කැනඩා ප්‍රාදේශීය පුවත්පතක ඡායාරූප මාධ්‍යවේදියෙකු වූ ක්ලෝඩ් පී. ඩෙට්ලොෆ් 1940 ඔක්තෝබර් 01 දින උදෑසන නිව් වෙස්ට්මිනිස්ටර්හි කොලොම්බියා වීදියේ මංසන්ධියට පිවිසියේ පුවත්පතට කුමන හෝ ප්‍රවෘත්තියක් සොයා ගනු පිණිසය. එතැනින් අට වෙනි වීදියට හැරුණු ඔහු ඉදිරියෙහි දිස් වූයේ අපූර්ව දර්ශනයකි. අට වෙනි වීදියේ නැග්මෙන් පහළට ගමන් කරමින් සිටියේ පේළි තුනකින් යුතු දහස් ගණනක හමුදා භට සේනාංකයකි. එම දර්ශනයේ ප්රවෘත්තිමය වටිනාකම සැණෙකින් වටහා ගත් ක්ලෝඩ් වහා එකී දර්ශනය ඡායාරූප ගත කිරීමට සිය කැමරාව ඇසට ළං කළේය. මාර්ගයේ වූ කන්දෙන් පහළට වීදියේ දිගේ ආචාර පෙළපාලියෙන් ගමන් කරන හමුදා භටයන්ගේ දර්ශනය නාභිගත කිරීමට සැරසුණු ක්ලෝඩ්ගේ කැමරා කාචයට එක්වරම ඇතුල් වූයේ දෑත් විදහා ගෙන ආචාර පෙළපාලිය වෙතට දිව එන කුඩා දරුවෙක් හා ඔහු පසුපසින් දිව එන කාන්තාවක්ය. සුළඟට දෙපසට ලෙළ දුන් දිව එන කාන්තාවගේ කළු පැහැ කබායත්, කුඩා දරුවාගේ විසිරුණු සුදු පැහැ හිස කෙස් හා ඔහු වෙත සිනහා මුසු මුහුණින් හැරී තම දකුණතේ තිබූ රයිෆලය වමතට මාරු කර දකුණත දරුවා දෙසට දිගු කරන සෙබළාත්, ඔවුන් සියල්ලන්ට පසුබිමින් කන්දෙන් බැස එන දීර්ඝ සෙබළ පෙළපාලියේ දසුනත් සදා අනුස්මරණීය ඡායාරූපයක් ලෙස ක්ලෝඩ්ගේ කැමරාවේ දළ සේයා පටයෙහි සටහන් විය. තමන්ගෙන් වෙන්ව යුද්ධය පිණිස පිටත්ව යන සිය ආදරණීය පියා පසුපස දිව එන දරුවා පිළිබිඹු කරන යුද්ධයෙහි අමානුෂික යථාර්ථය අනපේක්ෂිතව හා අහම්බෙන් කදිම ලෙස හසු කරගත් මේ සංවේදී ඡායාරූපය 'මා වෙනුවෙන් ඉන්න, තාත්තා' (Wait for me, Daddy) නමින් උදෘතව ලොව පුරා වේගයෙන් පැතිර ගියේය. එය ලොව පුරා යුද විරෝධී ව්‍යපාරවල ප්‍රබල ප්රචාරක අවියක් බවට පත් විය. යුද සමයේ එය කොලොම්බියාවේ සියලු පාසල්වල ප්‍රදර්ශනය පිණිස එල්ලා තබන ලද්දේය. යුද්ධය විසින් වෙන් කරනු ලැබූ හෝ විනාශ කර දමනු ලැබූ සිය, දහස්, ලක්ෂ ගණනක් වූ පවුල් ජීවිතවල අංශු මාත්‍ර සංකේතයක් වූ මෙම සිදුවීමේ පසුබිම් කතාව කුමක්ද?
