ගැහැණියකගේ සිරුරෙහි වැදගත්ම ඉන්ද්රිය, අවයවය හෝ අංගය පිළිබඳව ශත වර්ෂ ගණනාවක් තිස්සේ පිරිමින්ගේ යටි සිත් උනන්දු විය. ඒ බව දැන ගත් දා පටන් ගැහැණියද තම සිරුරේ විවිධ අඟ පසඟ පිළිබඳව පෙරට වඩා උනන්දුවක් දක්වන්නට විය.
ඇඳුම් ඇඳීමේදී නිරාවරණය කර හෝ යාන්තමින් පෙනෙන්නට සළස්වා ඔවුන් පිරිමි හද ගැස්ම වැඩි කිරීමේ මාර්කටිං උපක්‍රම අනුගමනය කළෝය. දෑසේ අංජන ද ඇහි බැම හැඩතලද, දෙතොල දෙකොපුල වර්ණද, දෙකලවා පෙන්වන ගවුම්ද , දඟ යුග විවර වන්නට පලා ගත් දිග සායද තම අඟ පසග වල සුන්දරත්වය ප්‍රදර්ශනය කරන්නට යොදා ගත්තීය.
සාරි හැට්ට අඳින ආසියාතික ගැහැණිය නිතඹ වටා තද කර පටලවන සාරියෙන් පිරිමි ඇස් වලට ඉඟි මැරූ අතර හැට්ටය සහ ඉඟ අතර පරතරය ඇති නැති පරතරය සේ පුළුල් වන්නට ඉඩ හැරියාය. මව් කුසේ දී හුස්ම ගෙන අත හළ නාභිය කරාබුවක් පළඳා සරසා යළි සේවා නියුක්ත කළාය. අතීතයේදී දෙපියොයුරු බෙදෙන තැන යාන්තම් පෙන්වූ හැට්ටයේ කර පළල් කරමින්ද, අත ගැඹුරට කපමින්ද සාහසික ලෙස පරිණාමය වූවාය.
වික්ටෝරියානු යුගයේ බොස්තරොක්ක හැඳ, ළමැද එළියට පනින්නට ඔන්න මෙන්න ලෙස පුම්බා ඒ දෙස කෙළ හලන පිරිමි ඇස් දැක නොරිස්සුම් මුහුණු පෙන්වා යටි සිතින් ආඩම්බර වූවාය. වේදිකාවේ තිරය වැනි සාරි පොට ඉහළට ඇද ළමැද වසා ගන්නටත්, කුළු ගැන්විය යුතු පිරිමියෙක් හමුවේ සාරි පොට පහළට ඇද ළමැද අහම්බෙන් මෙන් පෙනෙන්නට සැළැස්වීමටත් තරම් ඇය හුරු බුහුටි විය.
කණට නහයට තොලට දිවට මූකූත්ති , කඩුක්කන්, කරාබු පළඳා, ඉණට හවඩි බැඳ, අතට වළළුද, පයට සළඹද, ගෙළට මාළද, අත් පා ඇඟිලි වලට මුදුද, දමා ඒ ඒ අංග පසඟ වලට ආකර්ෂණය ලබා ගත්තාය. කීකරු පිරිමි දෑස් වැඩිපුර ගැවසෙන ස්ථානවල පච්ච කොටා ගත්තාය .
මේ සියල්ල දෙස බැලීමේදී ගැහැණියකගේ වටිනාම අංගය වීම සඳහා ලමැද, දෙතොල, නිතඹ, කලවා, දෑස, දෙකන්, දෙතොල් අතර දැඩි තරඟයක් හට ගනී. එහෙත් සැබවින්ම ගැහැණියකගේ සිරුරේ අගනාම තැන කුමක්ද?
ජීවිතය තිත්ත වූ මිනිසෙකුට ජීවය ලබාදෙන, මාතෘත්වයේ මහිමය කියාදෙන, තැනක් ඇගේ සිරුරේ තිබේ. ලෝකයේ කිසිදු තැනකින් දයාර්ද වදනක් හිමි නොවූ හදවතකට ආරක්ෂිත නවාතැනක් ඇගේ සිරුරේ තිබේ. එතැන හිස තබා උඩු බැළි අතට ලෝකය දෙස බැලූ විට මෙතෙක් නොදුටු හැඩයකින් ලෝකය පෙනෙන්නට පටන් ගනී .
එතැන කරුණාවද, ආදරයද, දුර්වල වූ පිරිමියෙකු බල ගන්වන ශක්තිය හා ජීවයද උතුරන මහා පුදුම තැනකි. බොහෝ ගැහැණු තමන් සතු ඒ උත්තුංග ශරීරාංගයේ සැබෑ අර්ථය නොහඳුනති.
