වසර 62කට පසු විශ්ව රූ රැජන තරගයකදී ශ්‍රී ලාංකික සුන්දරත්වය හා තාරුණ්‍යය ඉහළට ඔසවා තැබීමට විසි තුන් හැවිරිදි ක්‍රිස්ටිනා පීරිස් සමත්වූවාය. කුඩා කලදීම ඇගේ මවත්, මිත්තණියත්, මුත්තණුවනුත් පිළිකා රෝගයෙන් මිය ගොස් තිබේ. අනතුරුව ඇය හැදී වැඩී ඇත්තේ තම පියාත් එකම සොයුරියත් සමඟ ය. බම්බලපිටිය ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයෙන් මූලික අධ්‍යාපනය හැදෑරූ ඈ අනතුරුව පවුලේ සාමාජිකයින් සමඟ අබුඩාබි නුවර කරා සංක්‍රමණය වී තිබේ. 2017 වසරේ විශ්ව රූ රැජින සඳහා අබිසෙන් ලබන මෙරට තරගයේ, එනම් මිස් ශ්‍රී ලංකා තරගයේ කිරුළ පැළඳි ඇය පසුගියදා අමෙරිකාවේ ලාස් වේගාස්හි පැවැති 66 වැනි විශ්ව රූ රැජන තරගයේදී රටවල් 92ක රූ රැජනන් අතරින් අවසන් 16 දෙනාගේ වටය දක්වා සුදුසුකම් ලැබුවාය. 1955 වසරේදී ශ්‍රී ලාංකික මොරීන් හින්ගර්ට් විශ්ව රූ රැජන තරගයේ තෙවැනි ස්ථානයට පත්වීමෙන් පසු ශ්‍රී ලාංකික යුවතියක් එහි අවසන් 16 දෙනා දක්වා පැමිණි පළමු අවස්ථාව ලෙසද මෙය සැලකේ.
පහතින් පළවන්නේ මෙරට මිස් ශ්‍රී ලංකා කිරුළ දිනාගත් මොහොතේදී ඩේලි මිරර් පුවත්පත වෙනුවෙන් ධනූ සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ක්‍රිස්ටිනා පළකළ අදහස් කිහිපයකි.
ඔබ සෑහෙන කාලයක් තිස්සේ පිළිකා රෝහල සමඟ සම්බන්ධවෙලා කටයුතු කරනවා. ඒකට විශේෂ හේතුවක් තියෙනවද?
මගේ පවුලේ කිහිපදෙනෙකුම පිළිකා රෝගයෙන් මිය ගියා. ඒ නිසා මහරගම පිළිකා රෝහලට එන රෝගීන් සමඟත් ඔවුන්ගේ ඥාතීන් සමඟත් කතාකරන්න මම යොමුවුණා. එයාලගේ කතාව අහන්න වුවමනා නිසා මම ඔවුන්ට සමීප වුණා. මගේ විලාසිතා ව්‍යාපාරය ආරම්භයේදීම මට එහි ලාභයෙන් කොටසක් මගේ ජීවිතයටත් සමීප යම් සමාජ සත්කාරයකට යොදවන්න අවශ්‍ය වුණා. ඒ අනුව මම තෝරාගත්තේ පිළිකා රෝහලයි. සෑම වසරකදීම ව්‍යාපාර ලාභයෙන් කොටසක් පිළිකා රෝහලට පරිත්‍යාග කරන්න මම තීරණය කළා. මට එහිදී දැනගන්න ලැබුණේ පිළිකා රෝහලට ප්‍රමාණවත් තරමින් වියළි ආහාර ලැබුණත් ඇතැම් ඖෂධවල අවශ්‍යතාවත් පොඩි ළමුන්ට සෙල්ලම් බඩුවල අවශ්‍යතාවත් තිබෙන බව. ඉතින් මිස් යුනිවර්ස් තරගය අවසන් වෙලා ආවට පසුව නත්තලට කලින් පිළිකා රෝහලට ඖෂධ පිරිනමන්න මම හිතාගෙන ඉන්නවා.
ඔබේ ජීවිතය තුළ ඔබට විශාලම ශක්තිය වුණේ?
මගේ පවුල තමයි. මේ දක්වා මට ලබාදුන් සහයට, ශක්තියට ඔවුන්ට ස්තූතිවන්ත විය යුතුයි. ඒ සහය තමයි ගෙවුණු අවුරුදු ගණනාවක් පුරාවට මගේ ශක්තිය වුණේ. මා ගැන විශ්වාසය තබන පවුලක් හිමිවීම ඇත්තෙන්ම වාසනාවක්.
ඔබේ වැඩ කිරීමේ කලාව ගැනත් කියමු...
