රටේ කියවන ජනතාවට ඔබ ආගන්තුකයෙක් නෙවෙයි. විශේෂයෙන් කාව්‍ය ක්ෂේත්රයේදී... මෙයින් බාහිරව ඔබ ඔබව දකින්නෙ කොයි ආකාරයටද?
ඉතාමත් සාමාන්‍ය තරුණයෙක්. අපූරු යමක් නිර්මාණය කරන්න උත්සාහ කරන... එහෙමත් නැත්නම් දැනටමත් නිර්මාණය වී ඇති යමක් තුළින් අපූරුම ලෝකයකට යන්න උත්සාහ කරන මේ මොහොතේ ලාංකේය පොළොවේ ජීවත් වෙන සාමාන්‍ය තරුණයෙක්.
භාෂාව තමයි අපිට තියෙන ප්‍රබලම මාධ්‍යය. ඒකෙදි කවියට තියෙනවා එයටම සුවිශේෂී වූ අනන්‍යතාවක්. මිනිස් සන්තානය අවුළුවන්න පූළුවන් වැඩි හැකියාව තියෙන්නෙ කවියට කියලා මම කීවොත් ඔබ එකඟද?
එකඟයි අනිවාර්යයෙන්ම. සකලවිධ කලාවන්ගෙන් පදනම කවිය කියලා මම විශ්වාස කරනවා. සිනමාව, වේදිකාව, චිත්‍ර කලාව, සංගීතය ආදී සියල්ල ගොඩ නැඟුණේ කවිය මතින්. සමස්ත කලා නිර්මාණ සියල්ලන්ටම වඩා කවිය ප්‍රබලයි.
මුහුණුපොත, කවිය, කවිය සහ එහි භාවිතාව ගෙන මොකක්ද අදහස?
යුගයෙන් යුගයට ලෝකයේ විවිධ ප්රවණතා එනවා. අන්තර්ජාලය නූතනයේ බැහැර කළ නොහැකි ප්‍රවණතාවක්. ඉතිහාසයේ කඩදාසි යුගය නිර්මාණය වෙද්දි ආන්දෝලනයක් ආවා ඒක ලෝකයට බරපතළ විනාශයක් ගේනවා කියලා. නමුත් ඒක සමාජ ප්රගමනයේ විශාල පිම්මක්. මුද්‍රිත මාධ්‍යය ගත්තොත් ඒක ඇතුළේ අපිට නොපෙනෙන දැවැන්ත ශ්‍රම ධාරාවක් තියෙන්නේ. රචනය, සංස්කරණය, සෝදුපත් බැලීම, යතුරුලියනය, පිටකවර නිර්මාණය, ප්රකාශනය ආදී නොයෙක් විදියට. නමුත් අන්තර්ජාලය භාවිත කරන්න අවශ්‍ය වෙන්නේ ඩේටා කාඩ් එකක් විතරයි. ඒකෙදි නිර්මාණය ගැන පසුවිපරමක් කරන්න ක්‍රමවේදයක් නැති එක ඛේදවාචකයක්. බහුතරයක් හොඳ කවි නෙවෙයි. 'වාව්.... ෂා..' කියන මිතුරු ප්‍රතිචාරවලින් කවියක් තීරණය කරන්න බෑ. එහෙව් කවියට පැවැත්මකුත් නෑ. හැබැයි කවිය සාර්ථකයි නම් කොහේ තිබුණත් මතුවෙලා අදාළ පැවැත්ම හදාගන්නවා.
'සෙංකොට්ටං' සහ 'මාණික්කාවත' හරහා කවියට එහා ගිය ඉසව්වකට ඔබ අතගහනවා. වඩා නිදහස් ලිවීම විදියට දැනෙන්නේ කවියද නවකතාවද?
කවිය සංකීර්ණයි. ඒ නිසාම වැඩි ආයාසයක් දරන්න වෙනවා. කවියාගේ ආධ්‍යාත්මය තුළින්ම පැන නඟිමින් ස්නායු පවා කම්පනය කරන හැඟීමක් තමයි කවියක් වෙන්නෙ. ඒක සංක්ෂිප්තව එකලස් කිරීම ලොකු අභ්‍යාසයක්.
නවකතාව කාලයක් තිස්සේ සැලසුම් සහගතව දීර්ඝ සිද්ධි දාමයක් ඔස්සේ නිර්මාණය වෙන එකක්. ඒකෙදි කවියකට වඩා පුළුල් නිදහස් ඉඩක් තියෙනවා.
ඔබේ නවකතා ද්විත්වය පුළුල් සමාජ කියැවුමකට ඉඩ හැදුවා. ඒ ප්රස්තුතයන් දෙකම අතීතයේ එක්තරා මොහොතකින් මතුවෙන්නේ ඇයි?
මම නවකතා ලියන්න, පොත් එළිදක්වන්න හිතාගෙන හිටපු කෙනෙක් නෙවෙයි. නොයෙක් කලා කටයුතු එක්ක ගැටෙද්දි ලියන්න ඕනෙ කියන වුවමනාව මතු වුණා. ළමා කාලයේ ඉඳන් ගැටුණු මම උපන් පරිසරය, ඒ කියන්නෙ සබරගමු පළාත තමයි මේකෙදි ආශ්‍රය කරගත්තේ... මගෙ මුල් තියෙන්නෙ එතන. ඒ ඇත්ත ජීවිතේ අත්දැකපු ප්‍රධාන කාරණා දෙකක් වුණු කුලය සහ ගොවි සංස්කෘතිය මේ කෘති දෙකට ප්රස්තුත කර ගත්තා. ඒ මූලයන් මේ වර්තමානයේදී හොයා ගන්න නැති නිසා අතීතයට යන්න වුණා.
