ශ්‍රී ලංකා රාජ්‍ය ඡායාරූප උලෙළ 2018, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රධානත්වයෙන් ඊයේ (19) පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ රගහලේ දී පැවැත්විණි.
ඡායාරූප ශිල්පියෙකුට ජීවිත කාලයේදී එක් වරක් පමණක් හිමිකර ගත හැකි ,ඡායාරූප අභිමානී, යාවජීව සම්මානයෙන් ප්‍රවීණ ඡායාරූප ශිල්පී හෙන්රි රාජකරුණා පිදුම් ලැබීය.
මිනිස් ක්‍රියාකාරකම් හා පාරිසරික බලපෑම්, ජීවන රටා හා සංස්කෘතිකාංග, ස්වභාවදහම, වන ජීවී හා භූ දර්ශන, ජනමාධ්‍ය ප්රවෘත්ති හා ක්‍රීඩා යන කේෂ්ත්‍ර සහ විවෘත අංශය නියෝජනය කරමින් පළමු ස්ථාන දිනාගත් ජයග්‍රාහකයින් වෙත සම්මාන පිළිගැන්වීම ද ජනාධිපති අතින් සිදුවිය.
උසස් ප්‍රමිතියෙන් යුත් නිර්මාණශීලී ඡායාරූප කලාවක් ප්‍රචලිත කිරීමේ සහ උසස් ඡායාරූප රසඥතාවක් ඇති කිරීමට දායක වීමේ අරමුණ ඇතිව රාජ්‍ය ඡායාරූප උපදේශක සභාව, ශ්‍රී ලංකා කලා මණ්ඩලය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා උසස් අධ්‍යාපන සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය එක්ව වාර්ෂිකව රාජ්‍ය ඡායාරූප උලෙළ සංවිධානය කරනු ලබයි.
අමාත්‍ය විජයදාස රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු, උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යකෂ ජෙනරාල් අනූෂා ගෝකුල, රාජ්‍ය ඡයාරූප උපදේශක මණ්ඩලයේ සභාපති බර්ටි ගුණසේකර ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.