කාල වර්ණය වැඩ කරන ජනතාවගේ පැහැයයි. කාල වර්ණයෙන් සැරසුණු කාල්ට සමීප වන්නා අපවිත්‍ර භාවයේ වෛවර්ණය දකියි. මෙසේ පවසන්නේ කාලා හෙවත් කරික්කාලන් බවට පත්වූ කොලිවුඩයේ සුපිරි තාරකාව වූ රජිනිකාන්ත්ය. ඔහුගේ නවතම සිනමා පටය කාලා හෙවත් කරිකාලන් ය.
සිනමා පටයේ ටීසරය නිකුත් වී පැය කිහිපයකදී මිලියන හතරක් ඉක්මවා ගිය ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබී තිබේ. ලෝකයේ එවන් ප්‍රතිචාරයක් ලද සිවුවැනි සිනමා පටය එය වන අතර පළමුවැනි ඉන්දියානු සිනමා පටය ලෙස වාර්තා පොතට එක්වී අවසන් ය.
කරිකාලන් යනු දකුණේ තිරුනෙල්වෙලි සිට පැමිණ මුම්බායිහි රජ කරන මැරවරයෙකි. මෙය සම්පූර්ණයෙන් ම ප්‍රබන්ධ කතාවක් නොවේ. නෙල්ලායි සිට පැමිණ මූම්බායිහි ජීවත්වූ මැර නායකයකුගේ චරිතාපදානය ඇසුරින් සැකසුනකි. සිනමා පටයේ ටීසරයත් ට්‍රේලරයත් රජිනිකාන්ත්ගේ දේශපාලන ප්‍රවේශයට ආශිර්වාදයක් වන ලෙස නිමවා තිබේ.
සිනමා පටයේ ටීසරය ඇරැඹෙන්නේ නානා පතේකාර් විසින් කාලා මේ මොනවගේ නමක්ද?
කාලා, කේයිසා නාම් යේ රේ? යන පැනයෙනි. තත්පරයකට පසුව රජිනිකාන්ත් හෙවත් කාලා කුඩයක් ද රැගෙන සමුද්රකානි (අරුලේසන්) සමඟ පැමිණෙයි. කාලා වදනේ අරුත කළු පැහැය වුව ද ඔහු සටනින් සෑම දෙනාගේම දිවි බේරා ගන්නා තැනැත්තායි. අධ්යක්ෂවරයා නම් තම සිනමා පටයේ වීරයාට ඒ නම දී ඇත්තේ මරණයේ දේවියන් ‘යම’ සිහිගන්වමිනි. කාල ලෙස අරුත් ගැන්වුණු සුදු චරිතය ගැන කොලිවුඩයේ ප්‍රකාශයට පත් කෙරුණේ 2016 වසරේදී ය. රජිනිගේ බෑණා (වැඩිමල් දියණිය අයිශ්වර්යාගේ සැමියා) කොලිවුඩයේ දක්ෂ කලාකරුවකු වන ධනුෂ් මෙහි නිෂ්පාදකවරයා ය. මේ පා. රන්ජිත් සහ රජිනිකාන්ත් අධ්යක්ෂ නළු සුසංයෝගය ප්‍රේක්ෂකයන්ට රස විඳින්නට ලැබෙන දෙවැනි නිර්මාණයයි. මින් පෙර ද ඔහු රජිනිකාන්ත් කබාලි සිනමා පටයේ ද කථා නායකයා කළේ ය. කබාලීස්වරන් (කබාලි) මැරවරයා ලෙස රජිනිකාන්ත් රැඟූ ‘කබාලි’ සිනමා පටය අන්තර්ජාතිකව ආරම්භක සති අන්තයේ වැඩිම ආදායමක් ලද ඉන්දියානු සිනමා පටය ලෙස වාර්තා පොතට එක්විය.
2016 වසරේදී කාලා කරිකාලන් සිනමාපටය ගැන සුබ ආරංචිය මුලින් ම පවසන ලද්දේ ධනුෂ්ය. 2017 මැයි අවසානයේ සමස්ත රසික ප්‍රජාවටම සිනමාපටය දමිළ, ඉංග්‍රීසි, හින්දි සහ තෙළිඟු භාෂාවලින් තිරගත කෙරෙන බව ප්‍රවර්ධන පෝස්ටරයෙන් දක්වා තිබිණි.
විද්‍යා බාලන් සිනමා පටයේ කතානායිකාව, ‘දේවි’ චරිතයට පළමුව තෝරාගෙන තිබුණ ද ඇය එය ප්‍රතික්ෂේප කළ නිසා හියුමා කුරේව තෝරාගන්නා ලදී. හියුමා රඟපෑ පළමු බොලිවුඩ් සිනමා පටයෙන් ම හොඳම නවක නිළියටත්, හොඳම සහාය නිළියටත් නිර්දේශ වුණු දක්ෂ බොලිවුඩ් තාරකාවකි.
කබාලි සිනමා පටයට සම්බන්ධවූ තාක්ෂණ ශිල්පීන් හා තරු රැසක්ම ‘කාලා’ට ද සම්බන්ධවී ඇත. 2017 මැයි 28 වැනිදා සිනමා පටයේ රූගත කිරීම් ඇරඹුණු අතර මුලින් ම දර්ශන තලය ලෙස තෝරාගත් මුම්බායි පුරය අධික වර්ෂාව හේතුවෙන් වෙනස් කිරීමට සිදුවිය. පසුව චෙනායිවල මුම්බායි මුහුණුවර නිර්මාණය කරමින් රූගත කිරීම් ඇරැඹිණි.
