තමන් ජීවත්ව සිටින කාලය තුළදීම තමන් ලියූ පොත ලෝකය පුරා භාෂා 67කට පරිවර්තනය වෙමින් පිටපත් මිලියන 500ක් විකිණෙන අන්දම දැකගැනීමේ වාසනාව ලද ඉතිහාසගත ලේඛිකාව ඇයයි.
ලෝකයම දන්නා ලියෝ තෝල්ස්තෝයිගේ ඇනා කැරනිනා, යුද්ධය හා සාමය වැනි ග්රන්ථද මෙතෙක් කාලයකට අලෙවි වී ඇත්තේ මිලියන 413කි. වඩාත් අපූරු කාරණාව නම් මේ තරම් ඉහළ අලෙවියක් ලබාදුන් ග්‍රන්ථය මුලින් 12 වතාවක්ම ප්‍රකාශකයන් වෙතින් ප්‍රතික්ෂේප වී තිබීමයි. දුම්රිය ගමනක අතරමග හදිසියේම හිතට කඩාපැන්න ලොකු ඇස් කණ්ණාඩි පැළැඳගත් නළලේ අකුණුසරයක් බඳු කැළලක් ඇති දඟකාර කොලුගැටයා වසරක් ගතවන්නටත් පෙර ඇය ප්‍රකෝටිපතිනියක් බවට පත්කර හමාරය. මාසේ පඩියට ඇඟිලි ගනිමින් යාන්තම් බඩ රවටාගන්නා ජීවිතය නම් වූ විඳවිල්ල එක් රැයකින් උඩුයටිකුරු කර සැබෑ ජීවිතය රස විඳින්නියක බවට ඇගේ ජීවන රටාව පෙරුලූ හැරි පොටර් නමැති අනාථ මැජික් කොලුවාගේ කතාව නිකම්ම නිකං ඉංග්‍රීසි ගුරු ජොආනාව, මුළු ලෝකයම නම කියූ පමණින් දන්නා ජේ.කේ. රෝලින් නැතිනම් “මැජික්කාර පොටර්ගේ අම්මා” බවට පත් කළේය. ඇය තමන්ගේ දුක්ඛිත අතීතය අමතක නොකළ නැති බැරි අයට පිහිටවෙන හිතහොඳ දානපතිනියක් බවට පත්ව ඇත්තේ තමන්ට එතෙක් අහිමිව තිබූ සුඛෝපභෝගීත්වයද හොඳ හැටි වැළඳ ගන්නා අතරමය.
1965 ජූලි 31 වැනිදා ඇගේ උපන්දිනයයි. එංගලන්තයේ ග්ලොස්ටර්ශයර් ප්රන්තයේහිදී උපත ලබන ඇගේ මුල් නම ජොආන් රෝලින් ය. මෙසේ නම ලද ඇය J.K. Rowling වීමද රස කතාවකි. ඇගේ ග්‍රන්ථවල සම්පූර්ණ නම යෙදීමෙන් ඇය කාන්තාවක් බවට ඉඳුරාම හඳුනාගත හැකිය. නමුත් රෝලින්ගේ පොත්වල ඉලක්ක ගත පිරිස කුඩා පිරිමි දරුවන්ය. කොටින්ම පොඩි කොල්ලන්ය. කාන්තාවක ලියූ පොතක් කොල්ලන් මිලදී ගැනීම ප්‍රතික්ෂේප කරයි යන සිතුවිල්ල නිසා ඇය තම ලේඛනය වෙනුවෙන් භාවිත කළේ ජේ.කේ. රෝලින් යන පුරුෂ ස්වභාව ගත් නාමයයි. ඇගේ මව ප්‍රංශ ස්කොට්ලන්ත සම්භවයක් ඇති ඈන් රෝලින් වන අතර පියා පීටර් ජේම්ස් රෝලින්ය. ඇයට එක් සහෝදරියකි. ඇය ඒ.ඩී. රෝලීන්ය.
රෝලින් මුලින්ම අධ්‍යාපනය ලබන්නේ බ්‍රිතාන්‍යයේ ශාන්ත මිචෙල් කනිටු විදුහලෙනි. මෙහි සිටි මුල් ගුරුතුමාගේ චරිතය ඇයගේ සිතේ තදින්ම කා වැදුණු අතර, හැරී පෝටර් කතා මාලාවේ මුල් ගුරුතුමාට ඇය ජීවය දී තිබෙන්නේ එම ගුරුතුමාගේ චරිතය ඇසුරෙනි. කුඩා කළ සිටම ඇය මනඃකල්පිත කතා ලිවීමට සූරියෙකි.
