සෝමලතා මිස් ඒ දුර බැහැර ගමන නික්ම ගොස් වසර දෙකකුත් ඉක්ම ගිහින්.
ඒ නිමිත්තෙන් මෙවරත් ඇය පිළිබද තැන තැන මතක සටහන් ලියැවෙනු ඇත. ඇය අප වෙත තබා ගිය ශිල්ප ඥානය, දැනුම, සෞන්දර්යාත්මක රසය සහ ජීවිත පරිඥානය පිළිබද කෘතඥතා පූර්වක ස්මරණයන් කෙරෙනු ඇත.
ඇය වෙනුවෙන් සුපුරුදු පරිදි සාම්ප්‍රදායික වාර්ෂික සැමරුම් උත්සවද වතාවත්ද පැවැත්වෙනු ඇත.
කෙසේ වතුදු, සෝමලතා මිස් සෙවණේ හැදුණු, ඇයව සමීපව ඇසුරු කිරීමේ භාග්‍යය ලැබුණු බොහෝ අයට නම් ඇය සදාකාලිකව ජීවමානය. කුඹුක්ගහදූවේ රංග පීඨයේ නිති පතා කෙරෙන නාට්‍ය පුහුණු වීම් අතරතුරත්, ඇය විසින් නිර්මිත නාට්‍යය රග දැක්වෙන වේදිකා මතත්, නේපත්‍යාගාර තුළත්, නාට්‍ය දර්ශන සදහා නළු නිළියන්ද වේදිකා පසුතලද රැගෙන දුර බැහැර යන බස් රථ තුළත්, විවේක වේලාවන්හී කහට බිබී කෙරෙන වාද විවාද, නිමක් නැති සංවාද, සාමීචි අතරතුරත් සෝමලතා මිස් නාමය අතිමහත් භක්ත්යාදරයෙන්ද, සැහැල්ලුමත් ප්‍රීතියෙන්ද, විටෙක දරා ගනු බැරි සාංකාවකින්ද යුතුව යළි යළිත්, යළි යළිත් අනුස්මරණය කෙරෙනු ලබයි. එසේම ඇගේ නාට්‍ය නරඹන ප්‍රේක්ෂාගාර තුළත්, ඇය ලියූ පෙළ හදාරන පාසල් පන්ති කාමර සහ විශ්ව විද්‍යාල දේශන ශාලා තුළත්, රසික, විද්වත් සංවාද මණ්ඩප තුළත්, අධ්‍යාපනය ඇතුළු කලා සංස්කෘතික ප්‍රතිපත්ති පිළිබද තීන්දු තීරණ ගන්නා නොයෙක් සභා මඩුළු තුළත් ඇගේ අදහස්, නිර්මාණ සහ ඥානය නිරන්තරයෙන් ඇගයුමට, පැසසුමට සහ සාකච්ඡාවට ලක් වෙයි.
ඇය අසලක නැතත්, අදටත්, රටේ සතර දිග්බාගයෙන්ම පැමිණ, ඇය සැදූ පාසලේ, ඇය ලියා ගිය පාඩම් වලින් පෙහෙණි වන දරු කැලැත්තකි.
සෝමලතා සුබසිංහ නම් වන ඒ විශිෂ්ට කලා ශිල්පිනිය සමාජයට දායාද කළ අපූර්ව නිර්මාණ පිළිබදවත්, අප රටේ ළමා සහ යොවුන් පරපුරේ රසාස්වාදය වෙනුවෙන් ඇය අතින් ඉටු වූ මහාර්ඝ මෙහෙවර පිළිබදවත්, වේදිකා නාට්‍ය ක්ෂේත්රයේ උන්නතිය උදෙසා ඇය ඉටු කළ විසල් වැඩ කොටස පිළිබදවත් යම් යම් අවස්ථාවල සවිස්තරාත්මක සදහන් කෙරී ඇත. එසේම රංගන ශිල්පිනියක ලෙස ශ්‍රී ලාංකීය වේදිකාවට සහ සිනමාවට ඇය එක් කළ කෘතහස්ත රංගනයන් පිළිබදවත් වරින් වර ඇගයීම් පළ වී ඇත. සෝමලතා සුබසිංහ ගේ නාට්‍ය පිටපත් සහ අධ්යක්ෂණ කාර්යය යනු පර්යේෂණ උපාධි නිබන්ධන කිහිපයකින් ගෙවේෂණය කළ යුතු ගැඹුරු ශාස්ත්රාලීය විෂයකි. ඒ බරපතල කාර්යය සපුරාලීම ඊට නිසි සුදුසුකම් ඇත්තන් විසින් බාරගනු ඇත. ඇගෙන් ගුරුහරුකම් ලැබූ ශීෂ්යාවක හැටියට ඇය පිළිබද මා තබන මේ කෙටි සටහන, පරම්පරා කීපයක ගෝල බාල රොත්තකගේ ගුරුවරියක, භාරකාරියක ලෙස ඇය ඉටු කළ සොදුරු ඇදුරු භූමිකාව පිළිබද මතක ආවර්ජනයකි.
