සෝප් ඔපෙරා කියලා හැඳින්වුණු ටෙලිනාට්‍යවලින් කලාත්මක වැඩ කරන්න බෑ කියලා කතාවක් තිබුණා.
කොහොමත් සිනමාවට සාපේක්ෂව මුහුණින් පළකෙරෙන හැඟීම් ආදියට වගේ ම කැමරා කෝණවල භාවිතය වගේ විවිධ ප්රකාශනයන්ට ටෙලි මාධ්‍යයේ අවහිරකම් තිබෙනවා කියන එක මගහැරයන්න බෑ. ඒත් අපට ටෙලිනාට්‍ය කියන්නෙ කලාවක් කියලා ඔප්පු කරපු ඉතිහාසයක් තිබෙනවා. රූපවාහිනී මාධ්‍ය ලංකාවට හඳුන්වල දුන්න කාලෙ ඉඳන් ම ඒ ලකුණු ධම්ම ජාගොඩ වගේ පූර්වාගාමියො පෙන්නල දුන්නා.
මේ කලාව පොල්කුඩු ගාණට ගිහින් විනාස වෙලා අන්තිමට තිබ්බා ගැහුව වැල්වලට ගිහින් එතනිනුත් නැවතෙන්නෙ නැතුව ඉන්දියාවෙන් ආනයනය කරන විකාරවලින් වැහිල තියන සන්දර්භයක් දැන් තියන්නෙ. මේ විදිහට ප්‍රවාහය පහළට ගලාගෙන යද්දි උඩුගං බලා පිහිනන්න දඟලන පිරිසකුත් ඉන්නවා. නව පරම්පරාවෙ නාමල් ජයසිංහ වගේ කෙනෙක් එක් ආරකිනුත් ලක්මාල් ධර්මරත්න වගේ කෙනෙක් වෙනත් ආරකිනුත් ඒක මෑත කාලෙදි පෙන්නල දුන්නා.
ප්‍රදීප් ධර්මදාස කියන්නෙත් කාලයක් තිස්සෙ ‘වැඩක්’ කරන්න මහන්සි වෙන නව පරම්පරාවෙ කලාකාරයෙක්. ‘සමනලුන්ට වෙඩි තියන්න’, ‘ඇහි පිල්ලමක් යට’ වගේ ටෙලිනාට්‍ය විශාල ජනතාවක් අතරට ගියා කියන්න බැරි වුණත් ටෙලිනාට්‍ය වැඩේ අස්සෙ සලකුණු තැබුවා. මෑතකදි ම ප්‍රදීප් ටෙලිනාට්‍යක් විදිහට අරන් ආවෙ ‘දෙයියන්ගෙ රටේ’. පෙර නිර්මාණ එක්ක බැලුවම ඒක ප්‍රදීප්ගෙ හැරවුමක් කියලත් හිතෙනව. (කරුණු සහිතව ඒ ගැන පසුව කතා කළ යුතු යි.)
‘ත්‍රෛලෝකා’ ඔහුගෙ නවතම ටෙලි නිර්මාණය. මාධ්‍ය වෙනුවෙන් ප්‍රදර්ශනය කෙරුණු සංස්කරණය කළ පිටපතක් නරඹන්නට ලැබුණා. තවමත් විකාශය වෙන්න පටන්ගෙන නැති නිසාත් සම්පූර්ණ නිර්මාණය නරඹන්නට නොහැකි වුණ නිසාත් ඒ ගැන වැඩිදුර විස්තර කතා කිරීම ඔබින්නෙ නෑ. ඒ නමුත් ‘‘ත්‍රෛලෝකා’’ වැඩි පිරිසක් නැරඹිය යුතු නිර්මාණයක් නිසාවෙන් මේ සටහන ලියා තබන්නෙ, නාට්‍ය විකාශය අවසානයෙ වැඩිදුර කතිකාවකට ඉඩ තබමින්.
ත්‍රෛලෝකා කථාංග 14කින් හමාර වෙනවා. දයාදේව, වසන්ති රන්වල, ශ්‍රියන්ත මෙන්ඩිස් මෙහි රඟපානවා. ඒ වගෙ ම නව පරපුරේ දක්ෂ නළු-නිළියො ප්‍රශංසාකටයුතු රංගනයක නියැළෙනවා. මෑත කාලෙ සුපර් හිට් එකක් වෙලා ඉන්න කළණ ගුණසේකර තමයි ප්‍රධාන චරිතයට දායක වෙන්නෙ. කලින් වගේ ම ප්‍රදීප්ගෙ නළුවරණය කෘතියට සාධාරණයක් ඉටු කර තිබෙන බව කියන්න පුළුවන්.
ස්වාධීන රූපවාහිනියෙන් දෙසැම්බර් 15 වැනිදා ඉඳන් සෑම සෙනසුරාදාවක ම රෑ 7.30ට විකාශය කෙරෙන ‘ත්‍රෛලෝකා’ නරඹන්න එක්වෙන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. එහි හොඳ-නොහොඳ, කලාත්මක සංදිග්ධතා, දෘෂ්ටිවාදයෙහි විමතිකතා පිළිබඳව නාට්‍ය විකාශයෙන් පසුව කතිකාවට ඉඩ තබමින්.
ඇත්ත- අලංකාරය
2018/12/16
සඳුන් ප්‍රියංකර විතානගේ