-Udithe Kahadawaarachchi-
සිනමාපට නිෂ්පාදකයින්ගේ සංගම් සඳහා වූ අන්තර්ජාතික ජාතික සම්මේලනය (International Federation of Film Producers Association) හෙවත් "ෆිඇප්ෆ්" (FIAPF) ආයතනයේ අනුමැතිය හිමි "A" ශ්‍රේණියේ සිනමා උළෙලක් ලෙසට වර්ගීකරණය වන එස්තෝනියාවේ ටාලින් බ්ලැක් නයිට් සිනමා උළෙලේ (Tallin Black Nights Film Festival) 29 වෙනි අදියර නොවැම්බර් 07 වෙනිදා ආරම්භ වූ අතර එහි සම්මාන ප්‍රදානෝත්සත්වය පසුගියදා පැවැත්වුණි.
සිනමා, කලා , විචාරක ඇතුළුව විවිධ ක්ෂේත්‍රයන් තුළ කුසලතාවයන් ප්‍රකට කළ පුද්ගලයන් 29 දෙනෙකු හට මෙවර ටාලින් උළෙලේ ප්‍රධාන සම්මාන කාණ්ඩ 09 ක් වෙනුවෙන් ජූරි විනිශ්චය ලබා දීම උදෙසා ඇරයුම් හිමිව තිබූ අතර, එහිදී ශ්‍රී ලංකාවේ ඉලංගෝ රාම් හට "කුළුදුල් වෘත්තාන්ත සිනමාපට තරග ජූරිය" (First Feature Competition Jury) නම් වූ නිළ ජූරිය නියෝජනය කිරීමේ අවස්ථාව හිමිවුණි.
"නෙළුම් කුලුන" චිත්‍රපටය හරහා 2023 වසරේදී ටාලින් සිනමා උළෙලේ "කුළුදුල් වෘත්තාන්ත සිනමාපට තරගය" (First Feature Competition) නියෝජනය කරමින් සම්මානයට පාත්‍ර වූ චිත්‍රපට අධ්‍යක්ෂක ඉලංගෝ රාම් හට, 2025 වර්ෂයේදී එම තරගකාරී අංශය යටතේම ජූරි සභිකයෙකු ලෙස කටයුතුකිරීමට ඇරයුම් හිමිව තිබීම විශේෂත්වයක් විය.
ජූරි සභිකයින් තිදෙනෙකුන්ගෙන් සමන්විත වූ කුළුදුල් වෘත්තාන්ත සිනමාපට තරග ජූරියේ සෙසු සමාජිකයින් ලෙසින් චීලී ජාතික චිත්‍රපට නිෂ්පාදක ජැන්කරොලො නාසී සහ හොලිවුඩ්හී මුල්පෙළ කේෂාලංකාරශිල්පිනී නීනා පස්කොවිට්ස් කටයුතු කළහ.

1997 වර්ෂයේ ආරම්භ වූ සහ 2014 වර්ෂයේදී ෆිඇප්ෆ් (FIAPF) "A" ශ්‍රේණීයේ පිළිගැනීම හිමිවූ ටාලින් බ්ලැක් නයිට් උළෙල ඉතිහාසයේ ජූරියක් නියෝජනය කළ පළමු ශ්‍රී ලාංකිකයා වූයේ 2008 වර්ෂයේ නෙට්පැක් ජූරිය (Netpac Jury) නම් ස්වාධීන ජූරියේ කටයුතු කළ සිනමා විචාරක ඈෂ්ලි රත්නවිභූෂණයි. ඉන්පසුව ටාලින් උළෙල ඉතිහාසයේ සම්පූර්ණයෙන්ම වැඩ නිමවූ චිත්‍රපට විනිශ්චය වෙනුවෙන් ස්ථාපිත ජූරියක් නියෝජනය කරනු වස් අවස්ථාව ලද එකම ශ්‍රී ලාංකිකයා වන්නේ 2025 වසරේ උළෙල නියෝජනය කළ ඉලංගො රාම්ය. ඒ අනුව ටාලින් උළෙලේදී පෙරකී ස්වරූපයේ ජූරියක් නියෝජනය කළ දෙවෙනි ශ්‍රී ලාංකිකයා ලෙසත්, ලොව "A" ශ්‍රේණීයේ ෆිඇප්ෆ් පිළිගැනීම හිමිවූ පසුව ටාලින් උළෙල තුළ එවන් ජූරියක් නියෝජනය කළ පළමු ශ්‍රී ලාංකිකයයා ලෙසත් ඉලංගො රාම් ටාලින් සිනමා උළෙල ඉතිහාසයට එක්වේ.

2023 වර්ෂයේදී 'සිනමාවර්ල්ඩ්' (CinemaWorld) ආයතනය විසින් සංවිධානය කළ "සිනමාෂෝර්ට් ආසියානු කෙටි චිත්‍රපට තරගයේ" (CinemaSHORT Asian ShortFilm Competition) චිත්‍රපට විනිශ්චයට එක්වෙමින් පළමු වරට ජාත්‍යන්තර සිනමා ජූරියක් නියෝජනය කළ ඉලංගෝ රාම්ගේ දෙවෙනි ජාත්‍යන්තර ජූරි නියෝජනය ටාලින් උළෙල තුළ සටහන් වේ.

එසේම ටාලින් උළෙලේ ජූරි නියෝජනයත් සමග, එදා මෙදා තුර ෆිඇප්ෆ් අනුමත "A" ශ්‍රේණියේ සිනමා උළෙලක නිළ හෝ ස්වාධීන ජූරියක් නියෝජනය කළ 11 වෙනි ශ්‍රී ලාංකිකකයා ලෙසත්, 07 වෙනි ශ්‍රී ලාංකේය චිත්‍රපට අධ්‍යක්ෂකවරයා ලෙසත් ඉලංගෝ රාම් මෙරට සිනමා ඉතිහාසයට එක්වේ.
සටහන - උදිත ලක්මාල් කහඳවආරච්චි
Like Page- https://www.facebook.com/Sri-Lankans-at-International-Film-Festivals-2263696243958344/
( මෙම සටහන මුල් වරට "Sri Lankans at International Film Festivals" ෆේස්බුක් පිටුවේ පළවිය.



