ඉර උදාවෙන උදෑසනකටත් වඩා ඉර බැහැලා යන හැන්දෑවක් අහසට වැඩිපුර ලස්සනක්, වැඩි වර්ණවත්බවක් ගේන්නේ ඇයි? ඒක හරියට සමහර ජීවිත ලස්සන වෙන්නෙම, වැඩිපුර වර්ණවත් වෙන්නෙම සමහර සමුගැනීම් එක්කයි කියලා ව්‍යංග්‍යයෙන් කියනවා වගේ. කැතරින් ජීවිතයෙන් සඳහටම සමුගෙන යාවි කියලා හිත්ක්ලීෆ් කවදාවත් නොසිතන්නට ඇත.
හිත්ක්ලීෆ් විසින් කැතරින් කෙරෙහි මෙතරම් ප්‍රේමයක් දක්වන්නේ කුඩා කාලයේ සිට මෙම දෙපළ තුළ තිබූ ළෙංගතු බැඳීම නිසාමයි. නමුත් කැතරින්ගේ සිත වෙනස් විය. හිත්ක්ලීෆ්ව අත්හැර ඇය විසින් “එඩ්ගාර් ලින්ටන්” නමැති සිටුවරයෙක්ව තෝරා ගත්තාය. හිත්ක්ලීෆ් කැතරින්ගේ ඈතටම ගියේය. කැතරින් ජීවිතයට හිත්ක්ලීෆ් නැවත පැමිණියේ තමන්ගේ මරණය හේතු සාධක සමඟයි. කැතරින්ගේ මරණයට හේතු වෙන්න හිත්ක්ලීෆ්ගේ දුෂ්ටකම, මුරණ්ඩුකම ඕනෑවටත් වඩා ප්‍රමාණ වුණා. අවසානයේ කැතරින් සියලු දුක්වලට සමු දීලා මරණය වැලඳ ගන්නට සිද්ධ වුණා.
හිත්ක්ලීෆ් සහ කැතරින්ගේ ශෝකාන්තයේ ප්‍රේම අන්දරය ඇතුළත් වෙන්නේ සුප්‍රකට ගත්කතුවරියක් වන එමිලි බ්‍රොන්ටේ විසින් වර්ෂ 1847 දී ලියු “වදරින් හයිට්ස්” නවකතාවේ ය. අවස්ථා ගණනාවකදි “වදරින් හයිට්ස්” නවකතාව ඇසුරින් ටෙලි නාට්‍ය, වේදිකා නාට්‍යය, චිත්‍රපට බිහි විය. 2026 වසරට අදාළව “වදරින් හයිට්ස්” නවකතාව ඇසුරින් නවතම චිත්‍රපටයක් ප්‍රතිනිර්මාණය වීම නවකතාවට රුචි පාඨකයන්ගේ ලාලසාව ඉහළ දමන්නට හේතුවකි. චිත්‍රපටය ප්‍රතිනිර්මාණය වූයේ “වදරින් හයිට්ස්” නමිනි. එමරල්ඩ් ෆෙනෙල් නමි නවක සිනමාකාරිය විසින් අධ්‍යක්ෂණය කළ “වදරින් හයිට්ස්” චිත්‍රපටය නිර්මාණය කර ඇත්තේ සෞන්දර්ය ආකෘතිය පෙරදැරිවයි. ඇගේ ප්‍රධාන අභිප්‍රාය වූයේ “පළමු වරට මෙම පොත කියවන යෞවනයේ පසුවන ගැහැනු ළමයෙකුගේ හැඟීම නැවත නිර්මාණය කිරීමට උත්සාහ කිරීම” බවයි.
නවක නළු ජේකබ් එලෝර්ඩ් විසින් “හීත්ක්ලීෆ්ගේ” චරිතය ද සම්මානනීය නිළි මාර්ගොට් රොබ් විසින් “කැතරින්” චරිතය ද නිරූපණය කරයි. ජේකබ් ඒලෝර්ඩ් ගිය වසරේ තිරගත වූ “ෆ්‍රැන්කන්ස්ටයින්” චිත්‍රපටයේ අමරණීය රාක්ෂයාගේ ප්‍රධාන චරිතය නිරූපණය කළේය. “වදරින් හයිට්ස්” පසුතල නිර්මාණය, ඇඳුම් පැලඳුම්, වේශ නිරූපණය, කැමරාකරණය, පසුබිම් සංගීතය, සංස්කරණය ආදී ආනුෂංගික අංග සියල්ලෙහිම පරිපූර්ණ චිත්‍රපටයක් සේ හැඳීන්විය හැකි චිත්‍රපටයකි.
විටෙක ප්‍රේමය ස්වයං විනාශයක් ලෙස පැමිණීමට ද පිළිවන. චිත්‍රපටය විසින් තර්ක කරන්නේ උමතුව බොහෝ විට ආදරය ලෙස වරදවා වටහා ගන්නා බවයි. කැතරින් සහ හීත්ක්ලිෆ්ගේ සම්බන්ධතාවය ඔවුන් පමණක් නොව ඔවුන් වටා සිටින සියල්ලන්ම විනාශ මුඛයට ඇද දමනා බලවේගයක් බවට පත් කරයි. කාමුක ආශාව විසින් හීත්ක්ලිෆ්ව ද කැතරින් ද විනාශ කරයි. බුදුන් වදාළ කාම මිථ්‍යාචාරයේ විපාක පිළිබඳ ධර්මය පෙරබිමට පැමිණෙයි. ජිවිතය සහ ප්‍රේමය පිළිබඳ බුද්ධිමය කතිකාවතක් සඳහා ප්‍රවේශ කරන “වදරින් හයිට්ස්” සිනමා අනුවර්තනය අනිවාර්යයෙන්ම නැරඹිය යුතු සිනමාකෘතියක් ලෙස ඉහළින්ම නිර්දේශ කළ හැකිය.
මලින්ත විතානගේ



