1970 දශකයේ බටහිර යුරෝපීය රටවල සුපිරි වෙළෙඳසැල් වෙත පැමිණි පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා පරිදි ෂොපින් බෑගය හෙවත් සිලි මල්ල නිපදවිනි. පාරිභෝගිකයන් වසඟයට පත් කරමින් විවිධ හැඩයෙන්, වර්ණයෙන් හා සුරක්ෂිතභාවයෙන්ද නම්‍යතාවෙන් ද යුතුවූ මෙම බෑගය දැකුම්කලු නිර්මාණයක් විය. කිසිදු නිමැවුවක් ව්‍යාප්ත නොවූ පරිදි ලොව පුරා අහුමුලුවල මෙම විස්මිත බෑගය ව්‍යාප්ත වූයේ පරිසර ක්ෂේත්රය තුළ පමණක් නොව සමාජ, ආර්ථීක හා දේශපාලන අංශ කම්පනයට පත්කරවමිනි.
පරිසරය සුරැකීමේ වත්මන් ක්‍රියාවලිය තුළ ෂොපින් බෑගය පිළිබඳව පවතින්නේ පුළුල් සාකච්ඡාවකි. කි.ග්‍රෑම් 02 මේ පිළිබඳව අත්හදාබැලීම්ද විවිධය.
World Watch සංවිධානයේ දර්ශක අනුව ගෝලීය ඒකපුද්ගල ෂොපින් බෑග් භාවිතය වාර්ෂිකව කි.ග්‍රෑම් 02 කි. මෙරට පාරිභෝගිකයන්ගේ වෙළඳපොළ හැසිරීම නිරීක්ෂණය කළ විට එය දෙගුණයක් යයි ප්රක්ෂේපණය කළ හැකිය. විවෘත ආර්ථිකය තුළ පාරිභෝගිකයා ‘‘රජෙක්’’ ලෙස අර්ථ දැක්වෙයි. ඔහු නිදහසේ කිසිදු බන්ධනයකින් හෝ බද්දකට හෝ යටත් නොවී අවම වශයෙන් දිනකට ෂොපින් බෑග් එකකට වැඩි සංඛ්‍යාවක් අත දරයි. මීතොටමුල්ල වැනි කසළ කඳු බිහිවීමේ මූලික කරුණක් වන්නේද මෙයයි. 2014 වර්ෂයේ රෙජිස්ටාර් දෙපාර්තමේන්තු වාර්තා අනුව මෙරට වෙළඳපළ හා ගනුදෙනු කරණ සක්‍රීය පාරිභෝගිකයෝ මිලියන 16කි. සක්‍රීය පාරිභෝගිකයා යනු වෙළඳපොළේ භාණ්ඩ මිලට ගන්නා අවුරුදු 10-70 ක් අතර ජන සංඛ්‍යාවයි. මෙය සමස්ත ජනගහනයෙන් 78% කි. මෙම පාරිභෝගිකයන් අතර 51% ක් කාන්තාවන්ය. මෙයින් පෙනෙන්නේ පිරිමින්ට වඩා කාන්තාවන් විසින් වසරකට ෂොපින් බෑග් මිලියන 15.9 ක් සිය වටපිටාවට එකතු කරන බවයි.
ශ්‍රී ලාංකික පාරිභෝගිකයාගේ ෂොපින් බෑග් අධි-පරිභෝජනය පාරිසරික පද්ධතීන්ට දැඩි කම්පනයකි. විශේෂයෙන් ජලය, වාතය, පස, ජෛව-විවිධත්වය සහ පාරිසරික සෞඛ්‍ය යන අංශ මෙහිදී ප්‍රමුඛය. ෂොපින් බෑග් භාවිතයේ මෙම පාරිසරික පිරිවැය අඛණ්ඩව වැඩි වීමක් විනා අඩුවීමක් නොමැත. වෙරළ තීරයට ෂොපින් බෑග්, ප්ලාස්ටික් හා පොලිතින් බැහැර කරන රටවල් අතර පස්වැන්නා බවට ශ්‍රී ලංකාව පත්ව ඇත. පොළොන්නරුව වැනි ප්‍රදේශවල රක්ෂිතයන්හි වෙසෙන වන සතුන්ගේ පැවැත්මට එය අභියෝගයකි. පුත්තලම දිස්ත්‍රික්කයේ බුරුවා වඳවී යාමට ආසන්නය. සාගර ජිවින් අතර තල්මහ, කැස්බෑවා, ඩොල්ෆින් වැනි ජලජ ජීවීන් වාර්ෂිකව ලක්ෂයක් ෂොපින් නිසා මියැදෙන බව ප්‍රකාශ කරන්නේ World Watch සංවිධානයයි. ෂොපින් බෑග් භාවිතය ප්රශස්ත ලෙස කළමනාකරණයෙහිලා විවිධ රටවල් ක්‍රියාත්මක කළ ව්‍යාපෘති රාශියකි. ගංගා නම් නදී ඩෙල්ටාවේ පිහිටි බංගලාදේශය මෙම ක්‍රියාමාර්ගය සාකච්ඡාවේදී ප්රමුඛ වෙයි.
