2024 රාජ්‍ය නාට්‍ය උළෙලේ දිගු නාට්‍ය අංශයේ වසරේ හොඳම දිගු නාට්‍ය නිෂ්පාදනය (ජූරියේ විශේෂ සම්මාන) සහ වසරේ ප්‍රශස්ත සහාය රංගනය (ජූරියේ විශේෂ සම්මාන) දිනාගනු ලැබුවේ කවිශ්ක ලෝචන, ඩිලූෂා ජයසූරිය යන තරුණ නාට්‍යකරුවන් විසින් අධ්‍යක්ෂණය කරන ලද “රස්නා පෙරනිමිත්තක්” නාට්‍යයි. එය තවත් සම්මාන කිහිපයක් සඳහා නිර්දේශ වී තිබුණි. මේ එකී නාට්‍යය පිළිබඳ සැකෙවින් විමසා බැලීමකි.
මෙහි ප්‍රධාන චරිතය වන්නේ වාමාංශික දේශපාලනයෙන් රටේ පාලන බලය ලබාගනු ලැබූ පාලකයාය. ‘ජන හද දිනූ’ නායකයා ය. පවත්නා සමාජ ක්‍රමය වඩා සාධනීය පරිවර්තනයක් වෙනුවෙන් වෙනස් කරලීම ඔහුගේ අභිප්‍රායයි. එහෙත් එය ඉටුකර ගැනීමට ඔහුට හැකි නොවෙයි. ඔහුගේ සමීපතමයන්ට මෙන්ම රාජ්‍ය නිලධාරි තන්ත්‍රයට ඔහු හිසරදයකි. තම පැවැත්මට බාධාවකි. එකී බාධාව ජය ගැනීමට මෙම ප්‍රතිගාමී බලවේග විසින් උපක්‍රමයක් තෝරයි. එය නම් නවීන තාක්ෂණයෙන් ශල්‍යකර්මයක ආධාරයෙන් නායකයාගේ මොළය ඉවත් කර වෙනත් මොළයක් බද්ධ කිරීමයි. ඔහුගේ සැබෑ මොළය ඔහු වැනි රූපයෙන් යම් සමාන ලක්ෂණ පෙන්නුම් කරන වෙනත් පුද්ගලයකුට බද්ධ කිරීමයි. එයින් බලාපොරොත්තු වන්නේ තම අභිමතයට අනුව නැටවෙන රූකඩ පාලකයකු සිටිය යුතු වීමයි. වෙනත් අයුරකින් කිවහොත් බහුජාතික සමාගම් හෝ පාර-රාජ්‍යය (Deep State) ඔබින පාලකයන් මිස ප්‍රතිපත්ති මත පිහිටා ක්‍රියාකරන අදීන නායකයන් මේ මොහොතේ ලෝකයට අවැසි නැත.
දුප්පත් අභ්‍යාසය
සැබෑ කලාකරුවන් යනු මේ මොහොතේ පවත්නා සමාජ යථාර්ථය නිවැරැදිව කියවා ගන්නා මිනිසුන් වන අතරම නව යථාර්ථයක් යෝජනා කරන පිරිසකි. එකී අර්ථයෙන් මෙම නවක නාට්‍යකරුවන් ඉදිරිගාමීව සිතන දක්ෂයන් බව සැබෑය. එහෙත් අප කලාව කරනු ලබන්නේ පණිවිඩ දීමට නොවේ. ඒ නිසාම තම කලා මාධ්‍යය කුමක් වුවද, ඒ තුළ විශේෂ ප්‍රාගුණ්‍යයක් සහිතව සලකුණු තැබීම ආවාට ගියාට කළ හැක්කක් නොවේ. වේදිකාවේ දිගහැරෙන “රස්නා පෙරනිමිත්තක්” හි ඇත්තේ සිතීම පොහොසත් වූ නමුත් දුප්පත් අභ්‍යාසයකි.
