ලෙස්ටර් මහත්තයා "රේඛාව" හදන්නට එළියට බහින කතාව සිනමාව දන්නා හැමෝටම අලුත් කතාවක් නොවේ. අවුරුදු 97ක් වයස ලෙස්ටර් මහත්තයා තාමත් මේ රටේ සිනමාව ගැන, වෙනදේ ගැන හොඳින් බලා සිටීම පිනකි. "රේඛාවේ" පටන් අද දක්වා ලංකාවේ සිනමාව කොතරම් දුරට ප්‍රේක්ෂකාගාරය වර්ධනය කරගත්තද යන්න අමුතුවෙන් සොයා බැලිය යුතු නැත. දැවැන්ත සිනමාකරුවන් රැසකගේ අවංක වූ මෙහෙයුම හරහා අතිසාර්ථක චිත්‍රපට පෙළක් ලංකාවේ සිනමාවට එක්වන්නේ රටේ සිනමා කර්මාන්තය විචිත්‍රවත් කරමිනි.
එය කෙතරම් කාලයක් දුරට වර්ධනය වූවාද යන්න ගැටලුවකි. ඩී.බී. නිහාල්සිංහ මහතා චිත්‍රපට සංස්ථාවේ සභාපති වූදා සිට අද දක්වා චිත්‍රපට සංස්ථාව කෙතරම් සිනමාව වර්ධනය කරන්නට වෙහෙසුණාද? තාක්ෂණය සිනමාවේ උපරිමයට ළඟා වී සිටින සිනමා ලෝකයේ අප රටේ නිර්මාණකරුවන් නිසි ලෙස තාක්ෂණය යොදාගත්තාද? ඩිජිටල් තාක්ෂණය කෙතරම් නිවැරදි ලෙස අප සිනමාව ග්‍රහණය කරගත්තාද? මේවා ප්‍රශ්න මිස උත්තර නොවේ.
තිස්ස අබේසේකර මහතා චිත්‍රපට සංස්ථාවේ සභාපති වී චිත්‍රපට හදන්නට ණය දෙන්නේ කාටද? ඒ සිනමාකරුවන් 5 දෙනාට සිනමා කර්මාන්තයට තඹ සතයක දායකත්වයක් ලබාදෙන්නට හැකිවුණාද? ණය ව්‍යාපෘතියම අතරමග නතර වුණා පමණක් නේද? අඩු තරමින් මේ 5 දෙනාගෙන් දෙදෙනෙකුටවත් ජනප්‍රිය චිත්‍රපට දෙකක් කරන්නට භාරදුන්නා නම්, සංස්ථාවේ ණය ටිකවත් පියවා ගන්නට තිබුණා නොවේද? අප රටේ සැමදා වන්නේ මේ වගේ පක්ෂග්රාහී වැඩ පමණක්මය. ලාභ ලබන්නට බැරි කර්මාන්තයකට පැවැත්මක් නොතිබීම අරුමයක් වන්නේ නැත.
නිහාල්සිංහ මහතාගෙන් පසු පත්වූ සභාපතිවරුන්ට සිනමාව කර්මාන්තයක් ලෙස වර්ධනය කරන්නට අවශ්‍යතාව තිබුණාද? පත්වූ කිසිම රජයකට මෙය කර්මාන්තයක් ලෙස දියුණු කිරීමට කිසිදු උවමනාවක් තිබුණාද? මේ සියල්ල ප්‍රශ්න හැර මේවාට පිළිතුරු නොමැත.