ඒක විවිධාකාරයි. මගේ බ්ලොග් එක, ව්‍යාපාරය සහ මිස් යුනිවර්ස් ශ්‍රී ලංකා කියන දේවල් තුන ගත්තම මම ඒවායේ නිරත වෙන්නේ එකිනෙකට වෙනස් විදිහටයි. ඒ වගේ විවිධත්වයක් තිබුණත් ඔබේ අනන්‍යතාවය රැකගනිමින් ඒ සියලු දේ කළ යුතුයි කියන එකයි මගේ හැඟීම. නමුත් වැඩ කරද්දී මා තුළ තියෙන විවිධත්වයන් පිටතට පෙනෙන ආකාරයට විවිධ ක්‍රම සහ විධි යොදාගනිමින් කටයුතු කිරීම ඉතාම වැදගත් දෙයක් විදිහට මම දකිනවා.
ශ්‍රී ලංකාවේ ජනතාව මුහුණ දෙන ප්‍රධානම අභියෝගය කුමක් ද? ඔබේ රෑ රැජන කිරුළත් සමඟින් ඒ සඳහා ඔබට කළ හැකි යමක් තිබෙනවාද?
ශ්‍රී ලංකාව අවුරුදු තිහක යුද්ධයකට මුහුණ දුන් රටක්. ඉතින් පොදු ස්ථානවලට ප්රවේශවීමේදී දුෂ්කරතාවලට ලක්වෙන ජනතාව ගැන මගේ විශාල අවධානයක් තිබෙනවා. උපතින් හෝ ඉන්පසුව හෝ ආබාධ තත්ත්වයට පත්වු ළමුන් වගේම වැඩිහිටියන් කෙරෙහිත් මා තුළ යම් හැඟීමක් තිබෙනවා. ලංකාවේ බොහෝමයක් ගොඩනැගිලි ආබාධවලට ලක්වූවන්ට, රෝදපුටුවලින් ගමන් කරන්නන්ට පහසුවන ආකාරයට නිර්මාණය වෙලා නැහැ. මේ ගැන වැඩි අවධානයක් යොමුකරන්න මම බලාපොරොත්තු වෙනවා.
අද වනවිට ශ්‍රී ලංකාවේ තරුණ පරපුර මුහුණ දෙන ප්‍රධානම ගැටලුව මොකක් කියලද ඔබ හිතන්නෙ?
විවිධත්වය සහ ඒකාකාරී බව. අවුරැදු ගාණක් තිස්සේ ලංකාවේ තරුණ පරම්පරාවට පෙන්වලා තිබුණේ හරිම ඒකාකාරී ප්‍රතිරූපයක්. ඒ නිසා ඔවුන්ට තමන්ගේ හැබෑ හීන ඔස්සේ ගමන් කරමින් ඉදිරියට යන්න බැරිවෙලා තියෙනවා. මවුපියන්ට අවශ්‍ය නෑදෑ පරපුර හෝ සමාජය හෝ පිනවිය හැකි සුදුසුකම් එක්ක ඔවුන් ඉදිරියට යනවා දකින්න පමණයි. බොහෝ තරුණ තරුණියන් තමන් කැමති දේ තුළ නිරත වෙන්න මවුපියන්ගෙන් එල්ල වෙන බාධාව නිසා ගොඩක් අසතුටින් ඉන්නවා කියලයි මට දැනෙන්නෙ.
මේ දක්වා ඔබේ ජීවිතයේ තීරණාත්මකම අවස්ථා මොනවද?
2016 දෙසැම්බර් මාසයේදී මම මගේ බ්ලොග් එක හඳුන්වා දුන්නා. 2017 අප්‍රේල් මාසෙ මගේ ඇඳුම් ව්‍යාපාරය පටන්ගත්තා. ඉන්පස්සෙ 2017 ඔක්තෝබර් මාසේදි මිස් යුනිවර්ස් ශ්‍රී ලංකා 2017 කිරුළ දිනාගත්තා. ඒ අවස්ථාවන් තමයි.
කුඩා කාලයේ ඔබේ ලෝකයේ වීරයා වුණේ කවුද? එම චරිතය හා සමපාත වෙන්න ඔබ කරලා තියෙන දේවල් මොනවද?
එදත් අදත් මගේ ජීවිතයේ වීරයා තමයි අම්මා. ඇය ශක්තිමත්ව, විශ්වාසයෙන් යුතුව, අප්‍රතිහත ධෛර්යයෙන් හා කැපවීමෙන් යුතුව වැඩ කරමින් ලෝකය දිනන අයුරු මා බලාසිටියා. ඒ සියල්ලටමත් වඩා ඇය හරි අපූරු මවක්. පූර්ණකාලීන රැකියාවක් කරන අතරතුර ඇය මාවත් මගේ සහෝදරියවත් රැකබලා ගත්තා. රසවත් ආහාර හදලා දුන්නා. අපේ පාසල් වැඩකටයුතු ගැන සොයා බැලුවා. ඒ සියල්ල කරමින් රැකියාවකුත් කරන්න ඇය කාලය හොයාගත්තේ කොහොමද කියන එක ගැන මට තාම පුදුමයි. ඇගේ හොඳ ලක්ෂණ මම හැකිතාක් මගේ හදවතට සමීප කරගෙන ඉන්නවා. නමුත් මම ඇගෙන් බාගයක් තරම් කියලයි මට හිතෙන්නෙ.
දේශය