ඈ පිරිමින්ට වඩා ශ්‍රේෂ්ඨ වන්නේ වැටුණු මිනිසෙකු නැගිටවන්නට හා පරාජය වූ පිරිමියෙකු ජයග්‍රහණය වෙත රැගෙන යන්නට ඇයට පමණක් ඇති අසම සම ශක්තිය තේරුම් ගත් විට පමණි. ආදරණීය ගැහැණියකගේ "උරහිස" තරම් වටිනා, ස්නේහයේ උණුසුම දැනෙන ඉසව්වක් මේ විශ්වයේ නැත. හර්දයංගම පිරිමියෙකු සොයන්නේ එවැනි උරහිසකි. එවැනි උරහිසක සිට අනෙක් අඟපසඟ වලට වැඩි දුරක් නැති බව වෙනම කථාවකි.
-උපුටා ගැනීම
නාරද විජයසූරිය
කණ පැලෙන්න සුරාමේරය ” අනුමෝදන් ” කර ගත් අම්පාරේ ” සිංහල බෞද්ධයා ” මැදියම් රැයත් පසුවී ” තම්බියාගේ ” කඩයට ගොඩවී ඇත්තේ හරක් මස් කොත්තු රොටියක් වැලඳීමටය. කොත්තු රොටියට දමා තිබූ මස් හොද්දේ මොකක්දෝ කෑල්ලක් ” වඳ පෙත්තක් ” ලෙස දැකීමට තරම් සිහි නුවණකින් සිටි එම ” බෞද්ධ උපාසක තැන ” සිදු කළ පුණ්‍ය කර්මය නිමා වුණේ වෙළඳසැල් දෙකක් සහ මුස්ලිම් දේවස්ථානයකට ද අලාභ හානි කිරීමෙන් අනතුරුවය.
මේ සිද්ධියෙන් පසුව ” මුහුණු පොත ” ඇතුළු සමාජ ජාලා වෙබ් අඩවි වල අරක්ගත් ” තම්බි ” මැරීමට පෙරමුණගත් ” සිංහල බෞද්ධයෝ ” හරි හරියට තමන්ගේ ජාතික සටනේ නිරත වන අයුරු පෙනිණ.
වඳ කිරීම සම්බන්ධයෙන් ඇති විද්‍යාත්මක කාරණා පැහැදිලි කරමින්, වඳ කිරීම පිලිබඳ ” සිංහල බෞද්ධයන්ගේ ” මෝඩ චූං තියරියට ප්‍රහාර එල්ල කළ පිරිසක් ද සමාජ ජාලා වෙබ් අඩවි වල සැරි සරන අයුරු දකින්නට තිබුණි.
මීට අමතරව අම්පාර සිද්ධියෙන් පසුව සමාජ ජාලා වෙබ් අඩවි වල මත පල කළ බහුතරය, අම්පාරේ සිටින සිංහල මිනිසුන්ගේ හැසිරීම හෙළා දකිමින් විවිධ දෑ කියන්නට විය.
රෑ දෙගොඩ හරියේ ඔල්මොරොන්දන් වෙන්න බී ගෙන මස් කොත්තු රොටි කන්න ආ අම්පාරේ ” සිංහල බෞද්ධයාට ” ඊට පහුවෙනිදා එළිවෙන කොට ඒ පලාතේ කඩ දෙකකට හා මුස්ලිම් දේවස්ථානයකට අලාභ හානි කර අවසන් කිරීමට තරම් සිංහල ජනතාවක් ක්ෂණිකව සංවිධානය කර ගැනීමට තිබූ හයිය මොකක් දැයි , මේ දක්වාම කවුරුත් මතු කර තිබුණු බවක් දැන ගන්නට නොතිබිණි.
මේ සටහන එකී කාරණය මතු කර ගැනීමට දරන යම් උත්සාහයක් පමණි.
වඳ බෙහෙත් කියා දෙයක් ලෝකයේ තවමත් සොයා ගෙන නැත. එහෙත් දරු උපත් පාලනය කිරීමට හා ගබ්සා කිරීමට යොදා ගන්නා බෙහෙත් වර්ග බොහෝමයක් ඇත.
ලංකාවට ගෙන ඒමට තහනම් කොට ඇති බෙහෙත් වර්ග විශාල ප්‍රමාණයක් නිතිපතා ලංකාවට ගෙන එන බව බලධාරීන්, නිලධාරීන් මෙන්ම බහුතරයක් වූ රට වැසියන්ද දන්නා කරුණකි.
