ලංකාව දෙවියන්ගේ මල් උයන හැටියට හැදින්වූ ග්‍රෙගරි පෙක් ඇතුලු ලෝක පූජිත නලු නිළියන් යොදා ලංකාවේ සම්පූර්ණයෙන්ම රෑගතකල මහා බ්රිතාන්යේ 11 වැනි ජනප්‍රියම චිත්‍රපටය 'ද පර්පල් ප්ලේන්'' ( THE PURPLE PLAIN (1954).පර්පල් ප්ලේන් බිහිවුණේ 1954දී. “ද පර්පල් ප්ලේන්" චිත්‍රපටය හැදුණෙත් එච්.ඊ. බේට්ස් ලියපු නවකතාවක් පසුබිම් කරගෙනයි. සීගිරිය හා කොග්ගල පරණ ගුවන් තොටුපළ ආශ්රිත ව තමයි මේකේ රූගත කිරීම් බොහොමයක් වුණේ. චිත්‍රපටයේ දර්ශනවලට පොල් ගස් පිටින් හිටවන්නත් සිදුවෙලා තියෙනවා.
මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑවේ ඒ කාලේ ඉඳපු සුප්‍රසිද්ධ හොලිවුඩ් නළුවෙක්. ඒ ග්‍රෙගරි පෙක්. රත්මලාගේ ගුවන් තොටුපලින් ලංකාවට ගොඩබහිද්දී, ඔහුට සෑහෙන්න උණුසුම් පිළිගැනීමක් ලැබිලා තිබුණා. එදා ම රෑ සීගිරියට පිටත් වෙච්ච ග්‍රෙගරි ට, සතියක වගේ කාලයක් ඇතුළත රසික ලියුම් බර තොගයක් ලැබිලා තිබුණා. එයින් 300කටත් එහායින් ඔහුගේ ඡායාරූපයක් ඉල්ලපු ලියුම්. ගෙවල්වලට ඒමට තිබු ආරාධනාත් 150කට අධික ගණනක් මේ අතර තිබිලා. ඒ විතරක් නෙවෙයි, විවාහ යෝජනාත් කීපයක් තිබුණලු.
![336154362 602465024743688 1936302933574647518 n](/images/2023/336154362_602465024743688_1936302933574647518_n.jpg)
ග්‍රෙගරි පෙක් ලංකාවට පැමිණියේ මෙහි නිපදවන ලද The Purple Plain ‘දඹතැන්න’ නම් චිත්‍රපටයේ රඟපෑමටය. ඒ 1954 දීය. ඔහු පැමිණෙන විට කොළඹ රීගල් සිනමාහලේ ඔහු ප්‍රධාන චරිතය රඟපෑ The Million Pound Note චිත්‍රපටය තිරගත වෙමින් තිබුණි. සිලෝන් තියටර්ස් අධිපති සර් චිත්තම්පලම් ඒ. ගාඩිනර්ගේ ඇරැයුමෙන් පෙක් 1954 පෙබරවාරි 18 වෙනිදා රීගල් සිනමා ශාලාවට පැමිණියේ තමා රඟපෑ චිත්‍රපටය නැරඹීමටය. විශාල රසික පිරිසක් මැද වේදිකාවට නැඟ පැමිණ සිටි ප්‍රේක්ෂකයන්ගේ උණසුම් පිළිගැනීමට ලක් වෙද්දී පෙක්ට මල් මාලාවක් පළඳා පිළිගෙන ඇත්තේ සුජාතා ජයවර්ධන විසිනි. Star Over India නම් ජර්මන් චිත්‍රපටයේ රඟපෑ සුජාතා ‘දෙලොවක් අතර’ චිත්‍රපටයේ වින්සන්ට් සේරසිංහගේ බිරිඳ ලෙස රඟපෑවාය. ග්‍රෙගරි පෙක් වෙනුවෙන් සර් ගාඩිනර් බාල් නැටුම් කිහිපයක් කොළඹ ගෝල්ෆේස් හෝටලයේ සහ තම නිවසේ පවත්වා ඇති අතර එක් අවස්ථාවක අගමැති සර් ජෝන් කොතලාවල ද එයට සහභාගී වී තිබුණි.
