චෙකොස්ලෝවැකියාවේදී උපත ලැබුවද මිලාන් කුන්දෙරා සැලකෙන්නේ ප්රංස ලේඛකයකු වශයෙනි. උපන් බිමෙන් පිටුවහල්ව ප්‍රංසයේ පුරවැසි බවද ලබා එහි ජීවත්වීම හැරුණුවිට ඔහු විසින් ම තමා ප්‍රංශ ලේඛකයකු ලෙස හඳුන්වාදීම ඊට හේතුවය. තම නිර්මාණ ප්රංස සාහිත්‍ය යටතේ හැදෑරිය යුතු බවද පොත්හල්වල තම කෘති වර්ගීකරණය කළ යුත්තේ ද ඒ යටතේම බවද ඔහු අවධාරණය කර තිබේ. එමෙන්ම තම කෘතීන් තමා විසින් ම මිස අන් කවුරුන් හෝ විසින් තම මව් බස වන චෙක් බසට පරිවර්තනය නොකළ යුතු බවද ඔහුගේ කොන්දේසියකි. එබැවින් ඔහුගේ මුල් කෘති ලෙස පාඨකයාට කියැවීමට සිදුව ඇත්තේ අන් බසකින් පළවූ කෘති ය. මිලාන් ගේ පියා ප්‍රකට චෙක් සංගීතඥයෙක් විය. ඔහු දශකයකටත් වැඩි කලක් Janacek සංගීත ඇකඩමියේ ප්‍රධානියා ලෙස ද කටයුතු කළේය. කුඩා කල පටන් ම සිය පියාගෙන් පියානෝ වාදනය උගත් මිලාන් තරුණ වියේදී සංගීතය ගැඹුරින් හැදෑරීය. ලේඛකයකු ලෙස ඔහුගේ නිර්මාණ ජීවිතය පුරාම සංගීතයේ බලපෑම හඳුනාගත හැකිය.
ලේඛකයකු වීමට අමතරව කලක් කම්කරුවකු ලෙස ද ජෑස් සංගීතඥයකු සහ විශ්ව සාහිත්‍ය පිළිබඳ මහාචාර්යවරයකු ලෙස ද මිලාන් කටයුතු කර තිබේ. කොමියුනිස්ට් පක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකයකුව කලක් කටයුතු කළ ඔහු දෙවතාවකදී ම පක්ෂයෙන් නෙරපා හැරීමට ලක්ව ඇත. කොමියුනිස්ට් පාලන සමයේදී ඔහුගේ කෘතීන් චෙකොස්ලෝවැකියාවේ ප්‍රකාශයට පත් කිරීම තහනම් කෙරිණි.
පැරීසියේ, මිලාන් ජීවත් වූ මහල් නිවාසයේ ලේඛන කටයුතු කිරීම සඳහා වූයේ ද කුඩා කාමරයකි. එහෙත්, එය දර්ශනය, සංගීතය වැනි නොයෙක් පොත්වලින් පිරී තිබුණි. පැරැණි යතුරුලියනක් ද මේසය මත විය. ඔහු සමඟ සම්මුඛ සාකච්ඡාවක් සිදු කළ ‘පැරිස් රිවිව්’ සඟරාවේ මාධ්‍යවේදියා සඳහන් කර තිබුණේ එය ලෝ පතළ ලේඛකයකුගේ ලියන කාමරයට වඩා පාසල් ශිෂ්‍යයකුගේ කාමරයක් මෙන් දිස්වූ බවය. මේ කාමරයේ බිත්තිවල ඡායාරූප 2 ක් ද එල්ලී තිබිණි. එකක් ඔහුගේ සංගීතඥ පියාගේ ය. අනෙක ඔහු බෙහෙවින් ඇලුම් කළ චෙක් සංගීතඥ ලියෝ ජනාසෙක්ගේ ය.
