"බෙත්ලෙහෙම්පුරේ දිලිඳු ගවලෙනේ" ජනප්‍රිය නත්තල් බැති ගීතිකාව සමගින් ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ගීත කලාව වෙනුවෙන් අසහාය මෙහෙයක් කළ ගායන ශිල්පී අනිල් භාරතී සිය රසික හදවත් වෙත ශෝකය මුසු කරමින් දිවිසැරිය (22) අවසන් කර තිබේ.
ඔහුගේ පවුලේ ආරංචි මාර්ගවල හැටියට සිය රෝගී තත්ත්වයකට පානදුර රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටියදී මෙම ආදරණීය ගායන ශිල්පියා ජීවිතයෙන් සමුගෙන ඇත.
ජීවිතයේ 75 වැනි විය සපුරමින් සිටි අනිල් භාරතී ප්‍රවීණ ගායන ශිල්පියා සීතල සඳ එළියේ - ඔබ හා සුරතලියේ, බඹරෙකු ඇඳුනා, අද වෙයි ඉරුදින, හිරු ඉපදෙන විට - නෙළුම් පිපෙන ලෙස, ආවා සොයා සොයා, මා අදරෙයි නංගියෙ, දෑස විදාලා යනාදී ජනප්‍රිය ගීත ඇතුළුව ශ්‍රී ලාංකේය ජනප්‍රිය ගීත කලාවට ඉතිරි කර ගීත අස්වැන්නෙහි වටිනාකම මිල කළ නොහැකි එකක් වෙයි.
වැඩිම නත්තල් ගීතිකා ගායනා කළ ලාංකික ගායකයන් අතර අනිල් භාරතීද එක් ගායකයකු වේ.
ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වසර 50කට අධික කලක් සේවය කළ ඔහු එහි ප්රවෘත්ති ඉදිරිපත් කරන්නකු සහ වැඩසටහන් ඉදිර්පත් කරන්නෙකු විය. ගුවන් විදුලි සංස්ථාවේ අධ්යක්ෂවරයකු ලෙසද ඔහු සේවය කර තිබේ.
මොරටුව වේල්ස් කුමර විදුහලේ ආදි සිසුවකු වූ අනිල් භාරතී සංගීත ක්ෂේත්රයට පිවිසුණේ 60 දශකයේදී 'සන්ඩේ ඔබ්සවර්' පුවත්පත විසින් සංවිධානය කරන ලද 'ඔබ්සර්වර් ටැලන්ට් සර්ච්' තරඟවලිය ජයග්‍රහණය කරමින් බව ප්‍රසිද්ධ කාරණයකි. 'රේන්ජ්ස්' නමින් ඔහු විසින් පිහිටුවාගනු ලැබූ සංගීත කණ්ඩායමට අමතරව දිවංගත ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ 'ගෝල්ඩන් චයිම්ස්' සංගීත කණ්ඩායහිද නිත්‍ය ගායන ශිල්පියකු විය.