සෙංකොට්ටං කෘතිය හරහා 'පොඩිනෝ' නමින් එළිදක්වන ගීතයට වෙනස් අරමුණක් තියෙනවද?
කලා නිර්මාණ තුළින් අන්තර් කලා නිර්මාණ බිහිවීම ලෝකෙට අලුත් දෙයක් නෙවෙයි. ලංකාවෙත් ඒක එහෙමයි. උදාහරණයක් විදියට 'ගොළු හදවත' හරහා 'නුහුරු නුපුරුදු රහස පිළිබඳ...' ගීතය බිහි වෙනවා. ඒක රසිකයා බොහොම ආදරයෙන් වැලඳගන්නෙ අර කෘතිය කියවලා ඒ අත්වින්ද හැඟීම් ගොන්නත් එක්කමයි.
එක්තරා පුවත්පතකට මා විසින් සතිපතා ලියන්නට යෙදෙන තීරු ලිපියක් හරහා පොඩිනා චරිතය ගොඩනැඟූ විදිය ගැන විස්තරයක් කළා. ඒ වචන දැකලා රනිල් මුදුන්කොටුව ඉල්ලීමක් කළා ඒ ඇසුරෙන් ගීතයක් ලියලා දෙන්න කියලා. ඊටත් වසරකට විතර පසුව රෝහණ වීරසිංහයන් විසින් සංගීතවත් කරනු ලැබූ ගීතය රනිල් ගායනා කරනවා. ලොකු කාලයක් ගතවුණා අපිට රූප රචනයට ගැළපෙන චරිත හොයාගන්න. ඒ වෑයම සාර්ථකයි කියලා දැනෙනවා. ගීතය ජනතාව අතරට ගිය ඉක්මන ගැන හිතද්දී රනිල් තමයි මුල්වුණේ මේ කාර්යයට.
ඉහත ගීතයට හඬ මුසුකරන්නේ දක්ෂ නව පරපුරේ තරුණයෙක්. ඔහුව යොදාගන්න විශේෂ හේතු තිබුණද?
මම කලින් කීවා වගේ රනිල් මුදුන්කොටුව කැමැත්තෙන් හිටියා මගේ අතින් ලියැවුණු ගීතයක් ගායනා කරන්න. මීට කලින් ඔහු ස්වාධීන ලෙස ගීත ගයලා තිබුණෙ නෑ. අදහසක් ගැනීම සඳහා ඔහු ගායනා කළ ගීතයක යම් කොටසක් මම මුලින් ඇහුවා. ඒකෙදි වැටහුණා රනිල්ට පුදුමාකාර විදියට හැකියාවක් තියෙනවා කියලා. ඒ වගේම ඔහු විධිමත්ව සංගීතය හදාරපු සහ තවදුරටත් හදාරමින් ඉන්න කෙනෙක්. ඒ වගේම හොඳ සාහිත්‍යකාමියෙක්.
කවිය වේවා නවකතාව වේවා ඔබේ සමස්ත නිර්මාණ ක්‍රියාවලිය හරහා පාඨකයාව රැගෙන යන්නේ කොතැනටද?
මට ඕනෙ පාඨකයාව නිරන්තරයෙන් මිනිස්සුන්ගෙන් පිරුණු ලෝකයකට අරන් යන්න. මේ අපි පසු කරන්නේ බොහොම සංකීර්ණ වූත් මිනිසාට මිනිසා අහිමි කරන්නා වූත් යුගයක්. මගේ සියලුම නිර්මාණ හරහා නූතන මිනිසා නැවත වටයකින් මිනිසා වෙතටම රැගෙන යෑමට කැමැතියි.
ඔබට බොහෝ සෙයින් ආදරේ කරන ඔබව ගුරුකොට ගන්නා ටඡ කවියන් වෙත දීමට යම් පණිවුඩයක් තියෙනවද?
අවවාදයක් නෙවෙයි අදහසක් ප්‍රකාශ කරන්නම්. ෆේස්බුක් ජාලය කියන්නෙ වර්මානයේ තියෙන වේගවත්ම නිදහස් මාධ්‍යය. ඩේටා තියෙනවා නම් ඕනෙ කෙනකුට කවියෙක් වෙන්න පුළුවන්. එහෙත් තමන්ගේ ලිඛිත අදහසක් සමාජයට මුදාහරිද්දී දහස් වරක් සිතා බැලිය යුතු බවයි මම විශ්වාස කරන්නේ. ඒක වචනයක්ද දෙකක්ද කියන එක නෙවෙයි වැදගත්. ලියන දේ විසින් තමාට තමන්ව කම්පනය කරන්න පුළුවන් නම් එතැනදි ගැටලුවක් නෑ.
මොකක්ද ඊළඟ පිම්ම?
කවියක්ද?... නවකතාවක්ද?.. එහෙමත් නැතිනම් අපි නොසිතනා අලුත්ම මානයක්ද?
සාමාන්‍යයෙන් මම ලිවීම සඳහා සැලකිය යුතු කාලයක් ගන්නවා. ඒක අවුරුදු ගණනාවක්. ඉස්සරහට අදහසක් තියෙනවා නැවත නවකතාවකට යන්න. බොහෝවිට ප්‍රේමය මුල් කොටගත් එකක්. කවි ටිකකුත් තියෙනවා නැවත බලමින් සකස් කරමින් ඉන්න. මම හිතන්නෙ මුලින්ම නවකතාව ලියවේවි.
මව්බිම