1954 ජනවාරි 05 වෙනිදා “ජනතා” පුවත්පත ග්‍රෙගරි පෙක්ගේ ලංකා ගමන වාර්තා කර තිබුණේ ඔහුගේ රසිකයන්ගේ බලාපොරොත්තු සුන්ව ගිය අවස්ථාවක් ලෙසය. පුවත්පතේ අන්තිම පිටුවේ ඔහුගේ නොපැමිණීම නිසා එදින උදෑසන සිටි රසිකාවියන්ගේ දුක්මුසුව සිටි පින්තූර කතාවකි. එහි පළ වූ මුල් පිටුවේ ප්‍රවෘත්තියේ මෙසේ සඳහන් වී තිබුණි.
“ලක්ෂ සංඛ්‍යාත කලාකාමීන්ගේ ගෞරවය දිනා සිටින ග්‍රෙගරි පෙක්ගෙන් සමරු පොත් අත්සන් කර ගැනීමට ගිනි අව්වේ රත්මලන ගුවන් තොටුපළට රැස් වූ යුවතියන්ගේ පින්තූරවලිනි. ඔවුන්ගෙන් ඇතැමෙක් ක්ලාන්ත වී වැටී ඇත.”
![335908178 762412651779333 1544225342238284846 n](/images/2023/335908178_762412651779333_1544225342238284846_n.jpg)
කෙසේ වෙතත් රසික සිත් සනසමින් ග්‍රෙගරි පෙක් ජනවාරි 06 වෙනිදා උදෑසන 8.15 ට රත්මලානේ ගගනාංගනයට ගොඩ බැස ඇත. පෙක්ගේ අත්සන තම සමරු පොතට ලබා ගැනීම සඳහා රත්මලාන ගුවන් තොටුපළේ පොර කකා සිටි බාලිකාවන්ගෙන් පළමුවැන්නියගේ පෑන ගෙන අත්සන් කළ ග්‍රෙගරි පෙක් ආපසු පෑන දී ඇත්තේ වෙන බාලිකාවකටය. පසුව පෑන ආපසු නොදීම ගැන ග්‍රෙගරි පෙක්ට කළ නෝක්කඩුව ඔහුට සීගිරියේදී අසන්න ලැබුණේය. කොළඹ ස්ටැන්මෝර් ක්‍රෙසෙන්ට්හි සී. පෙරේරා නම් මේ බාලිකාවට ලිපියක් යැවූ පෙක් ඇගේ පෑනේ වර්ගය දන්වන මෙන් ඉල්ලා ඇත. ඇයට පාකර් 51 පෑනක් තැපෑලෙන් එවීමට පොරොන්දු වූ බව 1954 ජනවාරි 10 වෙනිදා ඉරිදා ලංකාදීපයේ පළ වී ඇත. එහි මාතෘකව වී ඇත්තේ “ග්‍රෙගරි පෙක්ගෙන් දැරියට පෑනක්’ යන්නය.
![greg p 22](/images/2023/greg-p-22.webp)
ග්‍රෙගරි පෙක් ලංකාවේ නැවතී සිටින කාලය තුළ හැකි තරම් ලාංකිකයන් දැක දැන හැඳින ගැනීමට ආශාවෙන් සිටින බව ඔහු ලංකා ගුවන් විදුලි සේවයේ (රේඩියෝ සිලෝන්) ඉංග්‍රීසි නිවේදිකාවකට පවසන අයුරු දැක්වෙන ඡායාරූපයක් 1954 ජනවාරි 07 වෙනි දින “දිනමිණ” පුවත්පතේ මුල් පිටුවේ සඳහන්ව තිබුණි. පෙක්ගේ අත්සන සමරු පොත්වලට ඇතුළත් කර ගැනීමේ අදහසින් ඔහු වෙත කඩා පැන්න හැම පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවකගේම ඉල්ලීම ඉටු කිරීමට ඔහු මැලි නොවී ඇත. සමහර ශිෂ්‍යාවන් ලේන්සුවල ද, ශිෂ්‍යයන් කමිස සාක්කුවල අත්සන් ලබාගෙන ඇත.
![336267004 1081254016165248 2112435735425254787 n](/images/2023/336267004_1081254016165248_2112435735425254787_n.jpg)
ඉංග්‍රීසි නිවේදිකාව ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පෙක් පවසා ඇත්තේ තමා ක්‍රියාදාම සිද්ධීන්ගෙන් යුතු චිත්‍රපටවල රඟපෑමට කැමති බවය. තමා වඩාත් කැමතිම නිළිය ඉන්ග්‍රීඩ් බර්ග්මාන් බව ද පවසා තිබුණි.