රෝලින් තම ද්වීතියීක අධ්‍යාපනය සඳහා ඇතුළත් වෙන්නේ වීඩියර් විද්‍යාලයටයි. මේ කාලයේදී ඇයගේ මවත් එහි විද්‍යා අංශයේ කාර්මික ශිල්පිනියක් ලෙසට සේවය කර ඇත. ඉන්පසුව ඇය එක්සීටර් සරසවියේ උපාධිධාරිනියක් බවට පත් වෙයි. මේත් සමඟම වර්ෂයක කාලයක් පැරීසියට යන රෝලින් නැවත ලන්ඩන් නුවරට පැමිණ පර්යේෂිකාවක සහ ද්වීභාෂා ලේකම්වරියක ලෙසට සේවය කරන්නෙ ඇම්නෙස්ටි ආයතනයේය.
1990 වර්ෂය වනවිට ඇගේ වයස අවුරුදු 25කි. ඇය සිටියේ තම දිවියේ සොඳුරුතම කාලසීමාවකය. මේ කාලයේ එක් දිනක ඇය මැන්චෙස්ටර් සිට ලන්ඩන් දක්වා යන දුම්රියක ගමන් කරමින් සිටියා. එම ගමනේදී එක්වරම ඇයට ‘හැරී පොටර්’ මූලික සිතුවිල්ල මනසට පැමිණියේය. දුම්රිය කැලැප්හැම් හන්දියට සමීප වෙද්දී ඇය කතාව ලිවීමද ආරම්භ කළාය. මේ අතර 1990 දෙසැම්බරයේ රෝලින්ගේ මව මිය ගියාය. මවගේ මරණය රෝලින්ගේ දිවියට ඉතා තදින් බලපෑම් කළ සිදුවීමකි.
මේ කාලයේදී රෝලින් පෘතුගාලය බලා පිටත්ව ගියාය. ඒ ඉංග්‍රීසි භාෂා ගුරුවරියක් ලෙසටය. 1992 ඔක්තෝබර් 16 වැනිදා ඇය විවාහ දිවියට එළැඹුණි. ඒ පෘතුගීසි රූපවාහිනී මාධ්‍යවේදියකු වන ජෝර්ජ් අර්න්ටස් සමඟය. 1993 ජුලි 23දා ජෙසිකා ඉසබෙල් රෝලින් නම් දියණිය බිහිකරමින් ඇය මව් පදවියද ලැබුවාය. කෙසේ වෙතත් 1993 නොවැම්බරයේදී ඇය තම සැමියාගෙන් වෙන් වූවාය. ඉන්පසුව ඇය දියණියද සමග තම සහෝදරිය සිටිනා ඉසව්වට එනම් ස්කොට්ලන්තයට පැමිණෙයි. ඉංග්‍රීසි ගුරුවරියක ලෙස ජෙසිකාත් සමග ඉතාමත් දුෂ්කර තත්ත්වයකට පත්වන රෝලීන් දුගී භාවයෙන් අන්තිම අඩියටද ඇද වැටෙයි. මේ කාලසීමාවේදී කුසගින්න ඇයට සාමාන්‍ය දෙයක් බවට පත්වෙයි. ශීත කාලයේ ජෙසිකා උණුසුම් කිරීමට අවශ්‍ය පොරවනයක් මිලදී ගැනීමටවත් රෝලින්හට මිල මුදල් හිඟවන්නේ ද මේ කාලසීමාවේදීය.
ඉගැන්වීමේ කටයුතුවලට අවශ්‍ය පාඩම් සැකසීම, ජෙසිකා බලාකියා ගැනීම ආදී කරුණු සියල්ලම නිසා විවේක කාලය සිහිනයකි. මේ අතර කලක් තිස්සේ තමන්ගේ හිතේ සැඟව තිබූ එකම සිහිනය වූ හැරී පෝටර් ලිවීමට ඇය දැඩි ලෙස අදිටන් කරගනියි. ජෙසිකා තල්ලු කරන පුටුවේ නිදාගත් විට ඇය, අසල ඇති අවන්හලකට ගොස් ලිවීම් කටයුතු උමතුවෙන් මෙන් කරගෙන යනු ලබයි. සෑම දිනකම සන්ධ්‍යා භාගය වනතෙක් රෝලින් මෙසේ ලිවීම් කටයුතු කළේය. ලියූ සියලු දෑ ඇය සතු පැරැණි යතුරුලියනයෙන් පිටපත් කළේද රෝලින් විසින්මය.