1939 අගෝස්තු 26 සෙනසුරාදා ජර්මානු ආඥාදායක ඇඩොල්ෆ් හිට්ලර් පෝලන්තයට තර්ජනය කරමින් පෝලන්තයේ හතර වන විශාලතම නගරය හා ප්‍රධානම වරාය වූ 'ඩැන්සිග්' ප්‍රදේශය බලහත්කාරයෙන් අල්ලා සිටියේය. පසුව ලක්ෂ ගණනකගේ ජීවිත අහිමි කරමින් හා කෝටි ප්‍රකෝටි ගණනක දේපල විනාශ කරමින් නිමා වූ දෙවන ලෝක යුද්ධය ඇරඹූ පළමු ගිනි පුළිඟුව එය විය. තත්ත්වය වඩාත් නරක අතට හැරෙමින් තිබූ අතර සෙසු රටවල් ද සීරුවෙන් සිටින තත්ත්වයකට පත් විය. බ්‍රිතාන්‍ය කොලොම්බියා රෙජිමේන්තුව වහාම කැනඩා අගනුවරට කැඳවනු ලැබීය. අවදානම් කලාප ආරක්ෂා කිරීමට සේනාංක යොදවන ලද්දේය. සැප්තැම්බර් 10 වෙනි දින රැස් වූ කැනඩා පාර්ලිමේන්තුව සැප්තැම්බර් 01 දින පෝලන්තය ආක්‍රමණය කළ ජර්මනියට විරුද්ධව යුධ ප්‍රකාශ කිරීමට තීරණය කළේය. ඒ අනුව අනෙකුත් ඒකක එක්සත් රාජධානියට යෑවූ අතර බ්‍රිතාන්‍ය කොලොම්බියා රෙජිමේන්තු සේනාංකය බටහිර වෙරළ තීරය ආරක්ෂාව පිණිස රඳවනු ලැබීය. මාස කිහිපයක ඒකාකාරී හා නීරස මුර සේවයකින් පසුව රෙජිමේන්තුව නැවත කැඳවන ලද අතර මුහුදෙන් එතෙර රහසිගත ගමනාන්තයක් කරා යෑවීම පිණිස අණ ලැබිණ. ක්ලෝඩ් පී. ඩෙට්ලොෆ් ප්‍රාදේශීය ඡායාරූප මාධ්‍යවේදියාට මේ අහම්බෙන් හමු වන්නේ තමන් කිසිසේත්ම වගකිව යුතු නොවූ අනුන්ගේ යුද්ධයක් කිරීම සඳහා තමනුත් නොදන්නා ගමනාන්තයකට රැගෙන යැම පිණිස වරායේ නැංගුරම් ලා තිබූ 'එස් එස් ප්‍රින්සස් ජෝන්' නෞකාවට හා එය වෙත තමන් රැගෙන යාමට නිව් වෙස්ට්මිනිස්ටර් දුම්රියපොළේ නවත්වා ගෙන සිටින විශේෂ දුම්රියට ගොඩවනු පිණිස යමින් සිටි බ්‍රිතාන්‍ය කොලොම්බියා සේනාංකයයි. මේ සේනාංකයට ජැක් බර්නාඩ් නම් සොල්දාදුවෙකුද ඇතුළත්ව සිටි අතර ඔහු ඇතුළු සේනාංකය මේ අවස්ථාවේ නිව් වෙස්මිනිස්ටර් රජයේ මූලික පාසල අසලින් ගමන් කරමින් සිටියහ. මෙම පාසලේ පලමුවන ශ්‍රේණියේ උගෙනුම ලබමින් සිටි ජැක්ගේ පස් හැවිරිදි පුත්‍රයා වූ වොරන් වයිටි බර්නාඩ් හදිසියේම සේනාංක පෙළපාලියේ ගමන් කරමින් සිටි සිය පියාව දුටුවේය. ක්ලෝඩ්ගේ කැමරා කාචයට ඇතුල් වන්නේ පන්තියෙන් එළියට පැන සිය පියා වෙත දිවූ පස් හැවිරිදි වයිටි දරුවා හා ඔහු පසුපස දිව ආ පාසල නිමවන තෙක් ඒ අසළ රැඳී සිටි ඔහුගේ මව වූ බර්නිස් බර්නාඩ් ය. ඡායාරූපයෙන් පසුව කතාව පෙළ ගැසෙන ආකාරය මෙසේය.
