සඳ කිණිති නැමී විල් දියට එබී
සොයයි සේයාව සඳේ...
ඔබ නෙතට එබී මගෙ නෙතද සදා
සොයයි සේයාව මගේ..
ගායකයකු, සංගීතඥයකු, රංගන ශිල්පියකු ලෙස මෙරට සුවහසක් රසික රසිකාවියන්ගේ හද බැඳ ගත් ලක්ෂ්මන් විජේසේකර ගායන ක්ෂෙත්රයට පියමංකර දශක හතරක් ගතවී හමාරයි. ඒ නිමිත්තෙන් 17වැනිදා සවස එනම් අද සවස 7.00ට නෙළුම් පොකුණ රඟහලේදි'සඳ කිණිති නැමී' ප්‍රසංගය පැවැත්වෙනවා.
• 'සඳ කිණිති නැමී'ප්‍රසංගය මොනවගේ අත්දැකීමක්ද?
මම ගායන ක්ෂේත්රයට පැමිණ දශක හතරක් පිරීම නිමිත්තෙන් මේ මස 17දින සවස 7.00ට නෙළුම් පොකුණ රඟහලේදි පවත්වන ගීතමය ප්‍රසංගයක්. ප්‍රසංගය පැය දෙකයි විනාඩි තිහක් පැවැත්වීමට බලාපොරොත්තු වෙනවා.
• එදින ඔබත් සමග ගීත ගයන ආරාධිත ශිල්පීන් සහ ශිල්පිනියන් කවුද?
මා සමග යුග ගීත ගායනා කළ නිර්මලා රණතුංග, සමිතා එරන්දතී මුදුන්කොටුව, ප්‍රදීපා ධර්මදාස, චන්ද්‍රලේඛා පෙරේරා යන ප්‍රවීණ ගායිකාවන් එදින මා සමග යුග ගීත ගායනා කරනවා. ඒ වගේම මගේ සංගීත අධ්‍යක්ෂණයෙන් නිමවූ ටෙලි නාට්‍ය ගීත සුනිල් එදිරිසිංහ, විශාරද කෝලිත භානු දිසානායක ඇතුළු ප්‍රවීණ ගායන ශිල්පීන් ගායනා කරනවා. මෙම ප්‍රසංගයේ සංගීතය අධ්‍යක්ෂණය කරන්නේ ආචාර්ය රෝහණ වීරසිංහයන් විසින් .
• 1975සිට කලාවේ රැඳී සිටියත් ඒක පුද්ගල ප්‍රසංගයක් පැවැත්වීමට මේ තරම් ප්‍රමාද වුණේ ඇයි?
කතාව ඇත්ත නොදැනීම කාලය ගෙවී ගිහින්.1975සිට ගායන ශිල්පියෙක්, සංගීතඥයෙක්, රංගන ශිල්පියෙක් ලෙස කලාවේ රැඳුනත් ඒක පුද්ගල ප්‍රසංගයක් පවත්වන්න ඕන කියන අදහසක් සිතට ආවෙ නැහැ. මගේ දුව අමා විජේසේකර සහ පුතා විහඟ විජේසේකරගේ බලවත් ඉල්ලීම මත තමයි මේ ප්‍රසංගය පැවැත්වෙන්නේ.
• ඔබ අපේ රටේ සිටින ගායන ශිල්පීන් අතරින් ඉතා මිහිරි හඬක් ඇති ගායන ශිල්පියෙක්.එදා මෙදා තුර ගීත කීයක් පමණ ගායනාකර තිබෙනවාද?
ගීත පණහක් පමණ ගායනාකර තිබෙනවා.එනම් බාල ළමාවරුනේ, දැල් වු පහන්, ඇති දේ ඇති සැටියෙන්, සිනා පිපෙනා, සඳ පානෙ වැලිතලාවෙ සුර , ඔබ මට තරුවකි, දෑත දෙපාලන ආදි ගීත රසිකයන් අතර බෙහෙවින් ජනප්‍රිය වු ඒවා. එම ගීත අතරින් ගීත විසි පහක් ප්‍රසංගයදා ගායනාකරනවා. ඒ අතරින් සඳ කිණිති නැමී ගීතයට රසිකයන් ගොඩාක් ආදරය කරන නිසයි සඳ කිණිති නමින් ප්‍රසංගය නම් කළේ.
• ඔබ සංගීත අධ්‍යක්ෂණය පැත්තෙන්ද දක්ෂතා දැක්වූවා.
මම ගීත විසි පහක් පමණ සංගීතවත් කර තිබෙනවා. විලම්භීත, ටිකිරි, දඟයනට පමණයි, ආදි නාට්‍ය සංගීතවත් කළා. වෙළෙඳ දැන්වීම් සංගීත අධක්ෂණයකර තිබෙනවා.
• රංගනයටත් දක්ෂතා දක්වන ඔබ වරෙක රාජ්‍ය සම්මානයෙන් පවා පිදුම් ලැබුවා.
එක්දහස් නවසිය අසූ පහේදි සිහින සාප්පුව වේදිකා නාට්‍යයේ කළ රංගනය වෙනුවෙන් රාජ්‍ය සම්මාන ලැබුවා. එදා මෙදාතුර ටෙලිනාට්‍ය පහළොවක පමණත් ප්‍රියංගා, යුවතිපති චිත්‍රපටවල සහ වේදිකා නාට්‍ය පහක පමණ රඟපා තිබෙනවා.
නයනා වෑත්තෑව