චෙක් ජාතික යුදෙව් ලේඛක ෆ්රාන්ස් කෆ්කා මුල් වරට සිංහලයට හඳුන්වා දුන්නේ ප්‍රවීණ කලා විචාරක බෙනඩික්ට් දොඩම්පෙගම යැ යි සිතමි. 1967 දී ඔහු ලියූ ‘දසදෙසින්’ නම් වූ පොතේ එක් පරිච්ඡේදයක් වෙන් ව තිබුණේ කෆ්කා වෙනුවෙනි. කෆ්කාගේ සාහිත්‍ය නිර්මාණ ගැන ‘බෙන්’ පොදුවේ මෙබඳු අදහසක් පළ කළේ ය: “මිනිස් සන්තානයේ චාරිකා බඳු ඔහුගේ කෘති මිනිසාගේ සදාකාලික ඝට්ඨන පිළිබිඹු කරන්නේ ය. මිනිස් ජීවිතයේ ඛේදජනක ස්වභාවය කෆ්කාගේ කෘතීන්ගෙන් නිරූපණය වෙයි” (පිටුව 9).
ෆ්රාන්ස් කෆ්කා යනු තෝමස් මාන්, ජේම්ස් ජොයිස්, මාසල් ප්රූට්ස් වැනි සාහිත්‍යධරයන් හා සම මට්ටමේ තැබිය හැකි විශිෂ්ට ලේඛකයෙකි. ඔහු ලීවේ නවකතා තුනක් පමණි. ඒ ‘ද ට්‍රයල්’ The Trial (‘නඩු යන්නෝ’ සහ ‘නඩු විභාගය’ නමින් මෙහි සිංහල පරිවර්තන දෙකකි), ‘ද කාසල්’ The Castle (‘බලකොටු මාලිගය’) සහ ‘අමෙරිකා’ America ය. ඒ හැරුණු කොට ඔහු කෙටිකතා ගණනාවක් හා වෙනත් ලේඛන ද ලියා ඇත. තමාගේ මරණයෙන් පසු ස්වකීය සියලු කෘති පුලුස්සා දමන්නැ යි කෆ්කා ඉල්ලීමක් කළත් ඔහුගේ මිතුරු මැක්ස් බ්‍රෝඩ් එයට පිටුපාමින් ඒවා අනාගත පරපුර උදෙසා ඉතිරි කර තැබුවේ ය.
කෆ්කාගේ නිර්මාණයක් මුල් වරට සිංහලට නැඟුවේ කේ.ජී. කරුණාතිලක විය යුතු ය. ඔහුගේ ‘දණ්ඩන කඳවුර’ (1975) නමැති පරිවර්තිත කෙටිකතා සංග්‍රහයේ එන එනමින් ම යුත් කෙටිකතාව කෆ්කාගේ ය.
කෆ්කාගේ නවකතාවක් මුල් වරට සිංහලයට නැඟීමේ ගෞරවය ජී.ඩබ්ලිව්. නන්දිසේනට හිමි විය යුතුය. ඒ, කෆ්කාගේ ‘ද කාසල්’ නවකතාව ‘බලකොටුව’ නමින් පරිවර්තනය කිරීම හේතුවෙනි. ඉන් පසු මෙය ‘බලකොටු මාලිගාව’ නමින් ටෙනිසන් පෙරේරා ද පරිවර්තනය කළේ ය. ‘ද ට්‍රයල්’ නන්දිසේන අතින් සිංහලයට නැඟුණේ ‘නඩු විභාගය’ නමිනි. ‘ද ට්‍රයල්’ නවකතාව ‘නඩු යන්නෝ’ නමින් ද, ‘මෙටමොෆෝසිස්’ Metamorphosis කෙටිකතාව ‘රූපාන්තරණය’ නමින් ද ටෙනිසන් අතින් සිංහල භාවයට පත් විය. ‘මෙටමොෆෝසිස්’ කෙටිකතාව (‘රූප විපර්යාසය’ නමින්) ප්රමුඛ කෆ්කාගේ කෙටිකතා 15ක් කේ.ජී. කරුණාතිලක සිංහලට පරිවර්තනය කළ බව ද මෙහිලා සිහි කට යුතු ය.