සේනාංකය පැය තුනක මුහුදු ගමනකින් පසු රහස් ගමනාන්තය වූ නැනයිමෝ වරායට පැමිණියහ. එහිදී ජර්මන් හා ජපාන ප්රහාරයන්ට මුහුණ දෙමින් හා සටන් කරමින් ගත කළ කාලය අවසානයේ 1942 අගෝස්තු මාසයේදී එංගලන්තයට යාත්‍රා කරන ලද්දෝය. ඉන්පසු ප්‍රංශයට ද, නෙදර්ලන්තයට ද යවනු ලැබූ කොලොම්බියා සේනාංකය අවසන් සටනට ද දායක වූ අතර මිත්‍ර හමුදා යුරෝපයේ ජයග්‍රහණය ප්‍රකාශයට පත් කළ 1945 මැයි 05 වන දින වනවිට සේනාංකයේ සොල්දාදුවන් 122 ක් මිය ගොස් සිටි අතර 213 දෙනෙක් බරපතල තුවාල සහිතව ආබාධිත වී සිටියහ. යුද්ධය අවසන්ව ජැක් බර්නාඩ් 1945 ඔක්තෝබර් මාසයේදී ආපසු නිවස වෙත පැමිණි අතර ඒ වන විට යුද්ධය විසින් ඔහුගේ පවුල නැවත එක් නොවන්නටම විසුරුවා හැර දමා තිබුණි. ආපසු පැමිණි ජැක් සිය බිරිඳ වූ බර්නිස්ගෙන් දික්කසාද වූ අතර ඇය කුඩා වයිටි සමග කොලොම්බියා ප්‍රාන්තයේ ටොෆනෝ වෙත සංක්‍රමණය වූවාය. ටොෆනෝහි ස්ථිරව පදිංචි වන වයිටි 1964 දී විවා පත් විය. ඔහුගේ බිරිඳ වූ රුබී පැවසුවේ තමා වයිටිව හඳුනන්නේ ඔහුට වයස අවුරුදු 5 දී සහ තමාට වයස අවුරුදු 4 දී බවයි. ඇය උගෙන ගත් පාසලේ 'මං වෙනුවෙන් ඉන්න තාත්තේ' ඡායාරූපය ප්‍රදර්ශනය පිණිස බිත්තියක එල්ලා තිබුණි. -අප හමු වීමට පෙර අවුරුද්දෙන් අවුරුද්ද දිනපතා මං ඔහුව දුටුවායෑයි ඇය පැවසුවාය.
මෙම Wait for me, Daddy ඡායාරූපය සමාජයට කෙතරම් බලපෑමක් කළාද යත් ඒ වෙනුවෙන් බොහෝ ක්‍රියාකාරකම් සිදු කරන ලදී. එය තඹ ඵලකයක කැටයම් කරන ලදුව සිද්ධිය වූ ස්ථානය වූ නිව් වෙස්මිනිස්ටර්හි අට වන වීදියේ හියෑක් චතුරශ්‍රයේ ස්ථිර ප්‍රදර්ශනය පිණිස සවි කරන ලදී. 2014 ඔක්තෝබර් 04 දෙවන ලෝක යුද්ධයේ 70 වන සංවත්සර සැමරුමේදී රාජකීය කැනේඩියානු මුල්‍ය මණ්ඩලය විසින් මෙම ඡායාරූපය කැටයම් කළ කාසි 3 ක් නිකුත් කරන ලදී. ඩොලර් 2 වටිනාකමින් යුත් මිශ්‍ර ලෝහ කාසියක්ද, ඩොලර් 3 ක වටිනාකමින් යුතු රිදී ග්‍රෑම් 7.8 ක් අඩංගු කාසියක්ද සහ රිදී ග්‍රෑම් 16 ක් අඩංගු ඩොලර් 10 වටිනාකමින් යුතු කාසියක්ද වශයෙන් විය. ඊට අමතරව ඡායාරූපය සහිත මුද්දරයක්ද නිකුත් කරන ලදී. මේ අනුස්මරණීය වූ ඡායාරූපයට ප්රස්තූත වූ 1940 ඔක්තෝබර් 01 දින සිදු වූ බ්‍රිතාන්‍ය කොලොම්බියා රෙජිමේන්තුවේ 8 වන වීදියේ පා ගමන 2015 මාර්තු මස එම රෙජිමේන්තුවේ වර්තමාන සොල්දාදුවන්ගේ සහභාගිත්වයෙන් ඒ අයුරින්ම ප්‍රතිනිර්මාණය කොට පවත්වන ලදී. කිසිවකුගේ අවධානයට පාත්‍ර නොවුණු ප්‍රාදේශීය මාධ්‍යවේදියකුගේ අහබු ඡායාරූපයක් ලෝකය කළඹවන ලද්දේ ඒ අයුරින්ය.
නිමල් ෆ්‍රeන්සිස්