බොහෝ ඇසූ පිරූ තැන් ඇති ආචාරිනී
සෝමලතා සුබසිංහ බිහි වන්නේ අපේ රටේ කලා සංස්කෘතික ක්ෂේත්රයේ වස්සාන යුගයකයි. විශ්ව විද්‍යාලවල නව පර්යේෂණ, අත්හදාබැලිම් සිදුකෙරුණු, විද්‍යාර්ථීන් ගැඹුරු ශාස්ත්‍රීය හැදෑරීම්වල නිරතවුණු, දේශපාලන මතවාද පිළිබද දියුණු සංවාද කථිකා පැවැත්වුණු සාරවත් යුගයකයි. ඒ යුගයේ බිහිවූ නිර්මාණකරුවන් තුළින් විශද වූ බොහෝ ගුණාංග අද අප සමාජයේ කලා සංස්කෘතික ක්ෂේත්රයේ නිරත නිර්මාණකරුවන් හෝ ශිල්පින් තුළ දකින්නට ලැබෙන්නේ නැත. පසුගිය දශක ගනණාවක් තිස්සේ අප රට තුළත්, සමස්තයක් ලෙස ලෝක මට්ටමිනුත් ඇති වූ අවාසනාවන්ත සමාජ, ආර්ථික දේශපාලන පෙරළි හමුවේ, කලා සංස්කෘතික ක්ෂේත්රය විශාල අපගමනයකට ලක් වී ඇති බව අපට පිළිගන්නට සිදුවෙයි. ඒ නිසා තවදුරටත් සෝමලතා සුබසිංහ ගණයේ ගුරුවරුන් අපේ ඉදිරි පරම්පරාවල දරුවන්ට ලැබේයැයි සිතන්නට අපහසුය. ඒ ඔවුන් වැන්නන් බිහි කළ යුගය දැන් නිමා වී ඇති බැවිනි. එසේ සිතන විට, සෝමලතා සුබසිංහ මිස්ගේ සමීප ගෝලයන් ලෙස ඇගේ සෙවණේ හැදී වැඩෙන්නට හැකි වූවෝ, විරල භාග්‍යවන්තයන් නොවන්නේද?
ඇසූ පිරූ තැන් ඇති බව මහානුභාවසම්පන්න ගුරුවරයෙකුගේ ලක්ෂණයකි. ඒ නයින් ගත් කළ අපේ සෝමලතා මිස් බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තියකි. ඇය ඒ යුගයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලය කේන්ද්‍රකොටගෙන බිහි වූ අන් බොහෝ ශාස්ත්‍රඥයන් සේ, පරිපූර්ණ ද්විභාෂිකයෙකි. සිංහල සහ ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම සාහිත්‍යය හදාරා තිබූ ඇය පෙර අපර දෙදිගම සම්භාව්‍ය කලාකෘති ඇසුරු කර තිබුණාය. විරල පොත් පත් පිරුණු මහගු පුස්තකාලයක් ඇය සතුව තිබුණි. ගමක ඉපිද, ගැමියන් අතර හැදී වැඩී, නගරයේ පාසල්වල ඉගෙන ගත් ඇය අපේ රටේ ගැමි ජන ජීවිතයත්, නාගරික ජීවිතයත් ඉතා හොදින් අදුනා ගත්තාය. එසේම විදෙස් රටවල්වල සංචාරය කරමින් විදෙස් කලාකරුවන් සමග වැඩකරමින් වඩා පුළුල් ලෝක අත්දැකීම්ද ලැබුවාය. ඒ සියල්ල ඇසුරෙන් ඇය ලෝකාවබෝධයද පොදු මනුෂ්‍යා පිළිබද තම සියුම් ඥානයද වඩ වඩා පෘථුල කර ගත්තාය. සැබැවින්ම