තැප්‍රෝබේන් පොත් පලස නැවතත් 20 වැනිදා සිට
මෙවර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ ‘සංහිඳ කුටිය’ වෙනුවෙන් පැමිණෙන පාඨකයින් උදෙසා තැප්‍රෝබේන් පොත් පලස නැවත පැවැත්වීමට තීරණය කළ බව ප්‍රවීන ලේඛක උපුල් ශාන්ත සන්නස්ගල පවසයි.
පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් සංවිධාන කරන කොළඹ පොත් ප්‍රදර්ශනයේ ආරම්භයේ සිටම සංහිඳ ප්‍රකාශන වෙනුවෙන් කුටියක් වෙන් වූ නමුත් මෙ වසරේ දී සංහිඳ ප්‍රකාශන වෙනුවෙන් කුටියක් වෙන් නොවීම සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පවා දැඩි කතා බහට ලක් විය.
කෙසේ වෙතත් ඒ වෙනුවෙන් විකල්පයක් ගෙන ඒමට තමන්ගේ සුදානමක් නැති බැවින් එම ප්‍රකාශන මිලදී ගැනීමට බලපොරොත්තු වන පාඨකයින් උදෙසා තැප්‍රෝබේන් පොත් පලස සැප්තැම්බර් 20 වැනිදා නැවත ආරම්භ කරන බව යූ ටියුබ් සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වමින් ප්‍රවීන ලේඛක උපුල් ශාන්ත සන්නස්ගල ප්‍රකාශ කරයි.
ඒ අනුව දින දහයක් හෝ දොළහක් අඛණ්ඩව පොත් පලස පැවැත්වෙන අතර උදැසන 9 සිට රාත්‍රී 11 දක්වා එය විවෘතව තිබේ. මේ වනවිට ප්‍රකාශයට පත් කර ඇති නාට්‍ය පිටපත්, චිත්‍රපට තිරනාටක 25ක් පමණ එකට එක්කාසු කර ඒවාට 70 % ක වට්ටමක් ලබා දීමටත්, පැරණි නවකතා පොත් 10 ක් පමණ එකට එක්කාසු කර ඒවාට 70 %ක වට්ටමක් ලබාදීමටත්, අනෙකුත් සියලුම පොත් වලට 40% ක වට්ටමක් ලබා දීමටත් නියමිත ය.
එසේම තැප්‍රෝබේන් පොත් පලස පැවැත්වෙන සෑම දිනකම රාත්‍රියේ ප්රසාංගික වැඩසටහනක් හෝ චිත්‍රපට දැක්මක් සිදු කෙරෙන බවත් ඔහු වැඩිදුරටත් පවසයි.