“මම බෙනට් සමඟ කෙදිනක හෝ ලිංගික ඇසුරක් පවත්වා නැහැ,”
ලිංගික හිංසන සහ අපයෝජනවලට එරෙහිව ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක වන #MeToo ව්‍යාපාරයේ ප්රමුඛ පෙලේ ක්‍රියාකාරිනියක වන ඉතාලි ජාතික රංගන ශිල්පිනි ඒෂියා ආජෙන්ටෝ තමන් වෙත එල්ල වන ලිංගික අපයෝජන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.
වයස අවුරුදු 17 දී තමන් ලිංගික අපයෝජනයට ලක් කළ බව පවසමින් හිටපු සහය නළුවෙක් වන ජිමි බෙනට් ඒෂියා වෙත චෝදනා නැඟූ පසු ඇය ඔහු වෙත ඩොලර් තුන් ලක්ෂ අසූ දහසක මුදලක් ගෙවා ඇති බව නිව්යෝක් ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබුණි.
නිවේදනයක් නිකුත් කරන ඇය “මම බෙනට් සමඟ කෙදිනක හෝ ලිංගික ඇසුරක් පවත්වා නැහැ,” යනුවෙන් පවසා ඇත.
නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ පළ වූ ලිපියේ අඩංගු කරුණු ඇය තරයේ ප්‍රතික්ෂේප කරන්නී ය.
බෙනට් සහ ඒෂියාගේ නීතිඥවරු අතර හුවමාරු වුණු අදාල නිළ ලියකියවිලි උපුටා දක්වමින් නිව්යෝක් ටයිම්ස් වාර්තා කරන්නේ මෙම සිදුවීම 2013 වසරේදී කැලිෆෝනියාවේ පිහිටි හෝටල් කාමරයක සිදු වූ බවත් ඒ වනවිට ඔහුගේ වයස අවුරුදු 17 ක් සහ ඇයගේ වයස අවුරුදු 37 ක් බවත් ය.
හොලිවුඩ් සිනමා කර්මාන්තය තුළ දැඩි ආන්දෝලනයට තුඩු දුන් හාවී වින්ස්ටන්ට එරෙහිව සිය හඬ අවදි කළ පළමු පිරිස අතර ඒෂියා ආජෙන්ටෝ ද වේ.