නීති විරෝධී මෙම බෙහෙත් ද්‍රව්‍ය ජාවාරම සිදු කරන බලවත්ම පිරිස වන්නේ මුස්ලිම් ජාතිකයන් බව කිසිවෙකුට වසන් කළ නොහැකි කරුණකි. කොළඹ පමණක් කේන්ද්‍ර කොට පවත්වාගෙන යන ගබ්සා මධ්‍යස්ථාන ප්‍රමාණය අති විශාලය. බොරැල්ල ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ බාලිකා පාසලක් ආසන්නයේ එක් ගබ්සා මධ්‍යස්ථානයක් ඇති බව නොදන්නා කෙනෙක් නොමැත.
අග නගරයට පමණක් සීමා නොවුණු ගබ්සා මධ්‍යස්ථාන දිවයින පුරාම විසිරී පවතී. මේ ගබ්සා මධ්‍යස්ථාන පවත්වා ගෙන යන්නේත්, ඒවායේ සේවය කරන්නේත් සියයට සියයක්ම පාහේ සිංහල බෞද්ධ වෛද්‍යවරුය. මේ ස්ථාන වලින් සේවය ලබා ගැනීමට පැමිණෙන පිරිස ද සියයට සියයක්ම පාහේ සිංහල බෞද්ධයෝය. මෙවැනි ස්ථානවල දිනකට මරා දමන ඉපදීමට සිටින දරුවන් ප්‍රමාණය අති විශාලය.
ගබ්සා කිරීමට යොදා ගන්නා නීති විරෝධී බෙහෙත් වර්ග, වැඩිපුරම රැගෙන එන්නේ ඉංදියාවේ පූනී වල සිටය. මෙවා රැගෙන එන මුස්ලිම් ජාවාරම්කරුවන්ට අවශ්‍ය ආගමන විගමන සේවා පහසුකම් හා රැකවරණය ලබා දෙන්නේ සිංහල බෞද්ධ නිලධාරීන්ය. මෙසේ ගෙන එනු ලබන ගබ්සා කිරීම සඳහා වූ නීති විරෝධී බෙහෙත් වර්ග මිල දී ගන්නේ බහුතරයක් වූ සිංහල වෛද්‍යවරු ය. සත්‍ය නම් ප්‍රධාන පෙලේ සුප්‍රසිද්ධ රෝහල් පවා මෙම නීති විරෝධී බෙහෙත් වර්ග මිලයට ගන්නා බවය. ඇපලෝ රෝහල ද ජාවාරම්කාර මුස්ලිම් බෙහෙත් වෙලෙන්ඳන්ගේ හොඳ ගණු දෙනු කරුවෙකු බවට ප්‍රචලිතය.
ඉහතින් දැක්වූයේ ජාවාරම්කාර මුස්ලිම් මාෆියාවේ ඖෂධ ජාවාරමේ අංශු මාත්‍රයක් පමණය. වැට් වංචා, මත් කුඩු ගෙන්වීම හා බෙදා හැරීම සහ කොන්ත්‍රාත් පදනමේ ඝාතන ආදී බොහෝ කාරණා පිලිබඳව අක් මුල් සොයා යන්නෙකුට අවසානයේ එහි සිටින මුස්ලිම් ජාවාරම්කාරයා සොයා ගැනීම අපහසු නොවනු ඇත.
දශක දෙකකට පමණ එපිට එක් උදෑසනක සිදු වූ රේගු නිලධාරී අමරපාල ඝාතනය පිටුපස සිටියේ ද ජාවාරම්කාර මුස්ලිම් මාෆියාවය. අවසාන වශයෙන් මෑතක දී සොයාගත් ස. තො. ස. කුඩු කන්ටේනරය පිටුපස සිටින්නේ ද ජාවාරම්කාර මුස්ලිම් මාෆියාව බව සැක නැත.
ස. තො. ස. සීනි ගෙනා කන්ටේනරයක කුඩු තිබී අත් අඩංගුවට ගත් බව දැන් කාටවත් මතක නැත. කුඩු ආවේ කෙසේ ද? ගෙන්නුවේ කෙසේ ද? ඊට වගකිව යුත්තේ කවුරුන් ද? ඊට එරෙහිව ගත් නීතිමය පියවර කුමක් ද? දැන් කවුරුත් විමසන්නේ නැත. මේ වන විට ඒ සියල්ල යටපත් වී ඇත.
පසු ගිය ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය දී. මූ. ජයරත්නගේ ලිපි ශීර්ෂ භාවිතා කොට කුඩු කන්ටේනර් නිදහස් වුණු හැටි දැන්නම් කොහෙත්ම මතක නැත.