සෝමලතා සුබසිංහ යනු, ‘ශ්‍රී ලාංකීය ජාත්‍යන්තර’ කලාකාරියකි. මෙහිදී මා ජාත්‍යන්තර යන වචනය පාවිච්චි කරන්නේ, අන්තර්ජාතික සම්මාන උළෙලවල් නියෝජනය කිරීම හෝ, විදේශ නිර්මාණ වලට දායක වීම හෝ යන පටු අර්ථයෙන් නොවේ. මා එයින් අදහස් කරේ ඇය තුළ තිබූ පෘථුල ලෝක දෘෂ්ටියයි. පොදු මනුෂ්‍යයා පිළිබද ඇය තුළ වූ ගැඹුරු අවබෝධයයි. ජාති ආගම්, දේශ සීමා ඉක්මවා ගොස් මනුෂ්‍යයා දෙස සහානුකම්පාවෙන් බැලීමේ විවෘතභාවයයි. ලෝකයේ විවිධ සම්ප්රදායයන්ගෙන්, ශෛලීන්ගෙන් ආභාසය ලැබීමටත්, නිර්මාණකරයේදී ඒවා දේශීය ශෛලීන් සමග මනාව පදමට මුසු කරන්ටත් ඇය තුළ වූ විරල ප්රතිභාවයි.
විශාල පරාසයක විහිදුණු හැකියාවන් රැසක් සෝමලතා සුබසිංහ සතු විය. වේදිකා නාට්‍ය පිටපත් රචනය, අධ්‍යක්ෂණය සහ රංගනය යන අංශ ත්‍රිත්වයෙහිම ඇය හසල වූවාය. සාම්ප්‍රදායික උඩරට පහතරට නැටුම් හදාරා තිබුණාය. එසේම, බැලේ, ලතින්, රුසියානු ආදී නොයෙක් බටහිර නර්තන සාම්ප්රදායන්ගේ මූලික අඩි, හැඩතල ආදිය පිළිබදවද ඇය තුළ මනා දැනුමක් තිබුණි. ඇය දක්ෂ චිත්‍ර ශිල්පිනියක ද විය. පෙර අපර දෙදිග නොයෙක් ගායන ශෛලින් සහ නාද රටා පිළිබදවද ඥානයක් ඇය සතු විය. මේ පෘථුල දැනුම නිර්මාණකරණයේදී ඇයට මහගු සම්පතක් වූවා පමණක් නොව, නන් දෙස විහිදුණු දැනුමින් සපිරි ගුරුවරයෙකු ලෙස සිය භූමිකාව ඉටු කරන්නට ද විශාල වශයෙන් ඉවහල් විය.
සෝමලතා මිස් වචනයේ පරිසමාර්ථයෙන්ම ගුරුවරියක වූවාය. ඇය හැදින්වීමට ගුරුවර යන වචනයට වඩා වෙනස් වචනයක් සොයා ගන්නට මා වෙහෙස වුවත් මට මේ ලිපිය ලියා නිම කරන තුරුම එය සොයා ගත නොහැකි විය. ඒ මගේ භාෂා ඥානයේ අඩුපාඩුවක් විය යුතුය. ඉංග්‍රීසි භාෂාවෙන් Mentor යන වචනයට දී ඇති අරුතට සමාන අරුත් නගන වචනයක් සිංහල බසේ නැති විය නොහැකිය. ප්‍රඥාවන්ත ආචාර්යවරයා, මගපෙන්වන්නා, එළිය සදන්නා, භාරකරුවා වැනි වචන කීපයකින් ඉස්මතු වෙන අරුතක් එයින් ඇගවෙයි. අද අප ගුරුවරයා යැයි කියන්නේ හුදෙක් එක් නිශ්චිත විෂයක් හෝ ශිල්පයක් කියා දෙන්නාට වුවත්, ඊට බොහෝ එහාට ගිය පුළුල් භූමිකාවක් සෝමලතා මිස් ගේ යුගයේ ඇය වැනි ගුරුවරුන් අතින් ඉටු විය.