මිලාන් සිය බිරිය ද සමඟ පැරීසියට සංක්‍රමණය වනවිට රැගෙන ආ එකම වස්තුව පොතපත් තොගයකි. ඒ අතර තිබූ ජෝන් අප්ඩයික් ගේ The Centaur කෘතිය තමාට ගැඹුරින් දැනුණු බව වරෙක ඔහු පවසා තිබේ. ඔහු සිහින දකින්නට ප්‍රිය කළ බව ද පෙනෙන්නට තිබිණ. “මා ඒවා විග්රහ කරන්නට යන්නේ නෑ, මා කරන්නේ ඒවා කතා බවට පත්කිරීම පමණයි...” යනුවෙන් ඔහු කියා සිටියේ සිහින සිය නිර්මාණවලට උල්පතක් වූ අන්දම පිළිබඳවය. සාහිත්‍ය පිළිබඳ පළවූ සඟරා කිහිපයක සංස්කාරක වශයෙන් ද මිලාන් කුන්දෙරා කටයුතු කර තිබේ. කෙටිකතා එකතුවක් මෙන් ම පද්‍ය එකතුවක් ද ඔහුගේ නිර්මාණ අතර වේ. කෙසේ වුවද ඔහු ලෝ පතළ වූයේ නවකතාකරුවකු වශයෙනි. ඉහළම අලෙවි වාර්තා තැබූ ඔහුගේ කෘතිය වූයේ The Unbearable Lightness of Being ය. ඔහුගේ කෘතීන්වලට රොබට් මසිල්ගේ ප්‍රබන්ධ සේම නීට්ෂේගේ දර්ශනය පිළිබඳ ඉගැන්වීම් විශාල ලෙස ආභාසයක් විණි. දෙවන ලෝක සංග්‍රාමය ඇරැඹෙන විට ඔහු යෞවනයෙකි. ඔහුගේ දේශපාලන දැක්ම ගොඩනැඟුණේ යුද්ධයේ එම අමිහිරි අත්දැකීම් ද සමඟයි.
2008 වසරේ දී චෙක් සඟරාවක පළවූ වාර්තාවකින් කියවෙන්නේ 1950 දී, එනම් මිලාන් පක්ෂය හැරගොස් සිටි සමයේ බටහිර බුද්දි නිලධාරියකු ලෙස වටහාගැනීම හේතු කොටගෙන 14 වසරක් සිරභාරයේ සිටි බවයි. කෙසේ වුවද මේ වාර්තාව ඔහු ප්‍රතික්ෂේප කර තිබිණි.
සිය මුල්කාලීන කෘතිවලින් දේශපාලනය ගැන තිබූ උනන්දුව පළ කළ ද පසු කාලීනව ඔහු වඩාත් නැඹුරු වූයේ දර්ශනය දෙසයි. සිය නිර්මාණ ඔස්සේ මානවීය සම්බන්ධතා ගැඹුරින් විශ්ලේෂණය කිරීමට ඔහු ප්රයත්න දරා තිබේ.
වරෙක සිය ප්‍රබන්ධ කලාවේ මූලිකාංග පිළිබඳ හඳුන්වා දෙමින් මිලාන් කුන්දෙරා ප්‍රකාශ කළේ, උපහාසාත්මක රචනාවක් වීම, නවකතාමය වෘත්තාන්තයක් වීම, ස්වයං අපදානමය ලක්ෂණ, ඓතිහාසික සාධක, මායාමය උත්කර්ෂයයි. ඇතැම් විචාරකයන් ඔහු හඳුන්වා දුන්නේ දාර්ශනික නවකතාකරුවා වශයෙනි.
මිලාන් කුන්දෙරාගේ නම අවස්ථා කිහිපයකදී ම නොබෙල් සාහිත්‍ය ත්‍යාගයට නිර්දේශ විය. ජෙරුසෙලම් ත්‍යාගයෙන්, ඔස්ට්‍රියානු රාජ්‍ය ත්‍යාගයෙන්, චෙච් ජනරජයේ සාහිත්‍ය ත්‍යාගයෙන් සහ ඕවිඩ් ත්‍යාගයෙන් ඔහු පිදුම් ලබා තිබේ. 1980 ගණන්වලදී ඔහු ලෝ පතළ වූයේ අතිශයින් විවාදාපන්න, වඩාත් විචිත්‍රවත්, බෙහෙවින් ප්‍රශංසාවට භාජන වූ ලේඛකයා වශයෙනි.
ධම්මික සෙනෙවිරත්න