ඉදිරියේ දුර්ගා, කාලි වීම අපහසු නොවන බවය.
කාන්තාව කේන්ද්‍ර කරගත් ‘මම්’ සිනමා පටයේ වර්තමාන සමාජ ප්රවාහයේ දියණියන් දෙදෙනකු හා ගුරු වෘත්තියේ යෙදෙන මවකගේ අරගලය විවරණය කෙරේ. ශ්‍රී දේවියට අමතරව සෙසු ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ අක්ෂේ ඛන්නා, අභිමන්යුසිං, සජාල් අලි සහ නවසුදින් සිද්දික්ය. කහානි (2012), ගෑන්ග්ස් ඔෆ් වාසිපුර් (2012), තලාෂ් (2012) වැනි සිනමා පටවල අති විශිෂ්ට චරිත නිරූපණයක යෙදුණු සම්මානනීය නළු නවසුදීන් සිද්දික් ශ්‍රී දේවිය සමඟ රඟපෑමට ලැබීම ජීවිතයේ ලද මහඟු භාග්‍යයක් ලෙස සලකයි. ශ්‍රී දේවියගේ දියණියකගේ චරිතය නිරූපණය කරන සජාල් අලි ජනප්‍රිය පකිස්තාන තාරකාවකි. එහි වැදගත් චරිතයක් රඟන අද්හන් සිද්දික් ද පකිස්තාන නළුවෙකි.
අක්ෂේ ඛන්නා මෙහි රඟන්නේ සුදු චරිතයක් නොවේ. ඔහු ද අසමසම තාරකාව ශ්‍රී ෙද්විය හා නවසුදීන් සිද්දික් සමඟ රැඟීමේ සතුට භුක්ති විඳින්නේය.
ශ්‍රී දේවිය ප්‍රධාන චරිතය නිරූපණය කරන සිනමා පටයක ඉඟිය රසිකයන්ට ලැබුණේ 2016 වසරේ මුලදීය. පුවත සැබෑ කරමින් ඇයගේ සැමියා බොනි කපූර්, සුනිල් මන්චන්ද, නරේෂ් අගර්වල්, මුකේෂ් තල්රේජා, ගෞතම් ජෛන් නිෂ්පාදනයෙන් රවි උද්‍යවාර්ගේ අධ්‍යක්ෂණයෙන් රූගත කිරීම් ඇරැඹිණි. නවදිල්ලියේ ශ්‍රී රාම් වාණිජ කොලිජියේ ඇරැඹුණු රූගත කිරීම් අවසන් වූයේ ජොර්ජියාවේ මෙස්ටියාවලිනි.
අමෙරිකාවේ ජොර්ජියාවේදී දෙමාසයක් පුරා සිනමා කණ්ඩායම රූගත කිරීම්වල යෙදුණේ අංශක හතට උෂ්ණත්වය බැස තිබියදීය. දේශගුණය කටුක වුවත් රූගත කිරීම් සාර්ථකව සිදු කෙරිණි. 2017 මාර්තුවේදී අවසාන රූගත කිරීම සිදුකෙරුණේ බැංකොක් නුවරදීය.
‘මම්’ සිනමා පටයේ පෝස්ටරය ප්‍රථම වරට එළි දැක්වුණේ 2017 සී සිනේ සම්මාන උලෙළේදීය. එහිදී ශ්‍රී දේවිය, සල්මන් ඛාන් විසින් හඳුන්වා දෙනු ලැබුවේ අමීර් ඛාන්, සල්මන් ඛාන්, ෂාරුක් ඛාන් යන ඛාන් ත්‍රිත්වයටම වඩා ප්‍රබල තාරකාව ශ්‍රී දේවිය බවය. “මං වගේ ම අමීර්, ෂාරුක්, අක්ෂේ බොහෝ සිනමා පටවල රඟපා තිබෙනවා. අමීර් පනහක් විතර, ෂාරුක් සීයකට වඩා රඟපා ඇති. ඒත් අපි හතරදෙනාම රඟපෑ සිනමාපට ගණනේ එකතුව 250 - 275 කට වඩා නෑ. ඒත් ශ්‍රී දේවිය පුරාවෘත්තයක් බඳුයි. ඇය තුන්සිය වැනි සිනමා පටයත් සම්පූර්ණ කරනවා. වයස අවුරුදු හතරේදී තුනෙයිවන් දමිළ සිනමා පටයේ මුරුගා දෙවියන්ගේ කුඩා විය නිරූපණය කරමින් ශ්‍රී දේවිය රංගනයට අත්පොත තැබුවේ 1967 ජූලි 7 වැනිදාය. ඇය බොලිවුඩයට පිය මැන්නේ ජූලි (1975) සිනමා පටයෙනි.
ඉහළ ම පුරවැසි සම්මානයක් වන පද්ම ශ්‍රී, ෆිල්ම්ෆෙයාර් ඇතුළු සම්මාන ගණනාවකින් ම පිදුම්ලද ශ්‍රී දේවිය අමිතාබ් බච්චන් සමඟ රඟපෑම පවා ප්‍රතික්ෂේප කළ අවස්ථා ද තිබේ. එසේ කළ එකම තාරකාව ඇය ම වන්නීය වාගේම අනූව දශකයේ රුපියල් කෝටියකට ආසන්න මුදලක් රංගනයට අය කළ එකම නිළිය ද ඇයයි.
‘මම්’ දෙස ලොවම දෑස් දල්වා බලා සිටීමේ රහස ශ්‍රී දේවිය වන්නීය. ශ්‍රී දේවියගේ ‘මම්’ සමඟ රන්බීර් කපූර්ගේ ජග්ගා ජසූස්, සායිෆ් අලි ඛාන්ගේ ‘චෙෆ්’, ශ්‍රද්ධා කපූර්ගේ හසීනා සිනමාපටවලට උග්‍ර සටහනක් දීමට සිදුවනු ඇත.
අන්තර්ජාලයෙනි
චම්පිකා දීපානි රණසිංහ
රසඳුන