සෝමලතා මිස් ආරම්භ කළ කෝට්ටේ ළමා හා යොවුන් රංග පීඨය, එකල බොහෝ දෙනෙකුට නේවාසිකව ශිල්ප හදාරන තක්සලාවක් වැන්නක් විය. සෝමලතා මිස්ගේ භූමිකාව පැරණි යුගයේ දිසාපාමොක්, ගුත්තිල ආදී ආචාරවරුන් අනුගමනය කළ භූමිකාවට සමාන එකක් යැයි කීම වරදක් නොවේ. ඇය සිය සෙවණේ රංගනය හදාරන්නට පැමිණි දරුවන්ට, ශිල්ප කියා දෙන ගුරුවරයා මතු නොව, ඔවුන්ගේ භාරකරයා, මග පෙන්වන්නා, ජීවිතය කියාදෙන්නා ද විය. රංගනය යනු වැඩමුළු කිහිපයකට සහභාගි වීමෙන් උගත හැක්කක් නොව, ජීවිතයේ සෑම අවස්ථාවක් තුළින්ම නිරන්තරයෙන්ම හැදෑරිය යුතු, අභ්‍යාස කළ යුතු , විෂයක් බව ඇය ඇදහුවාය. බොහෝ දිනවලදී නාට්‍ය පුහුණුවක් අවසානයේ ඇය සිය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට කුමක් හෝ විෂයක් අලලා දේශනයක් පවත්වයි. විටෙක පුහුණුවීම් අතරතුරදී වගකීම් විරහිතව හැසිරුණු විනෝදබර ගෝලයෙකුට තදින් කරන අවවාදයක් හැටියට ආරම්භ වන එය රටේ ලෝකයේ තත්කාලින සමාජ දේශපාලන තත්ත්වයන් ගැන කරන විග්‍රහයක් දක්වා දිග් ගැහෙයි. ඇසූ පිරූ තැන් ඇති, නිතර පොත පත පරිශීලනය කරන, උගැන්වීමේ අනුරාගය සහිත ගුරුවරයෙකුට, තමන්ට උගන්වන්නට නියමිත විෂයට බාහිරව සිය ගෝලයන්ට කියා දෙන්නට කොපමණ නම් දේවල් ඇතිද?
සෝමලතා මිස් සිය ශිෂ්‍ය ශිෂ්‍යාවන් සමග ගෙන ගියේ වර්තමානයේ අප ගුරු ශිෂ්‍යයන් වෙතින් දකින ආකාරයේ සම්බන්ධතාවකට වඩා බෙහෙවින්ම වෙනස් එකකි. ඇය සිය ගෝලයන් මත, සැර අප්පච්චී කෙනෙක් තම දරුවන් කෙරෙහි පවත්වන ආකාරයේ සොදුරු ආධිපත්‍යයක් දරුවාය. නාට්‍ය පුහුණුවීම් වලදීත්, වේදිකාව මතදීත් ඔවුන් වෙතින් ඉතා තද ශික්ෂණයක් අපෙක්ෂා කළ ඇය, එය කඩ කරන ගෝලයන්ට සැර බැනුම් බැන්නාය. ඇතැම් විටෙක කෝටු වලින් පවා තරවටු කළාය. නමුත් ඒ සෑම විටෙකම පාහේ ඇගේ දෑස් සිනාසෙනවා මම දැක ඇත්තෙමි. නාට්‍ය නටන්නට එන හැඩි දැඩි දඩබ්බර කොල්ලෝ පවා සෝමලතා මිස් එන අඩි සද්දයට ගැස්සී යන තරම් බය පක්ෂපාතකමක් ඇය කෙරෙහි පළ කළහ. එය ඇගේ මව් ගුණය මුසු, සොදුරු ආඥාදායකත්වය වෙනුවෙනුත්, ඇය තුළින් ප්රක්ෂේපණය වුණා වූ අප්‍රමාණ පෞරුෂය වෙනුවෙනුත් උපන්නකි. කාලාන්තරයක් තිස්සේ රංග පීඨයේ රැදුණු සිය ගෝලයන් එකිනෙකා පිළිබදව ඉතා හොද අවබෝධයක් තිබූ ඇය, ඒ එකිනෙකාගේ විභවයන් සහ දුර්වලතාවන් ඉතා සියුම් ලෙස හදුනාගෙන සිටියාය. ඔවුන්ගේ ජීවිතවල තීරණාත්මක අවස්ථාවලදී, ඇය මාර්ගෝපදේශකයා වෙන්නීය. ඔවුන් වැරදි තීරණ ගන්නට යන අවස්ථාවලදී ඇය වහා මැදිහත් වෙන්නීය. පවුල්වල ආර්ථික අපහසුතා ඇති, ඉගෙනුමට ලැදි ඇතැම් ශිෂ්‍යයන් සිය නිවසේ රදවාගෙන උගන්වන්නට ඉදිරිපත් වන්නීය. ඇගේ විශ්වාසය සහ ආදරය වැඩිපුර දිනාගත් ගෝලයන්ට සිය පුස්තකාලයෙන් පොත් ගෙනියන්නටද අවසර දෙන්නීය. එවැනි වාසනාවන්ත ගෝලයන්ට ඇය සමග ඇගේ කුටියේ වාඩි වී පැය ගණන් සාකච්ඡා පවත්වන්නට අවස්ථාවද ලැබෙන්නීය.