ග්‍රෙගරි පෙක් රඟපෑ ලංකාවේ රුගත කළ The Purple Plain නවකතාව ඉංග්‍රීසි නවකතා කතුවර එච්. ඊ. බේට්ස් විසින් 1946 රචනා කරන ලද නවකතාවකි. ගුවන් නියමුවෙකු ලෙස ඉන්දියාවටත් බුරුමයටත් පැමිණි බේට්ස් තමා ලත් යුද අත්දැකීම් ඇසුරෙන් The Purple Plain නවකතාව රචනා කර ඇති අතර ප්‍රකට නවකතා රචක ග්රැහැම් ග්‍රීන් විසින් බේට්ස් හඳුන්වා ඇත්තේ “එංගලන්තයේ චෙකොෆ්” හැටියටය. 1974 ජනවාරි 29 වැනිදා බේට්ස් මිය යන විට බ්‍රිතාන්‍ය රජය විසින් පිරිනමන ලද උසස්ම සම්මානය CBI උපහාරයෙන් ඔහු පිදුම් ලැබුවේය.
“පර්පල් ප්ලේන්” චිත්‍රපටයේ අධ්යක්ෂවරයා වූයේ රොබට් පැරිෂ් නිෂ්පාදකවරයා වූයේ John Bryan ය. මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත වූ ෆෙස්ටර් නම් ගුවන් හමුදා නිලධාරියා ලෙස ග්‍රෙගරි පෙක් රඟපෑ අතර බුරුම ජාතික නිළියක් වූ වින් මින් තාන් ප්‍රධන නිළි චරිතය රඟපෑවාය.
![336018896 1645554505896877 1971408878023618381 n](/images/2023/336018896_1645554505896877_1971408878023618381_n.jpg)
බෙට්ස් ලියූ නවකතාව ‘දඹතැන්න’ නමින් අනුල ද සිල්වා නම් අපේ ජ්‍යෙෂ්ඨ පත්‍ර කලවේදිනිය අතින් සිංහලයට පරිවර්තනය කර ඇත. එය සූරිය ප්රකාශනයකි.
ආතර් රෑන්ක් සමාගමේ අධ්යක්ෂ හා නිෂ්පාදක ඇතුළු පනස් ගණනක පිරිසක් ලංකාවට ඒමට මාස දෙකකට ප්‍රථම සිට සීගිරියේ භවනේ සිනමා නගරයක් ඉදිකර තිබුණි. කලා අධ්‍යක්ෂක Jack Maxsted හා පසුතල නිරමාණ ශිල්පී Dario Simoni ද, කැමරා අධ්යක්ෂ Geoffry Unsworth සහාය අධ්යක්ෂ David Orton පෙර සැලසුම් කිරීමට ලංකාවේ ගත කොට ඇත. ලංකාවේ සියලු කටයුතු සම්බන්ධීකරණය කර ඇත්තේ සිලෝන් ටුවර්ස් අධීපති පී. ඒ. එදිරිවීර මහතා විසිනි. සිලෝන් ටුවර්ස් සමාගම විසින් චිත්‍රපටයේ ඉදි කිරීම සඳහා 300 ක පමණ සහභාගි කරගත් බව ඉරිදා ලංකාදීප පත්‍රයේ ධරම්සී (ධර්මසිරි ජයකොඩි) ලියූ විශේෂාංගයකින් හෙළි වෙයි.
ලියුම්කරු කියා ඇති පරිදි පොල් ගහක් පළාතකවත් නොතිබුණු එම දර්ශන තලයේ පොල් ගස් සිට වූ බවය.
1968 ග්‍රෙගරි පෙක් ගැන ලිපියක් ලියූ ප්රෙමිල් රත්නායක කියා තිබුණේ පෙක් ලංකාවේදී සෙම්ප්රතිශ්යාවෙන් තදබල ලෙස පීඩා විඳිද්දි සිලෝන් ටුවර්ස් අධිපති පී. ඒ. එදිරිවීර මහතා ඔහුට කොත්තමල්ලි වතුර බොන්නට දී ඇති බවය. පෙක්ට සෙම්ප්‍රතිශ්‍යාව සුව වී ඇත. චිත්‍රපටයේ වැඩ කටයුතු නිම වී ඔහු ඇමරිකාවට යන විට කොත්තමල්ලි තොගයක් රැගෙන ගොස් ඇත.