1988/98 තර කාලය තුළ ඇතිවූ ගංවතුරෙන් එරට භූමියෙන් 75% ක් යටවූයේ ජලය බැස යන කාණු තුළ ෂොපින් බෑග් ගොඩගැසීමෙනි. ඒ අනුව ගංවතුර පාලනය කිරීමේ උපක්‍රමයක් ලෙස 2002 වර්ෂයේදී ෂොපින් බෑග් භාවිතය තහනමට ලක් කෙරිණි.
හනවලින් නිෂ්පාදිත බංගලාදේශයේ වෙළඳසැල්වල භාවිත කරන පරිසර හිතකාමී බෑග්
ෂොපින් බෑග් භාවිතය ප්රශස්ත ලෙස කළමනාකරණයේලා බංගලාදේශ ක්‍රමය වෙනුවට අයර්ලන්ත ජනරජය මගින් වෙළඳපොළ උපාය මාර්ග හඳුන්වා දෙනු ලැබුවේද 2002 වර්ෂයේදීය. ඒ අනුව සෑම ෂොපින් බෑගයක් සඳහාම යුරෝ ශන 15 ක බද්දක් නියම කෙරිණි. එමගින් ලද ආදායම වෙනත් කාර්යයන් සඳහා භාවිත නොකර. පරිසර හිතකාමී ඇසුරුම් කර්මාන්තකරුවන් දිරිගැන්වීම පිණිස අරමුදල් සපයන ලදී. වසරකින් පසුව ප්‍රතිඵල ඇගයීමකදී හෙළිවූයේ ඒක පුද්ගල ෂොපින් භාවිතය කි.ග්‍රෑම් 328 සිට කි.ග්‍රෑම් 28 දක්වා අඩුවී ඇති බවයි. මෙයින් අනතුරුව යුරෝපා ප්‍රජාවට අයත් රටවල් ෂොපින් බෑග් භාවිතය ප්රශස්ත ලෙස කළමනාකරණය සඳහා වෙළෙඳපොළ උපායමාර්ග වෙත අවතීර්ණ විය. ඔවුන්ගේ අරමුණ වන්නේ 2019 වන විට ෂොපින් බෑග් භාවිතය 80% දක්වා අඩු කිරීමය.
අප්‍රිකාවේ වනජීවී සම්පත් බහුල කෙන්යාව, බොස්ට්වානාව, රුවන්ඩාව වැනි රටවල් ෂොපින් බෑග් භාවිතය කළමනාකරණයෙහිලා මෙම උපායමාර්ග දෙකම 2004 වර්ෂයේදී ක්‍රියාවට නංවන ලදී. ඒ සඳහා අඩු ඝනමක් සහිත ෂොපින් තහනම් කිරීමටත් වැඩි ඝනකමක් සහිත ෂොපින් බෑග් සඳහා බද්දක් පැනවීමටත් කටයුතු කරන ලදී.
ෂොපින් බෑග් භාවිතය ප්රශස්ත ලෙස කළමනාකරණයෙහි ශ්‍රී ලාංකික ක්‍රියාමාර්ග සලකුණු වන්නේ 2006 වර්ෂයේදීය. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් විසින් එවකට පරිසර අමාත්‍යවරයාව සිටියදී අංක 1466/5 දරන අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කරන ලදී. මෙම ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත් වූයේ මයික්‍රෝන් 20 ක් හෝ එයට අඩු පොලිතීන් හෝ පොලිතීන් නිෂ්පාදන නිපැයුමක් බෙදාහැරීම හා භාවිතයත් සපුරා තහනම් බවයි. මෙම නියෝගය බලාත්මක කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය මගින් ප්රයත්න රාශියක් දැනටමත් ගෙන ඇත.
