දශක දෙක හමාරකට වැඩි කාලයක් ඇය පැමිණි ගමන් මගනම් සුව පහසු නොවීය. ගල් බොරළු කටුක මංමාවත් පසුකරමින් බර අඩි තබමින් රංගන ක්ෂේත්රය තුළ ස්ථාවරත්වයක් මෙන්ම තමන්ගේ නම වැජඹෙන තුරුම ඇය උත්සහය අත් නොහැරියාය. අද සහය අධ්‍යක්ෂකගේ භූමිකාවටද පණ පොවන ඇය මේ දිනවල බොහෝ දෙනෙකුගේ කතා බහට ලක්වන්නෙ ගිනියම් යාමය චිත්‍රපටය හරහාය. ඉතින් අද සංවාදයට නිමිත්ත ප්‍රවීණ ජනප්‍රිය රංගන ශිල්පීනි ශෙරුණි හොරණගේය.
කොහොමද මේ දවස්වල වැඩකටයුතු ?
මේ දිනවල මම රංගනයෙන් දායක වුණු ගිනියම් යාමය චිත්‍රපටය දිවයින පුරා සිනමාහල් තුළ තිරගත වෙනවා. ඒ වගේම එහි අධ්යක්ෂ රිහාන් රවීන්ද්‍ර මහත්මයා සමගම නිර්මාණ කිහිපයකට සම්බන්ධ වී වැඩකටයුතු කරගෙන යනවා.
ගිනියම් යාමය වෙනුවෙන් ඇරයුම ලැබෙන්නේ කොහොමද ?
මම මුලින්ම සහභාගී වුණේ වැඩමුළුවකට. එහිදී මගේ හිතවත් දිලිත් මනෝහරන් මහත්මයා එහෙමත් හිටියා. එහිදී මම සහය චරිතයකට තමයි මුලින්ම හිටියේ. චිත්‍රපටයේ ප්‍රධාන නිළිය තරමක් අසනීප ගතියෙනුයි හිටියේ. ඒත් සමගයි මට මෙහි ප්‍රධාන චරිතය කරන්න පුළුවන් ද කියන ආරාධනය ආවේ. තරමක් දෙගිඩියාවෙන් තමයි හිටියේ. මොකද මේක තරමක් වෙනස් චරිතයක් නිසා මව්පියන් එහෙම කැමති වෙයිද දන්නෙ නැහැ කියන චකිතය මට තිබුණා. නමුත් මේක සමාජයට ආදර්ශමත් චිත්‍රපටයක් නිසා මගේ නිවෙසින් වගේම අනිත් අයගේ සහයෝගයත් ඇතිව මම මේ චරිතය නිරූපණය කළා.
චරිත ස්වභාවය ගැන කතා කළොත් ?
චරිතය ගැමි චරිතයක්. අම්මා, තාත්තා නැති අයියා යටතේ හැදෙන නංගි කෙනකුගේ චරිතයක්. කතා තේමාව ගත්තොත් සමාජ මාධ්‍යය තුළින් ගැහැණු ළමයකුට සිදුවන සහ සිද්ධ වන හිරිහැර හිංසා සහ පසුව සමාජයට මුහුණ දෙන ආකාරය වගේ දේවල් තමයි මෙහි කතා තේමාව වන්නේ.
චිත්‍රපටයේ රූගත කිරීම් කරද්දි තිබුණු අභියෝග මොන වගේද?
මට ඇත්තටම ලොකු අභියෝගයක් තිබුණා. අපි ශූට් කරද්දි මම තනියම නාන දර්ශනයක් තිබුණා. ඒ ගඟේ නාද්දි මගේ චීත්තේ යම්තාක් දුරට කඩා වැටෙනවා. ඒ කඩාගෙන වැටෙද්දි ෆොටෝ එකක් වැදෙන දර්ශනය තමයි තිබුණේ. ඒ ෆොටෝ එකත් සමග තමයි කතාව ආරම්භ වෙන්නේ. මම පළවෙනි වතාවටයි එවැනි රංගනයක් කරන්නේ. මම ගොඩක් බය වුණා. නමුත් අධ්යක්ෂ රිහාන් රවීන්ද්‍ර මහත්මයා වගේම දිලිත් මනෝහරන් මහත්මයා වගේම අනෙකුත් පිරිස සෑහෙන සහයෝගයක් දුන්නා ඒ දර්ශනය රූගත කරන්න.
ඔය කියන විධියට අමතක නොවන සිදුවීම් එහෙමත් බොහොමයක් ඇති ?
ෂූටින් අතරතුර මට අපේ පූජන දන්දෙණිය ගඟේ දාගෙන පහරක් ගහන්න තියනවා. ඉතින් ඒ පහර ගහද්දි ඒක ඔහුට තදටම වැදුණා. මට ඒක කවදාකවත්ම අමතක වෙන්නෙ නම් නැහැ. මෙහි තිබෙන විශේෂත්වය තමයි 95% ක්ම නවකයන් තමයි මෙහි ඉන්නේ. ඔවුන් මීට පෙර සිංහල සිනමාවට සම්බන්ධ වෙලා නැහැ.