නාට්‍යයක් පුහුණු කරන කාලයට ඇගේ මුළු නිවසම ගෝලයන්ට ඇරුණු ගාණය. දිවා රෑ එහී රැදෙමින් මහ පාන්දරත්, මැදියම් රැයේත් පුහුණුවීම් වල නිරත වෙන්නට ඔවුන්ට සිදුවෙයි. නැටුම් ගැයුම්වලින් පිරි ඇගේ නාට්‍ය වල බොහෝ විට රගපෑවේ නර්තනය හෝ ගායනයන් හදාරා ඇති අය නොවේ. නිර්මාණශීලිත්වයත් නම්‍යශීලිත්වයත් සහිත, නමුත් පෙර කිසිවක් හදාරා නැති අය සිය නිර්මාණවලට තෝරා ගැනීම සෝමලතා මිස්ගේ එක් සුවිශේෂි ලක්ෂණයක් විය. එවැනි අයට දීර්ඝ කාලයක් තිස්සේ නැටුම් අඩි සහ ස්වර අභ්‍යාස පුහුණු වෙන්නට සිදුවෙයි. බොහෝ විට ඒවා පුහුණු කරන්නේ ද සෝමලතා මිස් විසින්මයි. එවිට ඒ අයට ඇය සමග දීර්ඝ කාලයක් තිස්සේ දිවා රෑ වැඩ කරන්නට සිදුවෙයි. නේවාසිකව රැදී පුහුණු වෙන ගෝලයන් පහළ නාට්‍ය පුහුණුවීම් කර, උඩ තට්ටුවේ කුස්සියට වැදී තිබෙන දෙයක් බෙදාගෙන කන සංස්කෘතියක් එතැන ගොඩ නැගී තිබුණි. නාට්‍ය දර්ශනයක් ආසන්න වෙද්දී, රටේ උණ හෙම්බිරිස්සාව පැතිරෙන කාලයක් නම් සෝමලතා මිස් සිය ගෝලයන්ට කොත්තමල්ලි හැලි තම්බා දෙයි. වරක්, අලුත්ම නාට්‍යයක මංගල දර්ශනයකට දින කිහිපයක් තිබියදී, එක් රංගන ශිල්පිනියකට පැපොල සැදුණි. වහා ක්‍රියාත්මක වූ සෝමලතා මිස් මුළු නාට්‍ය කණ්ඩායමටම පෙරුම්කායං කැව්වාය. ඇතැම් දිනෙක ඇය මහ රෑ මැදියමේ තමන්ගේ වාහනයෙන් ගෝලයන්ව ගෙවල්වලට ඇරලවන්නට යයි. ඔවුන්ට ලෙඩ දුක් සෑදුණු විට බේත් හේත් සොයා දෙයි. ගෙවල්වලට ගොස් නිසි පරිදි හෙදකම් කළ යුතු ආකාරය කියාදෙයි. ඉස්පිරිතාලවලට කතා කර හිතවත් වෛද්‍යවරුන්ගේ සහයෝගය ඉල්ලා දෙයි. ප්‍රේම සම්බන්ධතාවල සංකීර්ණතා, දෙමාපිය දූදරු ගැටුම්, ආර්ථික ගැටළු, රැකියා විරහිතභාවයේ ගැටළු, විභාග ගැටළු, ආදී නොයෙක් ආකාරයේ දුෂ්කරතා අත්දකින විට ශිෂ්‍ය ශිෂ්‍යාවෝ සෝමලතා මිස්ගේ මගපෙන්වීමද, රැකවරණයද අපේක්ෂාවෙන් ඇය සොයා ගියහ. ඒ සෑම අවස්ථාවකම ඇය මහත් ස්නේහයෙන් ඔවුන් වෙනුවෙන් සිය කාලය කැප කළාය. එදවස ඇගේ නිවස නිරතුරුවම යන එන නාට්‍ය ළමයින්ගෙන් පිරී පැවතුණි.