ෂොපින් බෑග් භාවිතය ප්රශස්ත ලෙස කළමනාකරණයේලා සක්‍රිය ලෙස සහභාගී කරගත යුතු පාර්ශ්වකරුවන් තිදෙනෙකු ඉහත ගැසට් නිවේදනයේ සඳහන්වේ. එනම් ෂොපින් නිපදවන්නා, බෙදාහරින්නා හා පාරිභෝගිකයා වශයෙනි. සංඛ්‍යාත්මකව මෙම පාර්ශ්වකරුවන් අතර අති බහුතරය පාරිභෝගිකයන් බව ලිපිය ආරම්භයේදී සඳහන් කරන ලදී. දෙවන විශාලතම පාර්ශ්වකරුවන් වන්නේ තොග සහ සිල්ලර වෙළෙන්දන්ය. 2009 වසරේ ශ්‍රී ලංකා ශ්‍රම බල සමීක්ෂණ වාර්තාව අනුව මෙරට තොග සහ සිල්ලර වෙළන්දන්ගේ සංඛ්‍යාව 293,493 කි. මෙරට සුපිරි වෙළඳසැල් ජාලය වටපිටාවට ෂොපින් එකතුකිරීමේ ප්‍රමුඛයෝය. මෙම වෙළඳ ආයතනවල සේවය කරන වෙළඳ සේවක සේවිකාවන් පාරිභෝගිකයන්ට කිසිදු අවහිරයකින් තොරව ෂොපින් ලබාදෙන ආකාරය නිරීක්ෂණය කළ හැකිය. මෙම වෙළඳ ආයතනවල පරිසර හිතකාමී බෑග් තිබුණද ඒවා පාරිභෝගිකයන්ට ලබා දෙන ආකාරය ප්‍රදර්ශනය නොවේ. හුදෙක්ම එම බෑග් ප්‍රදර්ශන භාණ්ඩයක් විලසින් තැබීම හැර වෙනත් අරමුණක් එහි ගම්‍ය නොවේ.
ෂොපින් බෑග් නිපදවන්නන් සංඛ්‍යාත්මකව කුඩා කණ්ඩායමකි. ඔවුන් විසින් සිය නිපැයුම සිදු කරනු ලබන්නේ තොග සහ සිල්ලර වෙළෙන්දන්ගේ අවශ්‍යතා අනුවය. ඒ අනුව මයික්‍රෝන 20 හෝ එයට වැඩි හෝ ෂොපින් නිපදවන පරිසර ආරක්ෂණ බලපත්‍රලාභීන්ගේ සංඛ්‍යාව (EPL) 2017 වන විට 622 කි. ෂොපින් බෑග් භාවිතය ප්රශස්ත ලෙස කළමනාකරණයෙහිලා මොවුන්ගේ කාර්යභාරය සුවිශාලය.
ෂොපින් බෑග් ප්රශස්ත ලෙස කළමනාකරණය යනු පරිසර ක්ෂේත්රයේ පමණක් නොව සමාජ, ආර්ථික හා දේශපාලන අංශ ඒකාබද්ධ වන ව්‍යාපෘතියකි. මෙවන් ව්‍යාපෘති සාර්ථක වීම කෙරෙහි බලපාන කරුණු අතර පාර්ශ්වකරුවන්ගේ සක්‍රිය සහභාගීත්වයට හිමිවන්නේ ප්රමුඛස්ථානයකි. සංවර්ධන ව්‍යාපෘති තුළ ප්‍රජා-සහභාගීත්ව සංකල්පන පුළුල් ලෙස විවරණය කරන ලද්දකි. සංවර්ධන ආධාර ලබා දීමේදී එක්සත් ජාතීන්ගේ සංවර්ධනය ඇතුළු ආධාර ආයතන පාර්ශ්වකරුවන්ගේ සහභාගීත්වයට දක්වන්නේ විශේෂ අවධානයකි.
ෂොපින් නිපදවන්නා, බෙදාහරින්නා සහ පාරිභෝගිකයාගේ පරිසර දැනුමේ සංයුතිය මූලික පාරිසරික පද්ධතීන්ගේ සංකීර්ණ අන්තර් සබඳතා ජාලයයි. එනම් ස්වාභාවික පරිසර පද්ධතීන් සමාජ හා නිර්මිත පරිසර පද්ධතීන් අතර පවත්නා අන්‍යෝන්‍ය වූ සංකීර්ණ සම්බන්ධතා පිළිබඳ සියලු පාර්ශ්වකරුවන් ප්රශස්ත මට්ටමින් දැනුම්වත් විය යුතුය. මේ සමඟ ෂොපින් අධි-පරිභෝජනය හේතුවෙන් පරිසර පද්ධති අතර සංකීර්ණ අන්තර් සම්බන්ධතා සඳහා අහිතකර බලපෑම්ද පාර්ශ්වකරුවා අවබෝධ කර ගත යුතුය. මෙම තත්ත්වය නිර්මාණය වී ඇත්තේ පාර්ශ්වකරුවන්ගේම ක්‍රියා නිසා බවත් එය නිවැරදි දිසාව වෙත යොමු කළ හැක්කේ තමන්ටම බවත් ස්වයංව අවබෝධ විය යුතුය. මෙම අවබෝධ සවිබලගැන්වීමේ ක්‍රියාවලියේ ඉදිරි පියවර සඳහා අත්‍යවශ්‍යවේ.
