lan englan tam

පුවත්

BTS කණ්ඩායමේ RMට තට්ට හිසක්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

දකුණු කොරියාවේ BTS සංගීත කණ්ඩායම ලොව පුරා රසික රසිකාවියන් මිලියන ගණනක් සිටින

ඉතාම ජනප්‍රිය සංගීත කණ්ඩායමක් බව රහසක් නොවෙයි. මෙය තරුණ සංගීත ශිල්පීන් සත් දෙනෙකුගෙන් සමන්විත සංගීත කණ්ඩායමක්.

කෙසේ නමුත් දැන් ටික කාලයක සිට මෙම කණ්ඩායම කණ්ඩායමක් හැටියට අලුත් නිර්මාණ කටයුතුවල නිරත වන්නේ නැහැ. එයට හේතුව එහි සාමාජිකයන් දකුණු කොරියානු හමුදාවේ සේවයට බැඳීමයි. එරට වයස අවුරුදු 18ට වැඩි සෑම පිරිමි පුද්ගලයකුම කිසියම් කාලයක් හමුදාවේ සේවය කළ යුතුයි.

16 6 2

කෙසේ හෝ වේවා, මේ වනවිට BTS සාමාජිකයන් සත් දෙනාගෙන් දෙදෙනකු සිය හමුදා සේවය අවසන් කර නැවත සිවිල් ජීවිතයට එක්ව සිටිනවා. ඉතිරි පස් දෙනා හමුදා සේවය අවසන් කිරීමට නියමිතව සිටින්නේ මේ වසරේ ජුනි මාසයේ යි.

BTS කණ්ඩායමේ නායකයා ලෙස සැලකෙන RM ද තවමත් හමුදා සේවයේ නිරතවයි සිටින්නේ. තමා ගත කරන හමුදා ජීවිතය ගැන සඳහන් කරමින් ඔහු පසුගිය දිනෙක සමාජ මාධ්‍ය තූළ සටහනක් පළ කර තිබුණා. ඔහුගේ සුවහසක් රසික රසිකාවියන් වෙනුවෙනුයි RM මෙම සටහන ලියා තිබුණේ.

 

ඔහු එහි විශේෂයෙන් සඳහන් කර තිබූ කාරණයක් වූයේ තමාට සාජන්ට් නිලයට උසස්වීමක් ලැබුණු බවයි. ඒ් ගැන RM මහත් සතුටට පත්ව සිටින බව පෙනෙනවා. සාජන්ට් නිලයට උසස්වීම ලැබීමෙන් පසු තමා හිස මුඩු කළ බවත් ඔහු පවසා තිබුණා. එයින් කියැවෙන්නේ දැන් ඔහු සිටින්නේ තට්ට හිසකින් බවයි. නමුත් තමාගේ අලූත් පෙනුම දැක්වෙන ඡායාරූපයක් නම් RM පළ කර තිබුණේ නැහැ.

 

bts rm the story of a true leader

සිය රසික රසිකාවන්ට සුබ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කිරීමටත් RM මෙහි දී අමතක කර තිබුණේ නැහැ. මේ වසරේ දකුණු කොරියානුවන් අලුත් අවුරුද්ද සැමරුවේ පසුගිය 29 වැනි දිනයි. ඔවුන් එය හඳුන්වන්නේ සොල්ලාල් යනුවෙන්. දකුණු කොරියාවේ ජනතාවත් අලුත් අවුරුද්ද සමරන්නේ චීන දින දර්ශනයට අනුවයි.

තමාගේ වයස ගැනත් යමක් කියන්නට -RM ඉහත කී සටහනේ ඉඩ වෙන් කර තිබුණා. දකුණු කොරියානු ක්‍රමයට අනුව ඔහුගේ වයස දැන් අවුරුදු 32ක්. නමුත් ජාත්‍යන්තරව පිළිගත් ක‍්‍රමයට අනුව තවමත් ඔහුට අවුරුදු 30ක් පමණයි. දකුණු කොරියානුවන් කෙනෙකුගේ වයස ගණනය කරන්නේ තරමක් වෙනස් විදියකට වීම මෙම වෙනසට හේතුව යි. කෙසේ හෝ වේවා, තමා මෙතරම් වයසට ගොස් ඇති බව විශ්වාස කිරීමටත් අමාරු බවයි ඔහු පවසා තිබුණේ. තමා දැන් “අන්කල් කෙනෙකු” බවට පත්ව ඇතැයි ද ඔහු විහිළුවකුත් කර තිබුණා.

 

16 5 2

 

හමුදා සේවය අවසන් කර නැවත සුපුරුදු සිවිල් ජීවිතයට එක් වීමට තමා තුළ ඇති ආසාව සහ නොඉවසිල්ලත් ඔහු ප්‍රකාශ කර තිබෙනවා. RM හමුදා සේවය අවසන් කිරීමට නියමිතව සිටින්නේ ජුනි 10 වැනි දිනයි. 2023 දෙසැම්බර් 11 වැනි දිනයි ඔහු හමුදා සේවය ආරම්භ කළේ.

 

‘දැනටමත් පෙබරවාරි මාසය ඇවිල්ලා. තව මාස හතරයි තියෙන්නේ’ ඔහු සිය සටහනේ සඳහන් කර තිබෙනවා. ‘2024 අවුරුද්ද පැති කිහිපයකින්ම විශේෂ අවුරුද්දක් වුණා. එය මට දීර්ඝ කාලයක් මතක හිටින අවුරුද්දක් වේවි. අපේ සාමාජිකයන් දෙදෙනෙක් හමුදා සේවය අවසන් කර නික්ම ගියා. මට ඉරිසියාවකුත් ඇති වුණා. සිවිල් වැසියකු ලෙස ජීවත් වීම තමයි හොඳම අත්දැකීම. මමත් හමුදා සේවය අවසන් කර ආවට පස්සේ ඔබලා සමඟ කියන්න බොහෝ දේ තිබෙනවා. සමහර දේවල් මේ වෙලාවේ කතා කරන්න අමාරු දේවල්.

  මට නින්ද යන්නේ නැති රාත්‍රී කාලයන්වල මම මේවා ගැන හිතනවා. මේ ටික දවසත් ඉක්මනින්      ගෙවිල යාවි. ජුනි 10 එළැඹේවි. එතකොට මම හයියෙන් හිනා වේවි’.

 

හමුදා සේවය අවසන් කර නැවත සුපුරුදු සංගීත ජීවිතයට එක් වීමට RM තුළ ඇති නොඉවසිල්ල මේ කතාවෙන් තේරුම් ගත හැකියි. Jin සහ J Hope මේ වනවිටත් හමුදා සේවය අවසන් කර සිටිනවා. RM, Jimin, V, Suga, Jungkook යන පස් දෙනා තමයි තවමත් හමුදාව තුළ සිටින්නේ. ඔවුන් පස් දෙනාත් ලබන ජුනි මාසයේ හමුදාවෙන් පිට වීමෙන් පසු BTS කණ්ඩායම නැවතත් කණ්ඩායමක් ලෙස සංගීත කටයුතු ආරම්භ කිරීමට නියමිතයි. එයින් පසු ඔවුන් නිරත වන පළමු කටයුත්ත කුමක් වනු ඇත් ද යන්න සම්බන්ධයෙන් BTS-රසික රසිකාවන් දැඩි කුතුහලයකිනුයි පසුවන්නේ.

 

කසුන් අරවින්ද ( රසඳුන )

 

Back to top
Go to bottom