කෆ්කා අන්තර්ජාතික ව මෙන් ම ජාතික ව ද සාහිත්‍යය කෙරෙහි නොමඳ ප්රභාවක් පෑ ලේඛකයෙකි. ඔහුගේ ‘මෙටමොෆෝසිස්’ කෙටිකතාව කියවා ගර්ෂියා මාර්කේස්ගේ දෙනෙත් නිලංකාර වී ගිය ආකාරය ලෝක සාහිත්‍යයේ වන සුප්‍රකට ප්‍රවාදයකි. මාර්කේස් ඒ සම්බන්ධයෙන් මෙසේ කියා ඇත:
“මගේ ආත්තම්මා පුරුදු වී සිටි ආකාරයට මම වයස දහහතේ දී ‘මෙටමොෆෝසිස්’ කියවූ විට මට ලේඛකයකු විය හැකි බව මං වටහාගත්තා. යෝධ කුරුමිණියකු බවට රූපාන්තරණය වී එක් උදෑසනක අවදි වන්නට ග්‍රෙගෝර් සම්සාට හැකි වූ ආකාරය දැක්ක ම මට මට ම මෙහෙම කිව්වා: ඔබට මෙය කළ හැකි යි කියා මා දැන හිටියේ නෑ. ඒත් ඔබට ඒක පුළුවන් නම් මම නිශ්චයට ම ලේඛන කලාව ගැන කැමැත්තකින් ඉන්නවා.”
ඇල්බෙයා කැමූ, රෙක්ස් වෝනර් මෙන් ම සැමුවෙල් බෙකම්, යුශේන් අයනෙස්කෝ වැනි විකාරරූපි නාට්‍යකරුවන් කෙරෙහි ද කෆ්කාගේ බලපෑම ප්‍රකට ව ඇත.
අපේ සාහිත්‍යධරයන් අතරින් කෆ්කානු බලපෑම වඩාත් දක්නා ලැබෙන්නේ සයිමන් නවගත්තේගම හා අජිත් තිලකසේන යන ලේඛකයන් කෙරෙහි ය. සයිමන් ලියූ ‘සාගර ජලය මදි ඇඬුවා ඔබ සන්දා’ (1971) කෙටිකතා සංග්‍රහයේ ප්රස්තාවනාවේ ද ඉහත නමින් ම යුතු පිටු එකසිය තිස් ගණනක් පමණ දිග කෙටිකතාවේ ද කෆ්කා ගැන කියවෙයි. එපමණක් ද නො වේ. කෆ්කාගේ ‘මෙටමොෆෝසිස්’ හි කතානායකයා අපරූප සතකු වන්නා සේ මේ කෙටිකතාවේ ප්‍රධාන චරිතය මීයකු බවට රූප විපර්යාස වෙයි.
කෆ්කාගේ ජීවන චරිතය අපූර්වත්වයෙනුත් පුදුමාකාර බවකිනුත් පිරී ඇත. ඔහු ඉතා සංවේදි හදවතක් තිබූ මිනිසෙක් විය. ජීවත් වන්නට මී හරක් හමක් තිබිය යුතු යැ යි කෆ්කා වරක් කියා ඇත. එහෙත් ඔහුට එබඳු හමක් නොතිබිණි. කෆ්කා ඇත්තට ම ‘පිටස්තරයෙකි’. ‘කැමූ හා කෆ්කා’ නමින් පොතක් ලියන ඕ.ටී. පෙරේරා කෆ්කාගේ මේ පිටස්තරවාදි බව ගැන මෙසේ කියයි:
“ඇත්ත වශයෙන් ම කෆ්කා අයිති වන්නේ කොහාට ද? යුදෙව්වකු නිසා ඔහු ක්‍රිස්තු භක්තියෙක් ද නො වේ. එහෙත් යුදෙව් ප්‍රතිපත්ති අනුගමනය නොකරන හෙයින් නියම යුදෙව්වෙක් ද නො වේ. ජර්මන් භාෂාව කතා කරන හෙයින් චෙක් ජාතිකයෙක් ද නො වේ. ජර්මන් භාෂාව කතා කරන යුදෙව්වකු හෙයින් නියම බොහීමියානු ජාතිකයෙක් ද නො වේ. බොහිමියානුවකු වශයෙන් ඔස්ට්‍රියාවට ද ඔහු අයිති නො වේ. ඉන්ෂුවරන්ස් සමාගමක නිලධරයකු හෙයින් මධ්‍යම පන්තියට ද අයිති නො වේ. මධ්‍යම පන්තික දෙමවුපියන්ගේ පුතකු හෙයින් කම්කරු පන්තියට ද අයිති නො වේ. තමා ලේඛකයකු බව දන්නා හෙයින් කාර්යාලයේ දී ද ඔහු අමුත්තකු බවට පත් වෙයි. එහෙත් ඔහුට ලේඛකයකු ලෙස ජීවත් වීමට ද අපහසු ය. මක් නිසා ද යත්: පවුලේ කටයුතු වෙනුවෙන් සිත යොදන්නට සිදු වන නිසා ය” (පිටුව 81).
