“ළමා අපරාධ සම්බන්ධයෙන් මේ රටේ වැඩිහිටියෝ මිට වඩා සවිඥානික විය යුතු යි. අපරාධයක් සිද්ධ වෙලා තියෙනවා කියලා පැහැදිලි නේ. අපචාරය කරමින්ම ඒ පුද්ගලයා වීඩියෝ කරලා තියෙනවා කියලා අපිට පේනවා. ඒත් ළමා ආරක්ෂක අධිකාරියට තාම බැරිවෙලා තියෙනවා ක්‍රියාමාර්ගයක ගන්න.” -සම්පත් ජයවීර
පසුගිය සති කිහිපය පුරා සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝවේ දැක්වෙන, පුරුෂයකු විසින් කුඩා දැරියක ලිංගිකව අපයෝජනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම ගැන සිය විරෝධය පළ කරමින් කලාකරුවන්, සමාජ ක්‍රියාකාරීන් ඇතුළු පිරිසක් අද (26) උදැසන එම ආයතනය ඉදිරිපිට දී උද්ඝෝෂණයක නිරත විය.
මෙම ළමා අපචාරය සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කර මාසයකට අධික කාලයක් ගත වී ඇතත් ඊට වගකිව යුතු පුද්ගලයන් නීතිය ඉදිරියට ගෙන ඒමට අදාල බලධාරීන්ට තවමත් හැකියාව ලැබී නැත.
අපරාධකරුවන් නීතිය හමුවට ගෙන එනමෙන් බල කරමින් පැවැත්වූ මෙම නිහඬ විරෝධතාවයේ දී කලාකරුවන් කිහිප දෙනෙක් දැක්වූ අදහස් මෙලෙසින් ගෙන එමු,
ප්‍රවීන රංගන ශිල්පිනි කෞශල්‍යා ප්‍රනාන්දු
“මම කතා කරන්නේ කිසිම පාටකට හෝ පක්ෂයකට සම්බන්ධව නෙවෙයි මවක් වශයෙන්. මටත් ඉන්නේ කුඩා දරුවෝ දෙන්නෙක්. මේ දේවල් දකින කොට අපිට දරාගන්න බැහැ. කිසිම මවකට මේ දේවල් දරාගන්න බැහැ. ඒ දරුවාගේ අම්මටත් මේ දේ දරා ගන්න බැරුව ඇති, ඒ අම්මා සමහරවිට අසරණ ඇති. ඉතින්, අපි එකතුවෙලා මේ ප්‍රශ්න විසඳාගන්නේ නැත්තේ ඇයි? කාර්යක්ෂමව වැඩ කරන්න බලාපොරොත්තු ඇති කරගෙනයි මේ ආණ්ඩුව බලයට පත්වුණේ. ඔවුන් මේ සඳහා ඉතා ඉක්මනින් ක්‍රියාත්මක විය යුතු යි. නැතිනම් තව දරුවෝ කී දෙනෙක් මේ විදියට අපයෝජනය වෙලා, ඔවුන්ගේ ජිවිත විනාශ වෙයි ද කියලා අපි දන්නේ නැහැ. අපිට කියන්න බැහැ මේ දේ එක්තරා පන්තියක දරුවන්ට විතරක් වෙන දෙයක් කියලා. ඉහල සිට පහල පන්තිය දක්වා අද සමාජයේ දක්නට තියෙන මානසික ව්‍යාධි තත්වයක් මෙය. අපි අපේ දරුවෝ බේරා ගන්න ඕන. ඊට රජයත් ඉක්මන් විසඳුමක් සහ සහයෝගය දිය යුතුයි කියා මම හිතනවා.”