ඇයට ස්වකීයම වූ ජීවන දර්ශනයක් තිබුණි. පැහැදිලි දේශපාලන අදහස් තිබුණි. දැඩි සේ ආරක්ෂා කරන ප්‍රතිපත්ති තිබුණි. සැබෑ කලාකරුවෙකු සතු විය යුතු මානුෂිකත්වයත්, සුපිළිපන්න භාවයත් තිබුණි. ඇය නිර්භයය. දෘඪ ආත්ම විශ්වාසයෙන් පිරිපුන්ය. මේ සියල්ලම විශිෂ්ට ගුරුවරයෙකුගේ, මග පෙන්වන්නෙකුගේ, එලිය සදන්නෙකුගේ භූමිකාව ඉටු කරන්නට ඇයට උපකාර විය. සෝමලතා නැන්දා, සෝමලතා මිස්, ටීචර්, ආදී විවිධාකාර ආමන්ත්රණ පද වලින් ඇයව අමතන පරම්පරා දෙක තුනකට අයිති ඇගේ ගෝලයෝ අද දීප්තිමත් තාරකාවන්ව බැබළෙති.
සෝමලතා මිස් අයිති වන්නේ පෙර යුගයකට බව මා මින් පෙර කීවෙමි. එසේම එදා ඇය වට කරගෙන සිටි, පැය ගණන් ඇය අසලින් වාඩි වී ඇගේ කතන්දර දේශනා අසන්නට විවේකය තිබූ, දිවා රෑ නොතකා එකම අඩියක්, එකම කවි පදයක් නැවත නැවතත් පුහුණු වෙන්නට ඉවසීමත් නිහතමානීත්වයත් තිබූ, ගෝලයන්ද අයිති වෙන්නේ පෙර යුගයකට බව කිව යුතුයි. සංකීර්ණ සමාජ ආර්ථික විපර්සායයන් හමුවේ ඒ යුගය වේගයෙන් අවසානයක් කරා එළඹෙමින් තිබෙන හැටි අපි අත්දවිදිමින් සිටිමු.
උපරිමය ඉල්ලා සිටීම
නිර්මාණකරණ ක්‍රියාවලියේදී සෝමලතා සුබසිංහ මිස් වැඩ කළේ මහත් වූ අනුරාගයකිනි. ආවේසයකිනි. නිර්මාණයක් තමන් අපේක්ෂිත ප්රමිතියටම ගොඩ නැගෙන තුරු ඇය කිසි ලෙසකින්වත් සෑහීමකට පත් වෙන්නේ නැත. තමන්ට අවැසි ගුණාත්මක මට්ටම අත්පත් කරගන්නා තුරු ඇය වෙහෙස නොබලා, දිවා රෑ නොතකා, සනීප අසනීප නොසලකා වැඩ කරයි. ඇතැම් විටෙක ඇය ඉතා දඩබ්බර ලෙස තම මතයේම, තම විශ්වායේම එල්බ ගෙන සිටියි. මුරණ්ඩුකම අතිශය නිර්මාණශීලි කලාකාරයෙකු තුළ පැවතුණාට කම් නැති, යහපත් ලක්ෂණයක්ය යන්න උගත හැකි හොදම උදාහරණය සෝමලතා මිස්ය. නාට්‍යයක චරිතයක්, දර්ශනයක් පමණක් නොව, වේදිකා භාණ්ඩයක්, රංග භාණ්ඩයක්, හිස් වැසුමක්, අත් පළදනාවක් පවා සිය පරිකල්පනය තුළ ගොඩනැගුණු ආකාරයෙන්ම නිමවී අවසාන වන තුරු ඇය නැවත නැවතත් වෙනස්කම්, සංශෝධන ඉල්ලා සිටින්නීය. රචනයේදීත්, අධ්‍යක්ෂණයේදීත් නන් විධ අලුත් අත්හදාබැලීම් කරන්නට නොපැකිළුණු ඇය පෙර නොවූ විරූ අපූර්ව නිර්මාණ වේදිකාව මත බිහි කළාය. ඇගේ නාට්‍ය බොහොමයක සංගිතය නිර්මාණය කළ විශිෂ්ට සංගීතඥ එම් ආර් චූලසිංහ මහතා, නැටුම් සහ රංගන වින්‍යාසයන් නිර්මාණය කළ චන්දන අලුත්ගේ මහතා වැන්නන් සෝමලතා සුබසිංහ මිස් ගේ සමීපතම නිර්මාණ සගයෝය. මිස් සමග වැඩ කිරීමේ කලාව හොදින්ම හදුනාගෙන සිටි ඔවුන්, ඇය සමග වැඩ කිරීමේ වෙහෙසකර අසිරිය ඉතා කැමැත්තෙන් අත්වින්දේ ඒ තුළින් අවසානයේ පරිපාකයට පත් වන නිර්මාණයක අපූර්ව සෞන්දර්යය දැක භුක්ති විද ගත හැකි ආහ්ලාදය නිසාය.