“සෙම්ප්‍රතිශ්‍යාවට මෙතරම් අනගි බෙහෙතක් මම මුළු ලෝකයේම දැකල නැහැ. මේ වගේ ඖෂධයක් ඇමෙරිකාවේ තිබුණා නම් ඇමරිකානුවෝ ලක්ෂ ගණනක් සොයනවා ඇති.”
ඇමෙරිකා එක්සත් ජනපදයේ කළු මිනිසුන් වෙනුවෙන් සටන් කරන, ඔවුන්ගේ ඉරණම ගැන දුක්වෙන හොලිවුඩ් නළුවන්ගෙන් ප්‍රධානියා මාලන් බ්රැන්ඩෝ බවත් ඔහු හා උරෙන් උර ගැටී සටන් කරන නළුවා තමා බව පවසා තිබුණි. බ්රැන්ඩෝ මෙන්ම පෙක් ද කළු මිනිසුන් වෙනුවෙන් සටන් කිරීමේ සටනට මුදල් පරිත්‍යාග කර ඇති බවද එම ලිපියේ සඳහන් වෙයි.
ග්‍රෙගරි පෙක් කොළඹ සිටි දින කිහිපය ගත කොට ඇත්තේ ගෝල්ෆේස් හෝටලයේය. ඉන් පසු ඔහු සීගිරිය බලා ගියේ එක දිගටම එහි රූප ගත කිරීම් තිබූ නිසාය. කොළඹින් පෙක් පිටත් වූ පසු කොළඹ හතේ ධනවත් තරුණියන් හෝටල් කළමනාකරු හමු වී ඔහු නැවතී සිටි කාමරයට යාමට අවසර ලබා එහි වූ පෙක් නිදා සිටි ඇඳෙහි බෙඩ්ෂීට් එක පවා සිප ගත් බව ආචාර්ය ලෙස්ටර් ජ්ම්ස් පීරිස් වරක් මට පැවසුවේය. පෙක් චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතය රඟපෑ බුරුම ජාතික නිළි වින් මින් තාන් නිළිය සමඟ පෙමින් වෙළී සිටි බවට සර් ගාඩිනර් වරක් පැවසූ බව ද ලෙස්ටර් මහතා අපට කීවේය. පසුව ඇය බුරුමයට ගොස් වසර කිහිපයකට පසු දස සිල් මාතාවක් වූ බව පුවත්පත්වල පළ වී තිබුණි. බෞද්ධාගමික කතක් වූ මේ බුරුම නිළිය ලංකාවට ගුවන් යානයෙන් බැස මුලින්ම ගොස් ඇත්තතේ කැලණි රජ මහා විහාරයට බව පුවත්පත්වල පළ වී තිබුණි.
![2eefcc5680130a3dfbf4298bfd00e0d1](/images/2023/2eefcc5680130a3dfbf4298bfd00e0d1.jpg)
ග්‍රෙගරි පෙක් ලංකාවේ සිටින කාලය තුළ විවාහ යෝජනා තුනක් ද, නිවසට පැමිණීමට හා ඡායාරූප ඉල්ලා 300 දෙනෙකුගෙන් පමණ ආරාධනා ලැබූ බව ද පුවත්පත්වල පළ වී තිබුණි. වරක් පෙක්ට බුදු දහම ගැන ලියූ පොතක් හා ධම්ම පදයේ ඉංග්‍රීසි පරිවර්තනයක් ද වරෙක ඉස්තරම්ම තේ රාත්තල් 200 ක් තෑගි දුන් බව ද පුවත්පත්වල පළ වී තිබුණී.
හොලිවුඩ් මහා නළු ග්‍රෙගරි පෙක් ලංකාවට පැමිණ ‘දඹතැන්න’ චිත්‍රපටයේ සීගිරි සෙවණේ කුවේර භවනේ රඟපෑ අපූරු සිද්ධි එදා සිටි අද ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට නම් හොඳට මතක ඇති. ග්‍රෙගරි පෙක් පසුකලෙක ලංකාව ගැන සිහිපත් කළේ එය දෙවියන්ගේ මල් උයන හැටියට හඳුන්වා දෙමිනි.
තොරතුරැ සම්පාදනය පත පොතින් සහ අන්තර්ජාලය ඇසුරින්
උපුටාගැනීම -Everything from Ceylon To Sri Lanka