විධායක සූපවේදියෙකු, කථිකාචාර්යවරයෙකු මෙන්ම දක්ෂ නර්තන ශිල්පියෙකු ලෙස තම අනන්‍යතාව සනිටුහන් කළ අපූර්ව කලාකරුවෙකු මෙවර ‘රසඳුන’ හා එක්වෙයි. ඔහු නමින් උපුල් ප්‍රියාන් වාසල ය. වෘත්තීය ජීවිතයේ විවිධ මංසන්ධි පසුකරමින් පැමිණි උපුල් අද වන විට නර්තනය තම ජීවිතයේ ප්‍රධානතම අංගය කරගත් අයෙකි.
කුරුණෑගලින් සිප්සතර හදාරා උසස් පෙළ ගණිත අංශයෙන් හැදෑරූ ඔහු, පාසල් සමයේ පාපන්දු, ශිෂ්‍යභට කණ්ඩායම් නියෝජනය කළ අතර මැරතන් තරග ජයග්‍රහණය කර ඇත්තේය. කරාතේ ක්‍රීඩාවෙන් කළු පටි පළමු ශ්‍රේණිය දක්වාම ඉදිරියට ගිය ඔහු, උසස් පෙළින් පසු කොළඹ හෝටල් පාසලට ඇතුළත් විය. තරු පහේ හෝටල්වල සූපවේදියෙකු ලෙස සේවය කරන අතරතුර මනෝවිද්‍යාව, ජනසන්නිවේදනය සහ අභිධර්මය වැනි ගැඹුරු විෂයන් ද අධ්‍යයනය කිරීමට ඔහු අමතක නොකළේය.
වසර දහයකට අධික කාලයක් විදේශයන්හි සේවය කරමින්, මෙරට ප්‍රධාන පුවත්පත්වලට ‘ලෝකයේ ආරම්භය සහ අවසානය’ වැනි දාර්ශනික මාතෘකා ඔස්සේ ලිපි ද සම්පාදනය කර ඇත.
ජාත්‍යන්තරයේදී ඔහුගේ ජීවිතයට අහඹු ලෙස සමීප වූයේ අෙමරිකන් ලැතින් සහ යුරෝපීය බෝල්රූම් නර්තන කලාවයි. මුල් කාලයේදී අන් අය ඉදිරියේ හාස්‍යට ලක්වීම නිසා දෙතුන් වතාවක්ම මෙය අතහැර දැමීමට සිතුණ ද, එම අභියෝගයට නොබියව මුහුණ දෙමින් ඔහු එය මැනවින් ප්‍රගුණ කර තිබේ. 2003 වසරේදී යළි ලංකාවට පැමිණි ඔහු, මෙරට ප්රමුඛ පෙළේ හෝටල් රැසක විධායක සූපවේදියෙකු ලෙස කටයුතු කළේය. එමෙන්ම අෙමරිකාවේ Azteca විශ්වවිද්‍යාලයට අනුබද්ධ කොළඹ Times Academy හි ජාත්‍යන්තර සූපශාස්ත්‍රය, ආහාර සුරක්ෂිතතාව සහ ISO 22000 /HACCP පිළිබඳ කථිකාචාර්යවරයෙකු ලෙස ද සේවය කළේය.
- rasaduna -