ඉහත අයුරින් දැඩි දුෂ්කර ක්‍රියාවන් හි නියැලෙමින් නිර්මාණය කළ හැරී පෝටර් ඇන්ඩ් ද ෆිලෝසොෆර්ස් ස්ටෝන් ග්‍රන්ථයේ මුල් පිටපත 1995 දී ඇය යතුරුලියනය කර නිම කරයි. ඉන්පසුව රෝලින් මෙය ප්‍රකාශන ආයතන 12කට යොමුකරන නමුත්, ඉතා අවාසනාවන්ත ලෙසට එම 12න් ම එය ප්‍රතික්ෂේප වෙයි. නමුත්, ලන්ඩනයේ බ්ලූම්ස්බරි නම් කුඩා ප්‍රකාශන ආයතනය මෙය මුද්‍රණයට බාර ගන්නා අතර, ඒ වෙනුවෙන් රෝලින්හට මුලින්ම පවුම් 1500ක අත්තිකාරමක්ද ලැබෙයි. මේ අතර දිගටම ලේඛනයේ නිරතවීම සඳහා ‘ස්ටොරින් කලා කවුන්සිලය’ ඇය හට පවුම් 8000ක ප්රධානයක්ද දෙයි. ප්‍රථම හැරී පෝටර් ග්‍රන්ථය ඇමරිකාවේ මුද්‍රණය කිරීමට මේත් සමඟම රෝලින් හට හැකි වෙනවා. එය සිදුවන්නේ වෙන්දේසියක් දමාය. මෙහිදී ඇයගේ ග්‍රන්ථය වෙනුවෙන් ස්කොලස්ටික් ආයතනය අමෙරිකානු ඩොලර් 105,000 ගෙවනවා. මේ පුවත සැලවීමත් සමගම රෝලින් ප්‍රකාශ කර තිබුණේ තමන් ‘මරණාසන්න’ වූ බවටයි. එනම් එය අදහාගත නොහැකි තත්ත්වයකට ඇය පත්විය. මාස පහකට පසු හැරී පෝටර් ප්‍රථම ග්‍රන්ථය පළමු සම්මානයද ලබයි. ඇගේ මුළුමහත් ජිවිතයම මායා බලයකින් මෙන් ඒ සමඟ වෙනස් වන්නට ගනියි.
සම්මාන තොග සහ ඩොලර් බිලියන ගණනින් ගලා ආ අතර රෝලින්ගේ අවසාන හැරී පෝටර් ග්රන්ථ හතර ඉතිහාසයේ මෙතෙක් ඉතාම ඉක්මනින් සහ වැඩියෙන්ම අලෙවි වූ ග්රන්ථ ලෙස වාර්තා අතරටද එක්වීය. ග්රන්ථකරණය නිසාම ඇය සම්මාන රැසකටද උරුමකම් කීවාය. ඒ අතරින් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ Order of the British Empire සම්මානය අති විශේෂය. එසේම විශ්වවිද්‍යාල ගණනාවකින්ම ඇය සම්මානනීය උපාධිවලින්ද පිදුම් ලැබ ඇත.
හැරී පෝටර් ග්රන්ථ මාලාව සේම මේ ආශ්රයෙන් නිෂ්පාදනය කළ සිනමා නිර්මාණද ලෝකය පුරාම ජනප්‍රිය විය. 1998 දී වෝනර් බ්‍රදර්ස් සමාගම ප්‍රථම ග්රන්ථ දෙක සඳහා සිනමා අයිතිය ලබාගත් අතර හැරී පෝටර් මංගල චිත්‍රපටය නිකුත් වන්නේ 2001 නොවැම්බර් 16 වැනිදායි. විවිධ අධ්යක්ෂවරු යටතේ මෙහි සිනමා පට 07 ක් නිකුත් විය. ඒවාද ඉතා හොඳින් අලෙවි වාර්තා තබමින් ලෝකය වටාම තිරගත වූ බවටයි වාර්තා වන්නේ. මෙහි අවසන් සිනමා පටය නිකුත් වුණේ 2011 වර්ෂයේයි. මෙම ග්රන්ථ මාලාව තුළින් ඇමරිකන් ඩොලර් මිලියන හාරසියයක් ද, අවසන් චිත්‍රපටය හරහා පමණක් ඇය ඇමරිකන් ඩොලර් මිලියන හාරසිය හැත්තෑ හයක්ද ඉපයූ අතර මෙම කතාමාලාව භාෂා 67කට පරිවර්තනය විය. එහි පිටපත් මිලියන ගණනක් අලෙවි විය. මෙම පිටපත් අලෙවිය හරහා ලද ඇයගේ ආදායම ඇමරිකන් ඩොලර් බිලියන විස්සද ඉක්මවිය.