තම නාට්‍ය කණ්ඩායමේ නළු නිළියන් වෙතින් ඇය දැඩි කැප විමක්, අප්‍රතිහත උත්සහයක් අපේක්ෂා කළාය. මා මෙහි පෙර කීවා සේ ඇගේ නාට්‍ය වලට සම්බන්ධ වූයේ පෙර පුහුණුව ලබා ඇය වෙත පැමිණි වෘත්තීය නළු නිළියන් නොව, ඇගේ ළමා හා යොවුන් රංග පාසලෙන්ම වේදිකාවේ අත් පොත් තැබූ ආධුනිකයන්ය. කිසිදිනෙක පාසල් වේදිකාවකට වැද්දගෙන වත් නොතිබුණු බොහෝ දෙනෙකු සෝමලතා සුබසිංහ මිස් විසින් විශිෂ්ට රංගන ශිල්පින් බවට පත් කර ඇත. ශිෂ්‍යයන් තුළ සැගවුණු ශක්‍යතාවන් හදුනාගැනීමේ පුදුමාකාර ඉවක් ඇය සතු විය. කිසිදු ආකාරයකින් සුවිශේෂි බවක් හෝ කැපී පෙනෙන දක්ෂතාවන් හෝ නොපෙන්වන, වැඩමුළුවකදී පවා මුළුගැන්වී නිහඩව සිටින අතැම් ශිෂ්‍යයෙකු තුළ පවතින මහා ප්‍රතිභාවක් ඇය සිය ඉවෙන් හදුනාගන්නීය. එයින් පසු ඇය ඔහු හෝ ඇය තුළ පවතින ඒ ප්‍රතිභාව ඉස්මතු කරන්නට, නන් විධ ක්‍රම අත්හදාබලන්නීය. ඒ වෙනුවෙන් කාලය ශ්‍රමය කැප කරන්නීය. ඔවුන් සමග ඉවසීමෙන් දිගින් දිගටම වැඩ කරමින් ආත්ම විශ්වාසය ගොඩ නගන්නීය. යම් දිනෙක කිසිවෙකු දැක නොතිබූ වර්ණ වලින් සුසැදි පෙති විහිදා ඔවුන් සුපුෂ්පිත වන විට, ඒ ආශ්චර්යය ආඩම්බරයෙන් අත්විදින්නීය. සෝමලතා මිස් ඉවෙන් හදුනාගෙන ගොඩනැගූ එවැනි රංගන ශිල්පීහු අද ලාංකීය රංගන ක්ෂේත්රයේ ප්රතිභාපූර්ණකලාකරුවන් ලෙස ඉහළ නම් දිනා සිටිති.
