තාරුණ්‍යයෙන් පණ ගැන්වුණු සටන් කලාවේ විප්ලවීය සිනමා සටහන බාගී (2016) වසරේ තිරගතවූ මතකයේ රැඳුණු, බොලිවුඩයට සරු අස්වැන්නක් ගෙන ආ සිනමා පටයකි. සබීර් ඛාන්ගේ අධ්‍යක්ෂණයෙන් සජීඩ් නදියද්වාලාගේ නිෂ්පාදනයෙන් බිහිවූ බාගී සිනමාපටයේ සටන් වීරයා වූයේ ටයිගර් ෂෙරෝෆ්ය. ඔහු නිරූපණය කළේ සටන් ශූරයා රොනී සිංගේ චරිතයයි. ශ්‍රද්ධා කපූර් මෙහි සියා නම් සිනමා තාරකාවට පණ පෙව්වාය.
සියා දර්ශන තලයේදී පැහැර ගෙන යන අතර ඇය හයිද්‍රාබාද් දර්ශන තලයේ සිට හොංකොංවලට පැහැර ගෙන ගිය බව ආරංචි වෙයි. සියාගේ පියාණන් කුරා දියණිය සොයා යාමේදී සටන් වීරයකුගේ සහාය පැතීම උභතෝකෝටික ගැටලුවක් වෙයි. ඒ ඇය පැහැර ගෙන යාමට සටන් ශූර රාගම් (සුධීර් බාබු) සම්බන්ධ බවට පොලීසිය සැක කරන නිසයි. එහෙත් සියාගේ හිටපු පෙම්වතා රොනී සිං (ටයිගර් ෂෙරෝෆ්) සහායට පැමිණෙයි. සියා බේරා ගැනීමට ඇයගේ හිටපු පෙම්වතා හා බලෙන් පැහැරගෙන ගිය රාගව් අතර කෙරෙන සටන් අරගලය කෙතරම් ප්‍රේක්ෂක සිත් සතන් ඇද බැඳ තබා ගත්තා ද කිවහොත් ඉන්දියානු රුපියල් 37 කෝටියක පිරිවැයක් දරා නිර්මාණය කළ ‘බාගී’ අවසන රුපියල් කෝටි 127 කට වැඩි ආදායමක් ලැබීය.
‘බාගී 2’ නිර්මාණය වන්නේ මේ සර්ව සුබවාදී ප්‍රේක්ෂක ප්‍රතිචාර මැදය. 2017 මැයි 1 වැනිදා ටයිගර් ෂෙරෝෆ් බාගී 2 සිනමා පටයේ රොනී ලෙස රඟන තම රුවෙහි පෝස්ටරයක් ට්විටර් වෙබඩ් අඩවියට නිකුත් කළේය. මුලදී ප්‍රධාන කාන්තා චරිත සඳහා ජැකලින් ෆර්නැන්ඩස්, ක්‍රිති සැනොන් නම් යෝජනා වී තිබුණද පසුව 2017 ජුනි මාසයේදී ජැකීගේ සැබෑ ජීවිතයේ ද පෙම්වතිය වන දිශා පතානි තෝරා ගැනිණි. ඒ තිර පරීක්ෂණයෙන් පසුවය. පසුව සජිඩ් කියා සිටියේ දිශා චරිතයට අකුරටම ගැළපෙන බවය. එලෙසම බොහෝදෙනා පවසන්නේ ජැකී - දිශා තිරයට ම ගැළපෙන ප්‍රේමණීය යුවළක වගය. (තවම මේ දෙදෙනා ප්‍රසිද්ධියේ තම පෙම පිළිගෙන නැත.)
ප්‍රථම සිනමා පටයේදී ද සටන් කලාවේ හැකියාව මනාව පෙන්නූ ජැකී දෙවැන්න සඳහා හොංකොං බලා ගියේ සටන් අධ්යක්ෂ ටෝනි චිංගෙන් සටන් කලාව වැඩිදුරටත් පුහුණුවීමටයි. දිසා පතානි ද කරනම් ගැසීම පිළිබඳ පුහුණුවක් ලැබුවාය. ජූලි මාසයේදී කළු චරිතය හෙවත් දුෂ්ටයාගේ චරිතයට ප්‍රතීක් බාබර් නදියද්වාලා විසින් තෝරා ගැනිණි.
බාගී දෙවැන්නෙන් ද රොනී (ජැකී) සටන් වදින්නේ ඔහුගේ හිටපු පෙම්වතියක වූ නේහාගේ දියණිය රියා බේරි ගැනීමටයි. මෙය ‘ක්ෂණම්’ (2016) තෙලිගු ත්‍රාසජනක සිනමා පටය පාදක කරගෙන ප්‍රති නිර්මාණය කරන ලද්දකි. 2017 වසරේ දී ‘සත්‍යා’ නමින් දමිළ සිනමා ලොවට ‘ක්ෂණම්’ එක් විය.