ඇය පොත් ලියා පලක් නැතැයි යන සමාජ මතය දෙදරා යවමින් ග්‍රන්ථකරණයෙන් කෝටිපතිනියක් බවට පත්වූවාය. ෆෝර්බ්ස් සඟරාව සඳහන් කරන ආකාරයට රෝලින් යනු ග්රන්ථ රචනයෙන් අමෙරිකානු ඩොලර් බිලියනය ඉක්ම වූ එකම පුද්ගලයාය. රෝලින්, විනෝදාස්වාදී අංශයන් ලොව දෙවන පොහොසත්ම කාන්තාව ලෙස නම් ලැබූ අතර ලෝක ධනවතුන් ලැයිස්තුවටද එක් වූවාය. ඇය ලෝකයේ වැඩිම මුදලක් අයකරන ලේඛිකාව ලෙස නම්කර ඇත. එම මුදල ඩොලර් මිලියන 95කි. ඇය බිලියනය ඉක්මවූ බවට මුලින්ම වාර්තා වුණේ 2004 දීය. 2001 වර්ෂයේ දී ඇය 19 වන ශත වර්ෂයට අයත් අලංකාර සුවිසල් මන්දිරයක්ද මිලදී ගත් අතර එය පිහිටා තිබෙන්නේ ස්කොට්ලන්තයේයි. එසේම ඇයට එඩින්බරාහි සහ බටහිර ලන්ඩනයේ කෙන්සින්ටන්වලද සුඛෝපභෝගී නිවාස පවතී. කෙන්සින්ටන් බංගලාව ඩොලර් මිලියන 5.9කි. ඈ සතු විනෝද යාත්‍රාව ඩොලර් මිලියන 8.9කි. ඇගේ ධනවත්කම කොතෙක්ද යත් ඇතැම් වාර්තා අනුව ඇගේ වත්කම් බ්‍රිතාන්‍ය මහ රැජිනගේ ධනවත් බවද අභිබවා ගොස් තිබුණි. ඇය දින තුනකට වරක් ඩොලර් මිලියන 1.27ක් උපයන බව වාර්තා වූයේ ඒ සමගය. ඇය විනෝදය සඳහා අත දිගහැර වියදම් කරයි. ගැලපගෝස් වෙත ඈ යන මුහුදු යාත්‍රා සවාරියට ඩොලර් 19000ක් වැයකරයි. සීෂෙල්ස් එක් සතියක නවාතැන් සඳහා ඩොලර් 17000ක් වැය කරන්නීය. හැම්ප්ටන්හි ඩොලර් 96000ක් වටිනා වෙරළ බඩ නිවාසයක්ද සතුය. ඇය කාර් පිස්සියක් නොවේ. නමුත් ඉහළම පැෂන්කාරියකි. දියමන්ති ඇල්ලූ ඔර්ලෝසු ඇතුළු ඉහළම මෝස්තරයේ ආභරණවලට කැමැතිය. ‘හැරී පෝටර්’ කතා මාලාව රචනා කිරීමේදී ජේ.කේ. රෝලින් අසුන් ගෙන සිටි පුටුව පමණක් පසුව නිව්යෝර්ක්හි පැවැති වෙන්දේසියකදී ඩොලර් 394,000කට අලෙවි වීමම ඈ ලබා ඇති දියුණුවට සහ ප්‍රසිද්ධියට නිහඬ සාධකයකි.
ඇය ඉතාමත් නිදහස් චින්තනයක් ඇති තැනැත්තියකි. දුගී බව ඉතා හොඳින් හඳුනන ඇය ලෝකයේ අසරණ කාන්තාවන්ට සහ දරුවන්ට සේවය කිරීම උදෙසා සුබසාධන ව්‍යාපෘති රැසක් ද ක්‍රියාත්මක කරමින් පවත්වාගෙන යයි. මේ වෙනුවෙන් ඇය පවුම් මිලියන ගණන් වියදම් කරන බවටද සඳහන්ය. ඇය අන් අයගේ දුක දන්නා නිසා සමාජ සුභසාධනය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන් 160ක් පමණ පරිත්‍යාග කර ඇත. මේ නිසාම ඇයට බිලියනපති ලැයිස්තුවෙන් පසුව ඉවත්වන්නට සිදුව තිබේ. මව බිලිගත් ස්නායු රෝගය ගැන හදාරන්නට ඇය ආයතනයක් පිහිටුවන්නට මුදල් යොදා හමාරය. දරුවන් සමග තනිවන වන අයහට පිහිට වන ජින්ජර්බ්‍රෙඩ් නම් ආයතනයක්ද ඇය මුදල් යොදා අරඹා තිබේ. කොටින්ම ඇගේ අසරණ සරණ සේවය කෙතරම්ද යත් වරෙක පිළිකාවක් හැදී මියයන්නට ආසන්න කුඩා දියණියකට ඇගේ අලුත්ම හැරී පෝටර් කතාවේ (එතෙක් මුද්‍රණය නොවුන) විස්තර ඊමේල් කරන්නට පවා ඈ කාරුණික විය. මේ දරුවාට අලුත් පොත බලන්න තරම් කාලයක් ජීවත් වන්න නොතිබූ නිසාය.
සුගත් පී. කුලතුංගආරච්චි