කිසිදා නොසිදුණු ජවය
සෝමලතා සුබසිංහ මිස් සතුව තිබුණේ අසාමන්‍ය ජවසම්පන්න බවකි. මා මුලින්ම ඇයව හදුනාගත්තේ ඇය සැට වන වියේ පමණය. එකල සිට වෛද්‍යවරුන් විසින් තදින් අවවාද කොට, බලහත්කාරයෙන් විවේක ගන්වන තුරුම ඇය කෙරෙන් මා දුටුවේ පුදුමාකාර ජවයකි. ශරීරය බරපතල ලෙස රෝගී වී සිටින අවධියේ පවා, ඇගේ මනස ඒ ජවය අත් හලේ නැත. යම්තම් බෙහෙත පත්තියං වී හිස ඔසවාගත හැකි වූ ගමන් ඇය ‘මට දැන් හොදටම හොදයි බං’ කියා සිය ගෝල බාලයන් කැදවාගෙන අලුතින් කරන්නට හිතේ නලියන නිර්මාණයක් ගැන සාකච්ඡාවක් පටන් ගන්නිය. ඇගේ ආත්මාභිමානය කිසිදාකවත් අංශ්රමාත්රයකින්වත් අඩපණ වී තිබෙනවා අප දැක නැත. රෝ දුක් සමග සටන් කරමින් පවා ඇය ජීවිතය සමග හරි හරියට හැප්පුණාය. වරක් ඇය බරපතල ලෙස අසනීපව රෝහල් ගතව සිටින අතරතුරදී කොළඹ සෞන්දර්යය විශ්ව විද්‍යාලය විසින් ඇයට ආචාර්ය උපාධියක් පිරිනමා ඇති බව කියැවෙන ලියුමක් ලැබී තිබුණි. ඇය එය පිළිගන්නා බව අත්සනකින් සනාථ කල යුතු විය. පවුලේ සියලු දෙනාම එයට අත්සන් කරන්නැයි ඉල්ලා සිටිද්දී, ඇදේ වැතිර, සුපුරුදු දඩබ්බර ස්වභාවයෙන් ‘ඔය ආචාර උපාධි නැතුවට මං කරපු වැඩ දන්න මිනිස්සු දන්නවා’ යැයි කියමින් ඇය සරදමින් හඩ නගා සිනාසුණු අයුරු මට මතකය.
පොදු සමාජය සෝමලතා සුබසිංහව හදුනන්නේ දැවැන්ත කලාකාරියක හැටියටයි. නමුත් ඒ කලාකාරියට සමාන්තරව ඇය මවක, බිරිදක යන සාම්ප්‍රදායික ස්ත්‍රී භූමිකාවන්ද ඉටු කරළාය. ජීවිතයේ ඇතැම් අවධීන් වලදී ඒ භූමිකාවන් විසින් ඉල්ලා සිටින වගකීම් ඉටු කරන්නට යාමේදී තමන් තුළ නිරන්තරයෙන් උන්මාදයක් සේ කැලැතෙන නිර්මාණාවේශය යටපත් කරන්නට අරගල කරන්නටද ඇයට සිදු විය. එහි ප්‍රතිඵලයක් ලෙස කලාකරුවන්ට උරුම විවිධාකාර සංකීර්ණ මනෝභාවයන්ද, වේදනාත්මක සාංකාවන්ද ඇය අත්වින්දාය. කෙසේ වතුදු ස්ත්‍රී නිර්මාණකරුවන්ට මුහුණ දෙන්නට සිදුවන බොහෝ අභියෝග පරයා, කලාකරුවෙකු ලෙස තමන්ව ඉහළටම ඔසවා තබමින්, සිය මෙහෙවර නිසි ලෙස සපුරාලන්නට හැකි වූ අපේ යුගයේ වඩාම සාර්ථක කලාකාරිනිය සෝමලතා සුබසිංහ විය යුතුය.
සදාදාරණීය සෝමලතා මිස්,.. වේදිකාව මතට පය තබද්දීත්, කැමරාවක් ඉදිරියේ රගද්දීත්, පද අහුරා අදහසක් ගොතද්දීත්, ඔබ බලා සිටින්නේ කොහේ සිටදැයි අපි තවමත් හොරැහින් සොයමු. ඔබ උගන්වා ගිය පාඩම් නැවත නැවතත් සිහියට කැදවමු. ඔබෙන් දොස් නොඅසා, ආඩම්බර සිනාවක් ලබන්නට හැකි වේවායි අදිටන් කරමින්, හැකි උපරිමය කරන්නට වැර දරමු.
ප්‍රේක්ෂාගාරයේ අත්පොළසන් මැද තිරය වැසෙද්දී, එදා මෙන් වේදිකාවෙන් බැස ඇවිත්, දණ ගසා වදින්නට ඔබ සමීපයක නැති බැවින්, නෙතු පියාගෙන හදවතින් ඔබට නමස්කාර කරමු.
නදී කම්මැල්ලවීර