රජය, ආගම හා සමාජ සංස්ථා විසින් මිනිසා අසරණ භාවයට පත් කරනු ලැබ ඇති බව කෆ්කා මෙන් ම ඔහුගේ නිර්මාණවල එන චරිත ද මුහුණ දෙන සිදුවීම්වලින් පෙන්නුම් කෙරේ.
කෆ්කාගේ නවකතාවල එන චරිත නියුරෝනීය (Neurosis) පුද්ගලයන් බව චාල්ස් නීඩර් නම් වූ විචාරකයා පවසා ඇත.
දාර්ශනිකයකු වූ ෆෙඩ්රික් නීට්ෂේගේ බලපෑම කෆ්කා කෙරෙහි තියුණුව වී යැ යි කියවෙයි. තමා ද නීට්ෂේ මෙන් ම දුක් විඳින්ට ඉපිද ඇතැ යි ඔහු වරක් කියා ඇත.
කෆ්කාගේ කෘතිවල එන චරිත පැහැදිලි ව ම වටහාගැන්මට නම් ඔහු තම පියාට සහ පෙම්වතියට ලියූ පෞද්ගලික ලියුම් උපයෝගි කරගත යුතු යැ යි ඇතැම්හු පවසති. කෆ්කාගේ කෘති ඉංග්‍රීසියට නැඟූ ‘ඉඩ්රිස් පෙරී’ නමැති ලේඛකයා එබඳු අදහසක් දැරුවේ ය. කෙසේ වෙතත් මෙය රෝලන්ඩ් බාත්ගේ ‘කතුවරයා මැරිලා’ සංකල්පය අභියෝගයට ලක් කරන්නකි.
කෆ්කා දේශපාලනික වශයෙන් ගත් විට වාමාංශික මතධාරියෙක් වූයේ ය. ඔහු ඇතැම් අවස්ථාවල දේශපාලන රැස්වීම් පවා අමතා ඇත (එහෙත් මිලාන් කුන්දේරා පවසා ඇත්තේ කෆ්කා දේශපාලන චරිතයක් නොවන බව යි).
කෆ්කාගේ සාහිත්‍ය නිර්මාණ පාඨකයකුට ලෙහෙසියෙන් කියවා තේරුම් ගත නොහැකි ය. වරක් තෝමස් මාන් නමැති සුප්‍රසිද්ධ ලේඛකයා කෆ්කාගේ නවකතාවක් ශ්‍රේෂ්ඨ විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින්ට කියවන්න දුන්නේ ය. ඔහු එය නොකියවා ආපසු තෝමස් මාන්ට ම දුන්නේ මෙසේ කියමිනි:
“මනුෂ්‍යාගේ මනස ඔය කියන තරම් සංකීර්ණ නැහැ.”
කෆ්කා පිළිබඳ අනැගි හැඳින්වීමක් ශොන් පෝල් සාත්‍රෙ කර ඇත. ඒ මෙසේ ය: “ඔහු අපගේ යුගයේ ජීවත් වූ ශ්‍රේෂ්ඨ ගණයේ කලාකරුවෙකි.
(අභාවප්‍රාප්ත සුනිල් මිහිඳුකුල 2016 වසරේ සිළුමිණ පුවත්පතේ පළකළ ලිපියකි.)