කාලා ට්‍රේලරයට, කාලා ටීසරයට මෙන් ම කාලා පෝස්ටරයට ද ඇත්තේ හොඳ ප්‍රේක්ෂක ප්රතිචාරයකි. එක් පෝස්ටරයක දැක්වෙන රජිනි සමඟ සිටින සුනඛයා ද සිනමා පටය තිරගත වීමට පෙරදීම එක් රැයකින්ම වීරයකු වී සිටියි. කාලාහි සුනඛ නළුවාගේ නම ‘මානි’ය. රජිනි සමඟ මානි රඟන නිසා ඉන්දියානු රුපියල් කෝටි දෙකක් ගෙවා උගේ ස්වාමියා වීමට රසිකයන් කැමැත්ත ප්‍රකාශ කර තිබේ. එහෙත් උගේ සත්ව පුහුණුකරු සිමන් පවසන්නේ මානි දරුවකු වැනි බවත් දරුවන් මුදලට නොවිකුණන බවත් ය. සිනමා පටය රූගත කෙරෙන මුළු කාල සීමාව පුරාම දිනපතා රජින කාන්ත් ‘මානි’ ට බිස්කට් පැකැට්ටුව බැඟින් දී තිබේ. ඒ නිසා සුනඛයා රංගනයේ යෙදවීම අධ්යක්ෂවරයාට ඉතා පහසු කටයුත්තක් විය. රජිනි, සුනඛයා දුටු සැණින් අසා ඇත්තේ ඌ වැඩේ කරාවිද? කියායි. අධ්යක්ෂ පා. රන්ජිත් සහ රජිනි කාලා සඳහා මානි තෝරාගෙන ඇත්තේ සුනඛයන් තිස් දෙනකුට වඩා රංග පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව ය. මේ දෙහැවිරිදි මානිගේ සිවු වැනි රංගනයයි. කාලා තිරගත වීමට පෙරදීම ‘මානි’ ට තවත් සිනමා පටයකට ඇරැයුම් ලැබී තිබේ. කාලා රූගත කිරීමට පෙර සිනමා කණ්ඩායමේ ආරක්ෂාව පතා ඌට ජලභීතිකා එන්නත ද ලබාදී ඇත.
පද්මාවතී සිනමා පටයට මෙන් ම දැවැන්ත ප්‍රතිරෝධයක් එල්ල නොවුණ ද කාලා චරිතයට හාජි මස්තාන් නම් මැර නායකයාගේ හදාගත් පුතු චෝදනා නඟා තිබේ. ඔහු හාජි හදා වඩාගත් පුත්‍රයාය. එහෙත් අධ්යක්ෂවරයා මෙය හාජි මස්තාන්ගේ ජීවිත කතාව නොව ප්‍රබන්ධයක් බව හදාගත් පුතුට පැවසුවේ ය.
කේ. රාජසේකරන් නම් සහාය අධ්යක්ෂවරයා කාලා සිනමා පටයේ නම සහ කතාව තමන්ගේ බව සඳහන් කර අධ්යක්ෂවරයාට එරෙහිව නඩු පැවරුවේ ය. ඔහු පවසන්නේ තමන් සිනමා පටයේ නම, කතාව නිර්මාණය කළේ 1995 දී බවයි. එහෙත් ඉන් සිනමා පටය ප්‍රදර්ශනයට බාධාවක් වන බව නම් දැන ගැනීමට ලැබී නැත.
පා. රන්ජිත් අධ්යක්ෂවරයා හා සන්තෝෂ් නාරායන් සංගීතඥයා එක්වන්නේ සිවුවැනි සිනමා නිර්මාණයටයි. රන්ජිත්ගේ අත්තාකතී, මැඩ්රාස්, කබාලි සිනමා පටවල සංගීත අධ්යක්ෂවරයා වූයේ ද ඔහු ය.
සිනමා පටයේ කොලිවුඩ රසිකයන්ගේ දෙවියන්, රජිනිකාන්ත් මෙන්ම බොලිවුඩයේ සුපිරි චරිතාංග නළු නානා පතේකාර් ද රඟති. විචාරකයන් දකින්නේ ඉන්දීය සිනමාවේ දැවැන්ත රංගන ශිල්පීන් දෙදෙනකුගේ රංගන වින්‍යාසයන්හි දුලබ ඝට්ටනයක් කාලා මඟින් දක්නට හැකිවන බවයි. නානා රඟන්නේ කාලාගේ පරම සතුරාගේ චරිතයයි. නානාගේ නම බොලිවුඩයේ පමණක් නොව මරාති සිනමාවේද සුපතළය. මේ ඔහුගේ මංගල කොලිවුඩ් රංගනයයි. කළු චරිතයකට කෙතරම් සාධාරණයක් කළ හැකි දැයි කියා නානාට ආත්ම විශ්වාසයක් නොතිබුණ ද රජිනිකාන්ත් නිසාම චරිතය රඟපෑමට එකඟවී තිබේ. නා නා පතේකාර් මෙහි රඟන්නේ ‘නානා දේවකුමාර්’ යන දුශ්ශීල දේශපාලනඥයාගේ චරිතයයි.
කාර්පූරවල්ලි ලෙස ඊශ්වරී රාබ්ත්, පුයාල් චාරුමතී ලෙස මරාති නිළි අන්ජලී පට්ල් ද අරවින්ද් ආකාශ් ශිවාජි රාඕ ද ලෙස ද ප්‍රධාන චරිත රඟති.
මිනිත්තු 156 ක් පුරා තිරයේ දිග හැරෙන ‘කාලා’ අප්‍රේල් 27 දින තිරගත වීමට නියමිත අතර රජිනිකාන්ත්ගේ ‘කාලා’ හොලිවුඩයේ ‘බ්ලැක්පැන්තර්’ පරදවන බව බොහෝ දෙනාගේ විශ්වාසයයි.
චම්පිකා දීපානි රණසිංහ