එක්තරා කාලයක අපට ඇසෙන්නේ අපූරු ප්රතාපවත් සිනමාකරුවන්ගේ නම් මිස, කෝඩුකාරයන් නොවන වග පැහැදිලිය. ලෙස්ටර්, ටයිටස්, නිහාල්සිංහ, සේනසමරසිංහ, යසපාලිත නානායක්කාර, සුනිල්සෝම පීරිස්, ලෙනින් මොරායස්, සුමිත්‍රා පීරිස්, වසන්ත ඔබේසේකර, ධර්මසේන පතිරාජ, ධර්මසිරි බණ්ඩාරනායක ඇතුළු මහා දැවැන්ත සිනමාකරුවන්ය. මොවුන් කළේ සම්මාන සොයා සිනමාව මෙහෙයවීම නොව, සිනමා ශාලාවලට මිනිසුන් රැගෙන එන සිනමාවක් නිර්මාණය කිරීමය. ඔවුන්ට එදා තිබුණේ කර්මාන්තය හා නිෂ්පාදකවරයා දිනාගැනීමේ ඉතා සුළු අරමුණ පමණක් වන්නට ඇත. ඒනිසා ප්‍රේක්ෂකාගාරය පිරී ඉතිරි යන අතිවිචිත්රවත් සිනමා නිර්මාණ සිංහල සිනමාවේ මතක අතරට එකතුවී හමාරය. පසුව අද කාලයේ අපට අසන්නට ලැබෙන්නේ ප්‍රසන්න, හඳගම, උදයකාන්ත, සෝමරත්න, ජයන්ත චන්ද්‍රසිරි, ජැක්සන් ඇන්තනී, මහාචාර්ය සුනිල් ආරියරත්න වැනි අතළොස්සක් වූ නිර්මාණකරුවන්ය. මේ කී දෙනෙකුට කර්මාන්තයට එක සතයක් එකතු කරන්නට පුළුවන් වුණාද? සමහරක් නිර්මාණ මහා පරිමාණයෙන් මුදල් වියදම් වී ඒවාවත් පියවා ගන්නට නොහැකිවූ තැන කර්මාන්තයට නිෂ්පාදකයෙකු අහිමිවුවා නොවේද? මේ අතරින් සෝමරත්න, අඩු වැඩි වශයෙන් උදයකාන්ත, මිනිසුන්ට කොකා පෙන්නමින් හෝ ගිරිරාජ් වැනි කිහිපදෙනෙකුට හැර තමන්ගේ වියදමවත් පියවාගන්නට අපොහොසත් වීම මෙහි බරපතළකම හොඳින් දැනෙනවා නේද? මේ සියලු දේ සිදුවන්නේ මෙම කර්මාන්තය ඕපපාතික වී පෞද්ගලික අරමුණ කරා සිනමාව මෙහෙයවීම නිසා නොවේද? ජාත්‍යන්තර සම්මාන රටට කීර්තියක් ගෙන එන එක ගැන අපිට ආඩම්බරය. නමුත් රටේ කර්මාන්තය එමගින් පවත්වාගෙන යන්නට හැකිවේද යන්න බරපතළ ගැටලුවකි. තනි තනිව ලබනා ජයග්‍රහණ කරා වර්තමාන සිනමාකරුවන් නිර්මාණකරණයේ යෙදීම මේ මහා ඛේදවාචකයට මුල බව ඉතාම පැහැදිලිය.
එක්තරා කාලයක House Full බෝඩ් ලෑල්ල දැක කී සැරයක්නම් අප සිනමා ශාලා අසලට ගොස් ආපසු හැරී එන්නට ඇද්ද? ගාමිණී, මාලිනි, විජය, ස්වර්ණා, නීටා, ගීතා, සබීතා, දිල්හානී, මර්වින්, ඩොමී, ඇන්තනී, ප්‍රෙඩී, කරූ, රොබින්, රෙක්ස්, සංගීතා මේ නම් වැල ඉතා දිගය. චිත්‍රපට බලා ඇවිල්ලා ඒ අය නිසා අපි හිතින් මොනතරම් ජරමර කරන්නට ඇද්ද?
උදේට පිපී රෑට පරවී යන, රෑට පායා උදේට නැති වී යන සේ දකින නළු නිළි රැසක් පමණක් අපිට වර්තමාන සිංහල සිනමාවේ ඉතිරි වී ඇත. එයින් බොහෝ නිළියන් අපි හඳුනා ගන්නේ සමාජයේ වැරදි දේ වලින් මුදල් ඉපයීම නිසා ඇතිවන ප්‍රවෘත්තිවලින් නොවේද? දැන් ඉන්න බොහෝ නිළියන්ට අවශ්‍යවන්නේ චිත්‍රපටයක හෝ ටෙලිනාට්‍යක රඟපා ඊට පසුදින සල්ලිකාරයෙකුගේ බෙල්ල මිරිකා සල්ලි ටික උදුරාගැනීම නොවේද?
ලෝකයේ හොලිවුඩ් සිනමාව, බොලිවුඩ් සිනමාව, කොලිවුඩ් සිනමාව ලෙසින් ලෝ ප්‍රකට නම්වලින් වැජඹෙන යුගයක ලංකාවේ සිනමාව සෙලිවුඩ් සිනමාවක් කරන්නට අපේ සිනමාකරුවන්ට කවදා නම් හැකිවේද? මේ සුවිශේෂී නම මා ඇස ගැටුණේ FB පිටුවකය. ඒ නම අපේරටේ සිනමාවට කෙතරම් ආකර්ෂණීයද යන්න මට හැඟුණි. කෙදිනක හෝ ලංකාවේ සිනමාව ලෝක සිනමාවේ සෙලිවුඩ් සිනමාව ලෙස මුණගැසෙන දිනය උදාවනු ඇත. ඒ මේ රටේ කර්මාන්තයට ආදරය කරන රජයක්, නිර්මාණකරුවන් මේ රටේ බිහිවන දවසකය.
කැලුම් පාලිත මහීරත්න
(සාරවිට)