සවිබල ගැන්වීමේ දෙවන අදියර වඩාත් සංකීර්ණ හා නිර්මාණශීලී අවස්ථාවකි. ෂොපින් බෑග් ආශ්‍රීත පරිසර ගැටලු විසඳීමේ නිපුනතාව පාර්ශ්වකරුවන් තුළ නිර්මාණය කිරීම මෙහිදී සිදු වේ. මෙමගින් පාර්ශ්වකරුවා නව නිර්මාණශීලී ව්‍යාපෘති සඳහා පෙළඹ වේ. මෙම නව ව්‍යාපෘති සඳහා දේශීය තාක්ෂණය හා අමුද්‍රව්‍ය, පරිසර හිතකාමී බලශක්තිය, අපද්‍රව්‍ය ශූන්‍ය කිරීම වැනි කරුණු ඔහු විසින් ව්‍යාපෘති තුළට අන්තර්ගත කෙරෙයි. අයර්ලන්ත ජනරජය මෙවැනි නව නිපැයුම්කරුවන් දිරි ගැන්වූ ආකාරය සිහිපත් කරමි.
සවිබල ගැන්වීමේ පළමු හා දෙවන අදියර අතර ඇති අන්‍යෝන්‍ය සම්බන්ධතාව වඩාත් වැදගත්ය. පරිසර පිළිබඳ දැනුම නව නිර්මාණශීලී ව්‍යාපෘති වඩාත් ආකර්ෂණීය තත්ත්වයක් දක්වා යොමුකරති. පාර්ශ්වකරුවා තුළ වැඩෙන පරිසර දැනුම මගින් පරිසර ගැටලු විශ්ලේෂණය කිරීමේ නිපුණතාව සංවර්ධනය වේ. නව නිර්මාණශීලී ව්යාපෘතිකරණයේ පසුබිම මෙයින් වඩාත් දීප්තිමත් වේ.
පාර්ශ්වකරුවන් සවිබලගැන්වීමේ ක්‍රියාවලියේ වැදගත්ම අදියර වන්නේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ අවස්ථාවයි. මෙහිදී ප්රශස්ත ලෙස සවිබල ගැන්වූ ෂොපින් බෑග් නිපැයුම්කරු සිය ආයතනය නව නිර්මාණශීලී ඇසුරුම් නිපදවන ආයතනයන් බවට පරිවර්තනය කරයි. මෙය පරිසර දැනුම හා පරිසර නිපුණත්වයේ ප්රතිඵලයකි. මෙම නව නිර්මාණශීලී නිපැයුම් මගින් පාර්ශ්වකරුවා ප්රතිලාභ ලබන අතරම පරිසර පද්ධති සඳහා වන පීඩනය අවම වේ. මෙලෙස මෙහෙයවන ව්‍යාපෘති කේවල හෝ සමූහ වශයෙන්ද ක්‍රියාත්මක වේ. කුඩා කණ්ඩායම් ප්‍රවේශය ලෙස හඳුන්වන්නේද මෙයයි. පාර්ශ්වකරුවන්ගේ මෙම සංවර්ධන ප්‍රවේශ වඩාත් ආකර්ශනීය තත්ත්වයක් දක්වා පරිවර්තනය කිරීමට සජීවීකාරකයන්ගේ සේවය ඉතා වැදගත්ය. මෙම පාර්ශ්වකරුවන් සඳහා ඉහත දැක්වූ ජාත්‍යන්තර අත්දැකීම් ලබාදීමෙන් නව ව්‍යාපෘති වඩාත් ඔපමට්ටම් වේ.
