විවිධ වූ මාධ්‍යයන් ඔස්සේ දස්කම්පාන නිර්මාණකරුවන් අතරින් සම්මානලාභී නිර්මාණකරුවන් බොහෝ ප්‍රමාණයක් දැකගැනීමට හැකියාව තිබේ.
මෙවර අප කතාකරනු ලබන්නේ එවැනි අද්විතීය නිර්මාණකරුවෙකු වන සියාජුඩීන් කමල් බැචා (Sirajudeen Kamal Batcha ) නම් නිර්මාණකරුවා පිළිබඳවයි.ඔහු සිදු කරනු ලබන නිර්මාණයන් අද වනවිට සම්මානයට පාත්‍ර වී ඇති අතර, මොහුගේ නිර්මාණ මාධ්‍යද සුවිශේෂී බව විශේෂයෙන්ම කිව යුතුය.
මැලේසියානු ජාතිකයෙකු වන මෙම නිර්මාණ ශිල්පියා සිදු කරන නිර්මාණයන් ඉතාමත් සියුම් නිර්මාණයන්ය. ඔහු මේ සඳහා භාවිතා කරන්නේ පැන්සල්වල ඇති මිනිරන්ය. ස්වාධීන චිත්‍ර ශිල්පියෙකු ලෙස මුලදී කටයුතු කළද සිය නිර්මාණයන් සඳහා සුවිශේෂි ස්ථානයක් හිමිනොවූ බැවින්, ඔහු මෙසේ තම නිර්මාණයන් සඳහා වෙනස් මාදිලියක් භාවිතා කර තිබේ. 'Pencil Graphite Sculptures' ලෙස ඔහු තමන්ගේ මෙම නිර්මාණ කලාව හඳුන්වයි.
භාවිත කරනු ලැබූ පැන්සල්වලින් ලබාගන්නා මිනි රන් මගින් මූර්ති ශිල්පයට අලංකාරයක් එක්කළ හැකි බව ඔහු සිය නිර්මාණයන් තුළින් ලොවටම පෙන්වා දී තිබේ. මේ සඳහා භාවිත කරන ආයුධ කිහිපයක් ඇති බව ඔහු පවසයි. මේ සඳහා ඔහු බොහෝ කලක් අත්හදාබැලීම් සිදුකර ඇති අතර, ඉතාමත් සියුම් නිර්මාණ සංකල්පයක් වන මෙය ඉතාමත් කල්පනාකාරීව සිදුකළ යුතුබව ඔහු පවසයි.
යම් තැනකදී නිර්මාණයට හානියක් සිදුවුව හොත් එය නැවත සකස් කිරීමට නොහැකි හෙයින්, මුළු නිර්මාණයම විනාශ විය හැකි බව ඔහු ප්‍රකාශ කරයි. මෙම නිර්මාණයන් සිදුකිරීම සඳහා පැය 212ක් පමණ ගතවන බවත්,ඇතැම් නිර්මාණයන් සඳහා ඊටත් වඩා කාලයක් ගතවන බවත් ඔහු පවසයි.
සිය නිර්මාණයන් අන්තර්ජාලයට එක්කළ පසු බොහෝ දෙනෙකු ඒවා නිර්මාණයන් බව විශ්වාස නොකරන බවත්, ඇතැමුන් තමන්ගේ වෙළෙඳ සැල වෙත පැමිණ මෙම නිර්මාණයන් රසවිඳ යාමට පුරුදු වී සිටින බවත් සියාජුඩීන් පවසයි. ඔහුගේ නිර්මාණවලට රසිකයන්ගේ ඇති කැමැත්ත සියාජුඩීන්ගේ සමාජ වෙබ් ගිණුම් නරඹන ඕනෑම කෙනෙකුට වටහාගත හැක.
ඩිලාන් ක්‍රිෂාන්ත