මෙහි කතානායකයා වාමාංශික, දුරදක්නා නුවණින් යුතු පුද්ගලයෙකි. එහෙත් නාට්‍යය තුළ ඔහුගේ චරිතය, ඔහු මෙන්ම සෙසු පාත්‍ර වර්ගයාගේ භූමිකා තුළින් ඉස්මතු කිරීමක් දක්නට නොමැති තරම්ය. ඒ වෙනුවට ඇත්තේ ඔහුගේම සුපුරුදු දේශනා ශෛලියෙන් ජනතාව ආමන්ත්‍රණය කරන්නා සේ ලබාදෙන කථික වාගාලාප ය. චරිතය එහිම අභ්‍යන්තරය සමඟත් සෙසු පාත්‍ර වර්ගයා සමඟත් ගැටුම නඩත්තු කරලීම හෝ ව්‍යුහාත්මකව ස්ථානගත කිරීම සාර්ථක නිර්මාණයක ලක්ෂණයකි. එහෙත් මෙහිදී සිදුවන්නේ නායකයාට අභිමුඛ කෙරෙන ඔහුගේම සමීපතමයකුව සිටි පසුව පාවාදෙන්නකු වූ පුද්ගලයාත්, තිරය පිටුපස කුමන්ත්‍රණයේ මහ මොළකරුවාත්, බිරියත් යන තිදෙනා සමඟ මොහුගේ පවත්නා අන්තර් සම්බන්ධය හා ගැටීම නිර්මාණශීලීව උත්කර්ෂවත් මොහොත දක්වා ඔසවා නොතැබීම ය. ඒ අනුව තමන් කිසිවිටෙකත් තම ප්‍රතිපත්ති පාවා නොදෙන, සැබෑ සාධනීය වෙනසක් සඳහා වචනයේ පරිසමාප්ත අර්ථයෙන් අරගල කළ කෙනකු ලෙස දෙසුම් පමණක් පවත්වන, කථිකෝදය සමිතියක භූමිකාවකට ඌනනය වී තිබේ. එමඟින් තේමාත්මක වශයෙන් ගත් කල ලාංකේය දේශපාලනයේ මේ මොහොත සමඟ වඩාත් සමපාතව කියවා ගැනීමේ අවස්ථාව ප්‍රේක්ෂකයාට අහිමිවී ඇති බව කනගාටුවනේ වුවද, සිහිපත් කළ යුතුය.
නීට්ෂේ ‘ශෝකාන්තයේ උපත’ පිළිබඳ අදහස් දක්වමින් කියන අපූරු කතාවක් තිබේ. එහි සරල සිංහල අර්ථය පහත පරිදි ය.
“සරාගිකත්වයේ හා කෲරත්වයේ බියකරු ‘නපුරු මායාකාරී බීම හැලිය’ පල රහිත වෙයි. බෙහෙත් ද්‍රව්‍ය, අපට මාරන්තික වස විස සිහිපත් කරන්නා සේ ඩයිනොසියානු සමූහයන්ගේ ආවේගවල අද්භූත සම්මිශ්‍රණය සහ දෙයාකාරී බව විසින් පමණක් අපට වේදනාව තුළින් ප්‍රීතිය ජනිත වීමේ සංසිද්ධිය ද, ප්‍රීති ප්‍රමෝදය නිසා අප තුළින් දැඩි වේදනාවේ කෙඳිරිය මිරිකී ඒම ද, සිහිපත් කරවයි. ප්‍රීතියේ උච්චතම අවස්ථාවේදී භීතියක හෝ ආපසු නොලැබෙන අහිමිවීමක ප්‍රාර්ථිත විලාපයේ කෙඳිරිය හඬ දෙයි.”
ශෝකාන්තයේ උපත
පැවති දුර්දාන්ත පාලනයක් දැඩි ආයාසකාරී අරගලයක ප්‍රතිඵලයක් ලෙස පෙරළා දමා නව ජනතා රජයක් බිහිකළ පමණින් අර්බුදයේ නිමාව සනිටුහන් වන්නේ නැත. එහෙත් එය අර්බුදයේ නිමාව සනිටුහන් කරලීමේ ආරම්භක පියවර බවට පත්කර ගත හැකිය. ඒ සඳහා බලාපොරොත්තුව පමණක් ප්‍රමාණවත් නැත. මන්ද යත් අතිවිශාල ජනකායක ප්‍රීති ප්‍රමෝදය තුළම වේදනාවේ කෙඳිරිය අන්තර්ගත වන බැවිනි. ජනවරමේ ප්‍රබලත්වය, නියෝජනයේ පරිමාණය විසින්ම ඒ සා පිරිසක විවිධාංගීකරණය වූ අපේක්ෂාවන් භංගත්වයට පත්වීමේ ශීඝ්‍රතාව ද, ඉහළ සම්භාවිතාවක් ගන්නා බැවිනි. ශ්‍රී ලාංකේය සන්දර්භයට අදාළව ගන්නේ නම් වත්මන් පාලනය හා ඊට තම අනුමැතිය ලබාදුන් මෙන්ම නොදුන් ජනයා අද දවසේ දක්වන ප්‍රතිචාර කෙරෙහි අවධානය යොමු කරන්නේ නම් මෙම තත්ත්වය මනාව හඳුනාගත හැකිය.