රංගන ශිල්පිනි හිමාලි සයුරංගි
“මේ රටේ පාලකයෝ ඇස් පියාගෙන ඉන්නේ ඇයි කියලා මම ප්‍රශ්න කරනවා. මම කිසිම දේශපාලන පක්ෂයක් වෙනුවෙන් නෙවෙයි මවක් විදියට දරුවන් වෙනුවෙන් මේ කතා කරන්නේ. කරුණාකර ක්‍රියාත්මක වෙන්න. ඇස් පියාගෙන ඉන්න පාලකයෝ කරුණාකර ඉස්සරහට එන්න. මේ දේවල් හංගගෙන ඉන්න එපා. මේ වෙනුවෙන් නැගිටින්න. මේ වෙනුවෙන් ක්‍රියා කරන්න. එතකන් අපි සටනේ යෙදෙනවා”
රංගන ශිල්පී සම්පත් ජයවීර
“මේ වීඩියෝව මගේ ඇස ගැටෙන්නේ ජනවාරි මාසයේ 21 වැනිදා. ජනවාරි 22 වැනිදා ළමා ආරක්ෂක අධිකාරියේ ක්ෂණික ඇමතුම් අංකයට කතා කරලා මම පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ඒ පැමිණිලි අංක 20cc1567 යටතේ. එක්තරා ෆේස්බුක් ගෘප් එකක මේ වීඩියෝව ශෙයා වුණ වෙලාවේ ඒක දැකලා ඇති වෙච්ච කම්පනය නිසා මමත් මගේ මිත්‍රයකුත් එකතු වෙලා තමයි මේ පැමිණිල්ල කළේ. මාස දෙකක් විතර වෙන්න එනවා අපරාධකාරයෝ අත්අඩංගුවට අරගෙනවත්, කිසිම දෙයක් ක්‍රියාත්මක වෙලා නැහැ. මම පසුවත් කතා කරලා ඇහුවා මගේ පැමිණිල්ල සම්බන්ධයෙන්. එතකොට ඒ සම්බන්ධයෙන් කටයුතු කරගෙන යනවා කියලා කිව්වා. ඒත් අපි හැමෝටම පේනවා අද වෙනකන් කිසිම ක්‍රියාත්මක වීමක් නැහැ කියලා. අපරාධකාරයෝ අත්අඩංගුවට අරගෙනත් නැහැ. ඉතාම කාර්යක්ෂමව කටයුතු කරගෙන යන වත්මන් ජනාධිපතිතුමාගේ ඇස ගැටෙන්න ඕන කියලා මම හිතනවා.
ළමා අපරාධ සම්බන්ධයෙන් මේ රටේ වැඩිහිටියෝ මිට වඩා සවිඥානික විය යුතු යි. අපරාධයක් සිද්ධ වෙලා තියෙනවා කියලා පැහැදිලි නේ. අපචාරය කරමින්ම ඒ පුද්ගලයා වීඩියෝ කරලා තියෙනවා කියලා අපිට පේනවා. තාමත්.. ඊයෙත් මම දැක්කා ෆේස්බුක් ගෘප් එකක මේ වීඩියෝව ශෙයා වෙනවා. සාමාන්‍යයෙන් මේ වගේ වීඩියෝ එකක් ශෙයා වුණාම ඔටෝ ඒක ඩිටෙක්ට් වෙලා දවස් ගානකට ෆේස්බුක් බ්ලොක් කරනවා. ඒත් ළමා ආරක්ෂක අධිකාරියට තාම බැරිවෙලා තියෙනවා ක්‍රියාමාර්ගයක ගන්න. මමත් අවුරුදු 6ක පුතෙක් ඉන්න තාත්තා කෙනෙක්. මේ වීඩියෝ එක දැක්කම මට දැනුණු කම්පනය නිසා තමයි මම මේ පැමිණිල්ල කළේ. අපි කියන්නේ අපරාධකාරයෝ හොයන්න කියලා. ළමයින්ට, ළමා ආරක්ෂක අධිකාරියේ පිහිටත් නැතිනම් කාගේ පිහිට ද ?”
කථිකාචාර්ය ඉන්දිකා උපමාලි
“මම කිසිම පක්ෂයකට හෝ කිසිම සංවිධානයකට සම්බන්ධව නෙවෙයි මවක් සහ ගුරුවරියක් හැටියටයි මෙතනට එන්නේ. ඒ අවුරුදු 6ක දැරියක් ලිංගික අපයෝජනයට ලක් කරලා, එය අන්තර්ජාලයට මුදා හැරලා, ඊට තවම නීතිය හරි හැටි ක්‍රියාත්මක නොවන අවස්ථාවක. මොකද මම මවක් සහ ගුරුවරියක් හැටියට විශේෂයෙන්ම දන්නවා දරුවන් කියන්නේ හඬක් නොනැඟිය හැකි කොටසක්, අන්තිම අසරණ කොටසක්. ඒ වෙනුවෙන් මවකට ගුරුවරියකට, ඒ වගේම රටේ වැඩිහිටි පුරවැසියෙක්ට විතරයි හඬක් නගන්න පුළුවන්. අපිට පුළුවන් නම් අපේ ඡන්දයෙන් රටේ ජනාධිපතිතුමාව පත්කරගන්න, මේ රටේ සෙසු ඇමතිවරු, මන්ත්‍රීවරු පත්කරගන්න, ඇයි අපිට බැරි මේ ප්‍රශ්නයට උත්තරයක් හොයා ගන්න. මේ පළමුවෙනි සිදුවීම නෙවෙයි. මේ මොහොත වෙනකොටත් දරුවන් ලිංගික අපයෝජනයට ලක්වෙනවා වෙන්න පුළුවන්. ඉතින්, ඒ නිසා මෙය අවස්ථාවක් කරගෙන එකතුවෙන්න. මේ වගේ අසාධාරණයක් වෙනුවෙන් තමන්ගේ හඬ නගන්න.”