තේමාවෙන් ආදර්ශ රැසක් සමාජයට දෙනවා. ඒ පිළිබඳ ශෙරුණිගේ අදහස කොහොමද?
මම කියන්නේ ගැහැනු ළමයි සමාජයෙන් ගොඩක් ප්‍රවේශම් වෙන්න. දැන් අලුත් අලුත් තාක්ෂණය ඇවිත් තිබෙනවා. ඔබේ මුහුණ සමග ශරීරයද නිරුවත් කරන්න පුළුවන්. අද දරුවකුට අම්මා තාත්තගෙ රැකවරණය අවශ්‍යයි. ඒ රැකවරණය අහිමි වුණොත් මැරෙන තාක්කල් අපේ ජීවිතය අනිවාර්යයෙන් විනාශයි. තමන් කල්පනාකාරීව ජීවත් වෙන්න.
ශෙරුණිගේ කලා ආගමනය ගැන සිහිපත් කළොත්?
මම කලාවට සම්බන්ධ වෙන්නේ අවුරුදු දාසයේදී. පුවත්පත් දැන්වීමක් මගින් තමයි සම්බන්ධ වෙන්නේ. කඩුවෙල තිබෙන ලාල් ජයරත්න මහත්මයගේ විකසිත සිනමා පාසලට සම්බන්ධ වෙලා පසුව ටෙලිනාට්‍යයවල සුළු චරිත තුළිනුයි මුලින්ම කලාවට එන්නේ. පසුව DVD පටවලට සම්බන්ධ වුණා.
ඔබ දැන් වෘත්තීය වශයෙන් රංගන ශිල්පිනියක්ද ?
වෘත්තීය වශයෙන් රංගන ශිල්පිනියක් කිව්වත් නිවැරැදියි. ඒ වගේම මම සහ යහළුවකු එක්කාසු වී කරන මගේම ව්‍යාපාරයකුත් තිබෙනවා.
අධ්‍යාපනයක් සමග කලාවට පිවිසීම දිගු ගමනකට කොපමණ රුකුලක්ද?
ඒක ඇත්තටම ලොකු උදව්වක්. මම මීට පෙර සුළු චරිත කළත් ඒවට පවා මට එයින් ලැබුණු දැනුම ලොකු රුකුලක් වුණා. ඒ රුකුලත් සමගයි මම සහය අධ්යක්ෂණයට සම්බන්ධ වුණේ. එවිට මට රඟපෑමේ හැකියාව අඩුයි. නමුත් මම හිතුවා කවදකමහරි චිත්‍රපටයක ප්‍රධාන චරිතයක් කරනවා කියලා . ඇකඩමි එකේ සහයෝගය නිසයි මම අද මෙතන ඉන්නෙ. තව සිනමාවේ රැදිලා සිනමාවේ රංගන කටයුතු කරලා ස්ථාවරයක් වුණාට පස්සේ අධ්යක්ෂණයට පිවිසෙන්න බලාගෙන සිටිනවා. දැනටමත් මම තිර රචනයක් ලියලා තිබෙන්නේ. කීප දෙනෙක්ම ඉල්ලුවා. නමුත් මම ඒක මම දුන්නෙ නැහැ. මගෙ අදහසක් තියනවා හොඳම තැනකට ගිහින් සම්මානයක් ගත්තු දවසකට ඒක එළිදක්වන්න.
රංගනයට එද්දි පවුලෙන් තහංචි එහෙම වැටුණෙ නැද්ද?
ඇත්තටම නැහැ. පවුල තුළ කලාවට සම්බන්ධ කිසිම කෙනෙක් නැහැ . මට ඉන්නෙ අම්මයි තාත්තයි සීයයි. ආච්චි ඉඳලා ආච්චි නැති වුණා. මට ලොකුම සපෝට් එක හම්බවුණේ ආච්චිගෙන්. ෆිල්ම් එක බලද්දි වුණත් මම අම්මයි තාත්තයි සීයයි එක්ක බැලුවේ. එයලා ගොඩක් සතුටු වුණා. එයාලා දන්නවා මට සමාජයේ ගිහින් ඕන තැනක ලස්සනට ජිවත් වෙන්න පුළුවන් කියලා.
විවාහය ගැන මොකද හිතෙන්නේ?
මම විවාහක නැහැ. ඉදිරියට විවාහ වෙන්න අදහසකුත් දැනට නැහැ . මගෙ ටාගට් එක දැනට කලාව. එයින් ඉදිරියට යන්න ඕන.
ඉදිරි බලාපොරොත්තු කොහොමද?
නිවැරැදි රංගන ශිල්පිනියක් විධියට ඉදිරියට යන්නයි බලාපොරොත්තුව. එක පාරට ඇවිත් ප්‍රසිද්ධ වෙලා මැකිලා යන චරිතයක් වෙන්න මට ඕන නෑ. සිනමාව තුළ මගෙ නම අමරණීය වෙන්නයි මට අවශ්‍යය.
-rasaduna-