දැන් අප නැවතත් මෙම නාට්‍ය නිර්මාණය කෙරෙහි අවධානය යොමු කරමු. තමාට රිසි සේ පාලනය කළ හැකි, තමාගේම රූකඩයක් බවට පත් කරගත් පාලකයකු බිහි කර ගැනීම (මොළය ගලවා ඉවත් කිරීමෙන් පසුව) අදාළ බහුජාතික සමාගම් හා ජාත්‍යන්තර කුමන්ත්‍රණකරුවන් විසින් ඉෂ්ට සිද්ධකරගත්තා යයි මොහොතකට සිතමු.
එය පැරණි අර්බුදයේම දිගුවක් විනා අලුත් ආරම්භයක් නොවේ. ජනතා රජයට ජනතාවගේ ලෙයින්, දහඩියෙන්, කඳුළෙන් අති විශාල පිරිසක් වන්දි ගෙව්වා වීනම් දෙවනුව එකී ජයග්‍රහණය ආපසු කරකවන්නට මුදලින් වන්දි ගෙවන්නට කුමන්ත්‍රණකරුවන්ට සිදුවේ. වන්දියට වන්දියක් හිලව් වන තැන උපදින්නේ කුමක් විය හැකි ද? මෙය කිසිසේත්ම ‘සුසමාදර්ශීය වෙනසක්’ (paradigm shift) නොවුණ ද, පෙර අර්ථයෙන් ඒ දෙස බැලීමට හැකියාවක් ඇත්තේ නැත. හුදු හිස්මාරුව පාලකයාට අදාළව පමණක් වුවද, බාර ගැනීමට සිදුවන්නේ පෙර පැවති යථාර්ථය නොවේ. එහෙත් ඒ පිළිබඳ කිසිදු හාංකවිසියක හැඟවුමක් නාට්‍ය නිර්මාණය තුළ අපට හමු නොවේ. එනම් සංකල්පීය වශයෙන් කාලීන වශයෙන්, ඉදිරිගාමී දැක්මක් සහිත ප්‍රස්තූතයක් පැවතීම අගය කළ යුතු වුවද එය වේදිකාවට ගැළපීමත්, ඒ හා බැඳුණු න්‍යායාත්මක හා වාස්තවික තත්ත්වයන් කෙරෙහි නිසි අවධානය යොමු නොකිරීමත් කනගාටුදායකය.
සුසමාදර්ශීය වෙනස
ආචාර්ය ජයලත් මනෝරත්නයන්ගේ ‘‘සිංහල නාට්‍යයේ ප්‍රාසාංගික කලාත්මක වර්ධනය” නමැති කෘතියේ උපුටනයකින් මෙම කෙටි වියමන අවසන් කරන්නට කැමැතිය.
“කලාකරුවා විශේෂිත පුද්ගලයකු බවට පත්වනුයේ දෙවියන්ගේ කැමැත්ත හෝ පාලනාධිකාරියේ වුවමනාව නිසා හෝ ජනප්‍රියත්වය නිසා හෝ නොව සමාජීය වශයෙන් තවත් කෙනකු මානුෂීයකරණය කිරීමට තම කෘතිය මඟින් ඇති හැකියාවත්, ස්වකීය පරිකල්පනය ඒ සඳහා යොමු කරවීමට ඇති හැකියාවත් මත වීම නිසා බව නූතන කියැවීමයි. යම් කෘතියක් කලාත්මක බවින් පිරිපුන් වනුයේ, ඒ පිළිබඳ සාම්ප්‍රදායික හෝ ආචාර්ණ කල්පික සංකල්ප මත පමණක් ම නොව බලය හා සම්පත් බෙදාහදා ගැනීම පිළිබඳ ශතවර්ෂාධික කාලයක් මුළුල්ලේ මිනිසුන් අතර පවත්නා සනාතන අරගල හේතුවෙන් අතිශය පීඩාවට පත් බහුතරයකගේ සුබසිද්ධිය උදෙසා, කලාකරුවාට ළඟා කරගත හැකි අපූර්ව සංවේදි චින්තනය නිර්මාණාත්මකව හැසිරවීමෙන් බව එම කියැවීමේ අතුරු ඵලයයි.”
(පිටුව-414-415)
ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර
ඡායාරූප – පී.ඒ.පී.ඩී. ජයලත්