ක්ෂණම් මෙන්ම සත්‍යා ද යහපත් ප්‍රේක්ෂක විචාරක ප්‍රතිචාර ලබමින් තිරගත විය. ජැකී ලෝලීන්ට ‘බාගී 2’ මඟින් ඔහු ගෙන එන්නේ මතකයේ රැඳෙන රංගනයකි.
බොහෝ දෙනෙක් පවසන්නේ ඔහුගේ නර්තනයක් නැති සිනමා පටය ටජ්මහල නැති අග්‍රා නුවර බඳු බවයි. සමහරු තවත් මයිකල් ජැක්සන් කෙනකුට ඔහු උපමා කරයි. මෙහි නැටුමේ ‘අ’ යන්න පවා නොදන්නා කෙනකු පවා ජැකීගේ නර්තනයට නැටවෙන බබව අධ්යක්ෂ අහ්මඩ් ඛාන් පවසයි. මෙහි ඔහු උපන් ඇඳුමින් සිටින රඟන ජවනිකා ද තිබේ. ‘බාගී 2’ තිරගත වීමට පෙරදීම ‘බාගී 3’ පැමිණෙන බව නිෂ්පාදක නදියද්වාලා හා අධ්යක්ෂ අහමඩ් ඛාන් ප්‍රකාශ කර අවසන්ය. එහිද ප්‍රධාන චරිතය රඟන්නේ ජැකී වන අතර මේ ජැකී සිනමා පටමාලාවකට සම්බන්ධ වන ප්‍රථම අවස්ථාවය. එහි රූගත කිරීම් 2018 දෙසැම්බරයේදී එහි ඇරැඹීමට නියමිතය.
පළමු සිනමා පටයට දායකවූ මනෝජ් බජ්ජායි, රන්දීප් හෝඩා, ප්‍රතික් බාබර් සමඟ රංගනයට එක් වන්නේ ප්‍රථම වරටය.
මූම්බායි, පූනේ සරසවිය, මනාලි, ගෝවේ, ලඩක් රූගත කිරීම් සඳහා තෝරා ගත් ස්ථානය. තායිලන්තයේ හා චීනයේ ද රූගත කිරීම් සිදුකෙරිණි.
සිනමා පටයේ ජැකී කොණ්ඩය කපා පිළිවෙළකට සිටින අතර එයද ප්‍රේක්ෂකයන් මවිත කරන හේතුවක් බවට පත්වී ඇත. ඔහුගේ රසිකයන් මේ නව පෙනුමට සිනමා පටය තිරගත වීමට පෙරදීම මනාපය පළකර අවසන්ය. ජැකී ද වීඩියෝවෙන් තම රුව දැක සතුටු කඳුළු හෙළා ඇත.
වර්තමාන බොහෝ සිනමා පට අතීතයේ මතකයේ රැඳි, අමරණීය සිනමා නර්තන තිරයට ගෙන ඒම සුලබව සිදු කෙරෙන්නෙකි. මෑතකදී තිරගතවූ ‘තුම්හාරි සුලු’ සිනමා පටයේ විද්‍යා බාලන් ශ්‍රී දේවියට උපහාර පිණිස මිස්ටර් ඉන්ඩියා සිනමා පටයේ ‘හවා හවායි’ සිනමා නර්තනයේ යෙදුණාය. එය සිනමා පටය නැරඹීමට ප්‍රේක්ෂකයන් පෙලඹවූ එක් කරුණක් විය.
බාගී 2 ටද එවන් ජනප්‍රිය නර්තනාංගයක් ඇතුළත්ය. ඒ තේසාබ් සිනමා පටයේ මධුරී ඩික්සිත් තාරකාවගේ ‘එක් දෝ තීන්’ නර්තනයයි. තේසාබ් තිරගත වූයේ 1988 දීය. එනම් මීට තිස් වසරකට පෙරය. එය යළි තිරයේ ප්‍රති නිර්මාණය කරන්නේ නව පරපුරේ තාරකා ජැකලයින් ෆර්නැන්ඩස්ය. ‘ඒක් දෝ තීන්’ ගීයෙන් මධුරී එක් රැයකින් බොලිවුඩයේ ජනප්‍රිය තාරකාවක වූවාය.
ජැකලයින්ගේ නර්තන ප්‍රති නිර්මාණය ගැන ද බොහෝ දෙනෙක් කතාබහ කරති. බාගී 2 ට ගීත 4 ක් ඇතුළත්ය. එහි ‘එක් දෝ තීන්’ ගයන්නේ ශ්‍රෙයා ගෝෂාල් විසිනි.
ජැකීගේ ලොමු ඩැහැ ගැන්වෙන සටන් හා නර්තන ජවනිකා රැගත් බාගී 2, මාර්තු 30 වැනිදා තිරගත වීමට නියමිතය.
ඔහු එන්නේ මනෝජ් බජ්පායි, රන්දීප් හූඩා තිරයේදී සටනින් පරද්දවමිනි. එනිසා ‘එක් මිනිසකුගේ හමුදාවක්’ ඔහුට ‘බාගී 2’ දී ඇති අනවර්ථ නාමයයි.
චම්පිකා රණසිංහ