හිටපු ඇමැතිවරයෙකු වූ නිමල් ලංසා ගේ නිවසෙහි කුඩු ඇති බවට විශේෂ කාර්ය බලකායට ලැබුණු ඔත්තුවක් මත නිවස වටලන්නට යෑමේ දී හිටපු ජනාධිපති හදිසියේම නිමල් ලංසා ගේ නිවසට සැපත්වුණු බව දැන් කාටවත් මතක නැත. ඒ නිසා අමාත්‍ය රිෂාද් ටද ගැටළුවක් නැත.
සමස්ථ මුස්ලිම් ප්‍රජාව ගත්විට මෙවැනි ජාවාරම් වල යෙදෙන්නේ ඉතාමත් සුළු කොටසක් ය. ඒ උදවියට මේ රටේ ආණ්ඩු කළ , ආණ්ඩු කරන හා ආණ්ඩු කිරීමට සූදානමින් සිටින කිසිවෙකු ගෙන්වත් කිසිදු බාධාවක් සිදු වී නැතුවා මෙන්ම, අනාගතයේ දී ද කිසිදු බාධාවක් සිදුවන්නේ ද නැත.
එහෙත් මේ රටේ සිටින සාමාන්‍ය මුස්ලිම් ජනයාටත්, සාධාරණ ලෙස වෙළෙඳ ව්‍යාපාර කර ගෙන දියුණු වෙමින් සිටින පිරිසටත්, එරෙහිව සිංහල බෞද්ධයෝ අවි අමෝරා ගෙන ඔවුන් නැසීමට දත කමින් සිටිති. සිංහල බෞද්ධයන් වඳ කිරීමට තන පට ඇතුලට ජෙල් දමා ඇති බව කියමින් රෙදි කඩ ගිණිබත් කිරීමටත්, කොත්තු රොටියට වඳ පෙති දමා ඇතැයි කියමින් කුඩා වෙලෙඳ ව්‍යාපාර හා පූජනීය ස්ථාන විනාශ කිරීමටත් ඉදිරියට එන එක ” සිංහල බෞද්ධයෙක්වත්” දේශපාලකයන්ගේ සහ දූෂිත නිලධාරීන්ගේ ආශිර්වාදයෙන් රටත්, සමස්ථ ශ්‍රී ලාංකීය ජාතියත් විනාශ කරමින් සිටින මෙකී ජාවාරම්කාර මුසල්මානුවන්ට හෝ ඊට අනුබල දෙන දේශපාලකයන්ට හෝ එරෙහිව එකදු වචනයක් හෝ නොකියති.
රටත්, ජාතියත්, සිංහල බෞද්ධකමත් ආරක්ෂා කර ගන්නට නම්, රෙදි කඩ අස්සේ රිංගා ගැහැණු අඳින තන පටි මිරික මිරිකා නොසිට, බල තන්හාවෙන් හා මඩි තර කර ගැනීම වෙනුවෙන් ජාවාරම්කරුවන් ආරක්ෂා කරන දේශපාලකයන්ගේ හා නිලධාරීන්ගේ කොඳු ඇට, බෙලි ඇට සහ වෙනත් කුමණ හෝ ඇති ඇටයක් මිරිකීමට සිංහල බෞද්ධයෝ පෙරට ආ යුතුය. එසේ නොකරන තාක් රටක් හෝ කුමන ජාතියක් හෝ කුමන ආගමක් හෝ ආරක්ෂා නොවනු ඇත.
මේ කාරණයේ දී වඩාත්ම වැදගත් වන්නේ මෙකී මුස්ලිම් ජාවාරම්කරුවන්ට එරෙහිව මුස්ලිම් සමාජය තුලින්ම හඬක් අවදි කර ගැනීමය. මේ සඳහා ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත්වීමට තරම් ශක්තියක් ඇති මුසල්මානුවන් සොයා ගැනීම එතරම් අපහසු නැත. එහෙත් මෙම කාර්යය රෙදි කඩ ගිණි තබන, හෝටල් ගිණි තබන හෝ මුස්ලිම් දේවස්ථාන ගිණි තබන සිංහල බෞද්ධ බලවේගයකට කිසිදා කළ නොහැක.
එය කළ හැක්කේ සිංහල මුස්ලිම් සමගිය අවංකවම අගයන, ඒ වෙනුවෙන් නොබියව පෙනී සිටිය හැකි සිංහල බෞද්ධ ව්‍යාපාරයකටම පමණි. තම උපාය උපක්‍රම හා මෙතෙක් ක්‍රියාත්මක කළ ක්‍රමවේදය අත්හැර දැමිය හැකි නම් ඊට සුදුසුම බලවේගය “බොදු බල සේනාව ” ය. කවුරු කැමති වුවත් නැතත් පිලිගත යුතු යථාර්තය එය ය.
උපුටා ගැනීම
නාරද විජයසූරිය