ෂොපින් බෑග් බෙදා හරින්නා එනම් තොග සහ සිල්ලර වෙළෙන්දන් සංවිධිත සමූහයකි. ලොකු කුඩා සෑම නගරයකම වෙළඳ ප්‍රජාවගේ, සමිති ක්‍රියාත්මකය. එම සමිති ෂොපින් නිපැයුම්කරුවන් හා පාරිභෝගිකයන් සමඟ සම්බන්ධතා පවත්වති. මෙම සම්බන්ධීකරණය ෂොපින් බෑග් භාවිත ප්රශස්ත ලෙස කළමණාකරණය සඳහා අත්වැලකි. මේ සඳහා අවශ්‍ය වන්නේ වෙළෙඳ ප්‍රජාව පරිසර දැනුමින් ශක්තිමත් කිරීමයි. එයින් අනතුරුව ක්‍රියාකාරකම් සඳහා යොමු කිරීම වඩාත් පහසුවේ. ෂොපින්වලින් නිදහස් නගර බිහි කිරීම පිණිස වෙළෙඳ සංගම් සාමාජිකයන් සවිබල ගැන්වීම වැදගත්ම කාර්යයකි. මේ සඳහා සජීවීකාරකයන්ගේ සහය අත්‍යවශ්‍යවේ.
සංවර්ධන වැඩසටහන් සාර්ථකව මෙහෙයවීමේදී කාන්තා සහභාගීත්වයේ ඇති වැදගත්කමද ඉහත සඳහන් කරන ලදී. විශේෂයෙන් ෂොපින් බෑග් භාවිතයේ පෙර ගමන්කරුවන් ලෙස සැලකෙන කාන්තාවන් සවිබල ගැන්වීම සුවිශේෂ අවශ්‍යතාවකි. දිවයින පුරා පිහිටි කාන්තා සමිති සහ පාරිභෝගික සමාජ තුළින් මෙම සවිබලගැන්වීම ආරම්භ කළ හැකිය. ඒ සඳහා කාන්තා කාර්යංශය, පාරිභෝගික අධිකාරිය වැනි රාජ්‍ය ආයතනවල සහාය ලබා ගත යුතුය. මෙම සමිති සාමාජිකයන් සවිබලගැන්වීම මගින් නව නිර්මාණාත්මක ව්‍යාපෘතිකරණය ඔවුන් මගින් මෙහෙයවිය හැකිය. මෙම කාර්ය සාර්ථක කර ගැනීමේදී කාන්තා සජීවීකරුවන් නිර්මාණය කිරීම වැදගත් සංවර්ධන අවස්ථාවකි.
පාර්ශ්වකරුවෝ සිය නිර්මාණශීලී ව්‍යාපෘති ආරම්භ කරනුයේ මානුෂික බැඳීමකින් යුතුවය. එය සවිබලගැන්වීමේ ක්‍රියාවලියේ කර්තෘත්වයයි. මෙම මානුෂික බැඳීම හා කර්තෘත්වය ව්‍යාපෘති ක්‍රියාවලියේ අවශ්‍ය ගුණයකි. එසේ නොවන ව්‍යාපෘති සලකන්නේ බාහිරින් පැමිණි ආධුනික ඒවා ලෙසිනි. එහි මානුෂික බැඳීම හෝ කතෘත්වයක් නැත. එම ව්‍යාපෘති සඳහා පාර්ශ්වකරුවන්ගේ සහභාගීත්වය නාමමාත්රිකය. එහෙත් මානුෂික බැඳීමකින් යුතුව ව්‍යාපෘති තිරසාරය. පාර්ශ්වකරුවෝ තමන්ගේම ව්‍යාපාති ලෙස එය මෙහෙයවති. ප්රතිලාභ බුක්ති විඳිති. පරිසරයට ඉමහත් වූ ප්රතිලාභ ලැබේ.
ෂොපින් බෑග් භාවිතය ප්රශස්ත ලෙස කළමනාකරණය සවිබලගැන්විය යුතු පාර්ශ්වකරුවන්ගේ සංඛ්‍යාව මිලියන 16.5 කි. සවිබලගැන්වීමේ අවසන් ප්‍රතිඵලය සක්‍රිය සහභාගීත්වයයි. නිර්මාණාත්මක ව්‍යාපෘති ජාතික මට්ටමින් ක්‍රියාත්මක වීම ජාතික ප්රයත්නයකි. මෙය ගම්, නගර සිසාරා කරනු ලබන වැඩසටහනකි. පරිසර අධ්‍යාපනය සංකල්ප අනුව එය පරිසර වැඩ ලෝකයකි. මෙය ජනාධීපතිතුමන්ගේ තිරසාර සංවර්ධන ප්රයත්නය සඳහා අත්වැලකි.
මධ්‍යම පරිසර අධිකාරියේ පරිසර අධ්‍යාපන හා
දැනුවත් කිරීම් අධ්යක්ෂ
ප්‍රේමරත්න දිසානායක