ධම්ම ජාගොඩ "මිහිකතගේ දරුවෝ" නමින් ටෙලිනාට්‍යක් කිරීමට සැරසුණි. ඒ 80 දශකයේදීය .එහි ප්‍රධාන චරිතයකට, දක්ෂ නළුවෙක් සොයමින් සිටි ඔහුට ඉංග්‍රීසි නාට්‍ය වල රගපාමින් සිටි ශිල්පියෙකුට ඇස ගියේය. රිචඩ් ඩී සොයිසා ගේ පියා වූ ඉංග්‍රීසි නාට්‍ය වල රගපෑ ලුෂන් ඩී සොයිසා මෙන්ම මෝස්තර නිරුපිකාවක් හා රූප රාජනියක් වූ අචලා අලස් ද මෙම ටෙලිනාට්‍යයෙන් හදුන්වා දුනි. ලුෂන් ඩී සොයිසා ගේ නාස්තිකාර පුත්‍රයාගේ චරිතයට අධ්‍යක්ෂක ධම්ම ජාගොඩ විසින් සොයා ගත් ඒ අපූරූ රංගන ශිල්පියා පීටර් ඩී අල්මේදා නම් විය. අතී දක්ෂ නළුවෙකු ලෙස පුංචි තිරයට අවතීර්න වූ ඔහු, ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ "ගිරය" ටෙලි නාට්‍යයේ භාවමය රගපෑමකට එක්විය. එම චරිතය තුලින් ඔහු ජනාදරයට පත් වූයේ, අතීදක්ෂ රංග ශිල්පියෙක් ලෙසය. ධර්මසේන පතිරාජගේ "කඩුල්ල" ටෙලි වෘත්තාන්තයේ ජැක්සන් ඇන්තනිගේ පුත්‍රයෙකු ලෙස එතරම් දුරට විහිදී නොගිය චරිතයකට පන පෙවූ පීටර් ,සිනමාවට අවතීර්ණ වූයේ "ලොකු දුව" චිත්‍රපටයේ කුඩා චරිතයකිනි . ඒ 1994 කාලයේදීය . ඉන්පසු ඔහු අවුරුදු 9යකට පසු 2003 දී ප්‍රසන්න විතානගේ ගේ "ඉර මැදියම " චිත්‍රපටයේ, ලංකා රූපවාහිනී නාළිකාවක් බ්‍රිතාන්‍යයේ කරන මාධ්‍ය වේදියෙක් ලෙස ප්‍රධාන චරිතයක් නිරූපණය කළේය. එය තිර ගත කලේ 2005 වසරේය.
පීටර් ගේ වෘත්තිමය ජීවිතය ඇරඹුණේ ලිවර් බ්‍රදර්ස් ආයතනයෙනි . "ස්ටේට් බෑන්ක් ඔෆ් ඉන්දියා" හී ලිපි කරුවෙකු ලෙස සිටි ඔහු ඔහුගේ මිත්‍රයෙකුගේ සමාගමක් වූ "ඊස්ට් වෙස්ට්" ආයතනයේ අලෙවි කළමණාකරුවෙකු ලෙස රාජකාරියේ නියුතු වී සිට "සන් මයික්‍රෝ" ආයතනයට එකතු විය. එමගින් ඔහුට ඉන්දියාවට යාමට හැකි විය. අවුරුදු එකහමාරක් පමණ වැඩ කර යලි ලංකාවට පැමිණ RAP ෆැක්ටරි ආයාතනයට එකතු වී වීඩියෝ පරිඝනක සම්බන්ධව ක්‍රියා කළේය. ඉන් පසු ඔහු "මිලේනියම් IT ආයතනයට එකතු විය. මීට අවුරුදු හතකට පෙර N*able නම් තොරතුරු තාක්ෂණ ආයතනයක් 13 දෙනෙකුගේ සේවක මණ්ඩලයෙන් පිහිටුවා ගත් පීටර් අද එම ආයතනය සේවකයන් 180ක් දක්වා පුළුල් කරමින් ඩොලර් බිලියන 15 ක ඉලක්කයක් හඹා යමින් සිටින ශූර සාර්ථක ව්‍යාපාරයෙකු වී සිටි.
වසර 2012 දී පීටර්, රුවන්ති ඩී චිකෙරාගේ පලවෙනි නාට්‍ය වන
"කළු මල්ලි " හී අයිරාංගනී සේරසිංහ ,කෞශල්‍යා ප්‍රනාන්දු,නදී කම්මල්වීර හා ලක්මිණි සේනාරත්න සමග ප්‍රධාන චරිතයක් රගපෑවේය, මෙම නාට්‍ය ලයනල් වෙන්ඩ්ට් හී රග දැක්වූ අතර එය සතියක් පමණ පෙන්වූයේ, මුල් දිනයේ හා අවසන් දිනයේ,සම්පූර්ණයෙන්ම ඉංග්‍රීසි බසින් හා , අනෙක් දින කීපය සම්පූර්ණයෙන්ම සිංහල බසින්ය. පීටර් ට භාෂා දෙකෙන්ම අතී දක්ෂ ලෙස රගපෑමට හැක.
කිසිවෙක් නොසිතු, කිසිවෙක් නොසිතන වෙලාවක පීටර් ඩී අල්මේදා මේ ඊයේ පෙරේදා "කුඹියෝ " ටෙලි නාට්‍යයේ අවසන් කොටස් 2කින් මල්දෙණිය නම් ප්‍රබල චරිතයකින් පුංචි තීරය හරහා පැමිණ ඇත. එහෙත් පීටර් ඩී අල්මේදා වැනී අතී විශිෂ්ට ශිල්පීන් මෙලෙස හැංගිමුත්තන් තාලෙට රගපාන එක නම්, දක්ෂ රගපෑම් දැක ගැන්මට බලාපොරොත්තු වී සිටින ලාංකේය ප්‍රේක්ෂකයන්ට කෙරෙන විශාලම අසාධාරණයකි. එම අසාධාරණය සිදුවන්නේ පීටර් අතින්ද, එසේ නැත්නම් පීටර් වැනි නළුවෙක් සහභාගී කර නොගන්නා නිෂ්පාදක අධ්‍යක්ෂක වරුන් අතින්දැයි නම් තෝරා බේරා ගැන්මට නොහැක.
ශෝන් මැක්ස්මස් දිසානායක