වැලි යොදාගනිමින් අඩි 40ක් දිග සැතපෙන බුද්ධ ප්‍රතිමාවක් ශ්‍රී ලංකාවේදී නිර්මාණය කිරීමට ඉන්දීය මූර්ති ශිල්පියෙකු කටයුතු කර තිබේ.
ජාත්‍යන්තර වෙසක් දිනය වෙනුවෙන් නිර්මාණය කළ බුද්ධ ප්‍රතිමාව, වැලි යොදා ගනිමින් අඹන ලද ලොව දිගම බුද්ධ ප්‍රතිමාව බව එය නිර්මාණය කළ මූර්ති ශිල්පී සුදර්ශන් පට්ටනයික් පවසයි.
සිය වැලි මූර්ති ප්‍රදර්ශනය නැරඹීම සඳහා දියවන්නා වෙසක් කලාපය වෙත පැමිණෙන මෙන් ඔහු ශ්‍රී ලංකාවාසීන්ට ආරාධනා කරයි.
ජාත්‍යන්තර වෙසක් දින සැමරුමට සමගාමීව පැවැත්වෙන දියවන්නා වෙසක් කලාපය 10 සිට 14 වැනිදා දක්වා දියත උද්‍යානය, පාර්ලිමේන්තු සංකීර්ණය අවට, ජපන් මිත්‍රත්ව පාර සහ දියවන්නා ඔය ආශි‍්‍රතව පැවැත්වෙන අතර, ආසියානු රටවල් 10ක බෞද්ධ සම්ප්‍රදායන් පිළිබිඹු කරමින් කෙරෙන ප්රදර්ශනයක්ද ඊට ඇතුළත්ව තිබේ.