හර්ෂණ දිසානායකත් එක්ක කරන ඉන්ටවීව් එකකදි හරේන්ද්ර ජයලාල් කියනවා අනූව දශකයෙදි හා ඊට එහා කාලයෙදි ළමා ගීත ඕනහැටියට තිබුනත් දෙදාහ දශකයෙ ළමයි ලොකුවුනෙ හර්ෂණගෙ සිංදු අහමින් කියලා.
ඒ කතාව ඇත්තක් කියල මාත් විශ්වාස කරනවා.පැරණි ළමා ගී නැවත නැවත වෙනස් වෙමින්ම ගැයුනා ඇරුනහම හර්ෂණගෙන් පස්සෙ අලුත් ළමා ගී හයිප් එකක් ඇති වුනේ නෑ.
මතකයේ තියන විදිහට හර්ෂණ 'දිය බෙරලිය දලු නෙළන්න ගිය දා' නිකුත් කරන්නෙ 2004 දි සූරිය අරණ චිත්රපටියෙ 'ඉරෙන් හඳෙන්' ගීතය ජනප්රිය වුනාට පස්සෙ.
හුඟක් අය ඒ ගීතය ඇහුවෙ හර්ෂණගෙන් කියලා මම හිතනවා.
හැබැයි මගෙ කතාව වෙනස්.
පහ වසරට එනතුරු අලව්වට ඉස්කෝලෙ ගිය මම ශිෂ්යත්වයෙන් පස්සෙ කුරුණෑගල ශාන්ත ආනා විදුහලට යද්දි තව තව ළමයි වටපිටාවෙ තිබුනු එක එක ඉස්කෝල හොයාගෙන ගියා.ඒ අතර හිටියා වරින්වර අපේ පංතිවල හිටපු ලසන්තිකා අබේරත්න නමැති ගැහැණු ළමයෙක්, ඇය ගියෙ ගිරිඋල්ල වික්රමශීලා විදුහලට.
ඇය ප්රාථමික පන්තිවල ඉඳලම අපූරු ගායිකාවක්.
මේ කියන කාලය එක්දාස් නවසිය අනූ හය.ඊට අවුරුදු තුන හතරකට පස්සෙ මගෙ මතකය හරි නම් නව සහශ්රය උදාවෙන්නත් කලින් දාක එක හැන්දෑවක අපේ අම්මා මට අඬගහල කියනවා.
"පුතේ මේන් ලසන්තිකා ,ටීවී එකේ සිංදුවක් කියනවා"කියලා.
ළමා සාරියකින් සැරසිලා රූපවාහිනී වාද්ය වෘන්දයක් එක්ක එදා ඇය බොහොම ලස්සනට ගයපු ගීතය පහන් සංවේගීවම මගෙ හිතේ රැඳුනා.
ඇය ගැයුවෙ 'දිය බෙරලිය දලු'
ඊට අවුරුදු පහ හයකට පස්සෙ හර්ෂණ දිය බෙරලිය දලු ගායනා කරනකොට මම තරමක විස්මයකට පත්වුනත් ඒ කාලෙ ගීතයෙ මුල් හොයන්න විදිහක් තිබුනෙත් නෑ.ඒ ගැන අහන්න මට ආයෙ ලසන්තිකාව හම්බවුනෙත් නෑ.
නැවත වරින්වර දිය බෙරලිය දලු ඇහෙන අහන හැමවෙලාවකම ලසන්තිකා ගීතය ගැයූ බව මතක් වුනත් එතනින් එහාට දෙයක් හොයන්න තරම් කල්පනාවක් ආවෙ නෑ .
ඒක හිතුනෙ මේ මෑතක දවසක.
මොකද්ද මේ සොඳුරු අබිරහස කියල ගූගල් එකේ හොයන්න ගත්තා. වැඩි වෙලාවක් නොගොස්ම අබිරහස විසඳුනා.
ගීතය ලියවෙන්නෙ වගේම, තනු නිර්මාණය කෙරෙන්නෙත් අද අප අතර නැති සුනිල් දයානන්ද කෝණාරයන් අතින්.
සුනිල් දයානන්ද කෝණාර කියන්නෙ ගිරිඋල්ල වික්රමශීලාවෙ හිටපු සංගීත ආචාර්යවරයා.
ලසන්තිකා වගේම හර්ෂණත් ඉස්කෝලෙ ගියෙ වික්රමශීලාවට,ඒ දෙන්නගෙම ගුරුවරයා ඔහු.
හර්ෂණට කලින් ඔහු, ලසන්තිකාගෙන් ගීතයට හඬ දෙනවා.
අද වෙනකොට හර්ෂණ කියන ගීතය වර්ෂන් කීපයකින් අහන්න පුළුවන් වුනත් ලසන්තිකා ගයපු ගීතය නෑ. රූපවාහිනී සංස්ථාව සතුව තියෙන්නත් පුළුවන් නැතිවෙන්නත් පුළුවන් .
දිය බෙරලිය දලු, කිරි අම්මෙකුගෙ ආදරය ලබපු ඕනම දරුවෙකුව අතිශය සංවේදී කරන්න පුළුවන් ගීයක් .
ඒ තරම් විශිෂ්ට නිමැවුමක් වෙලා තියෙන්නෙ ගීතය ලියූ අතින්ම තනුවත් වැටිලා තියන නිසාම වෙන්න ඇති.
"අනෝතප්ත විල් තෙරේ හිඳන් නුඹ
හිනාවෙයන් මට කිරි අම්මේ"
නිරෝශ් ගුණසේකර