මාවල් කොමික්ස්ගේ නොනවතින වෛරීය පළිගැනීම යළි තිරය ගිනි අවුලන්නට පටන් ගෙන ඇත. ඒ තිරගත වීමට ද කලින් අමෙරිකානු සුපිරි වීර සිනමා පටයක් වන ‘අවෙන්ජර්ස් : ඉන්ෆිනිට් වෝ’ (Avengers: Infinity war) මාවල් ප්‍රහසන සුපිරි වීර සිනමා පටය ජගත් පුර්ව දර්ශනය තිරගත කිරීමට නියමිතව තිබෙන්නේ ලොස් ඇන්ජලීස් හී ලබන (අප්‍රේල්) 23 වැනි දිනටයි.
එය 2012 මාවල් ප්‍රහසන කණ්ඩායමේම 2012 තිරගත වූ මාවල්ස් ද ඇවෙන්ජර්ස් හා 2015 තිරගත වූ ඇවෙන්ජර්ස්: ඒජ් ඔෆ් අල්ට්‍රොන් සිනමා මාලාවේ නවතම නිර්මාණයයි.
මාවල් හාස්‍යෝත්පාදක පොත් මාලාව ජීවමාන කරන ප්‍රබන්ධ චරිතයක් වන තානෝස් ‘ද ඇවෙන්ජර්ස්’ කතා මාලා පුරාම තිරය පුරා රජයන කළු චරිතයකි. සෙනසුරු ග්‍රහයාගේ චන්ද්‍රයකු වු ටයිටෑන්හි උපන් තානොස් උපතින්ම සුපිරි මානව ජානයකට උරුමකම් කියයි. විකෘති බාහිර ස්වරූපය නිසා මව උපත ලැබු වහාම තානෝස් මරා දැමීමට ද උත්සාහ කර තිබේ. කුඩා වියේදී ඔහු සෙල්ලම් කළේ ඊරෝස් සහෝදරයා සමඟ හා සුරතල් සතුන් සමඟ පමණි. එහෙත් ගැටවර වියට පත්වෙන විට ඔහු කළු චරිතයක් හෙවත් විනාශකාරී චරිතයක් බවට පත්විය. අසීමිත කායික ශක්තිය හා සුපිරි විද්‍යා දැනුම නිසා මුහුදු මංකොල්ල කරුවකු බවට පත්වේ. තානෝස් මෙවර පෘථිවියට පැමිණෙන්නේ අනන්තයේ පාෂාණ අයෝමය අත්වැස්මට එක් රැස්කර ගැනීමටය. එයින් ඔහුට සිය අරමුණු යථාර්ථයක් බවට පත් කරගත හැකිවේ.
කුරිරු තානෝස්ට එරෙහිව රොද බඳින්නේ ඇවෙන්ජර්ස්ලාය. එය සුපිරි වීර චරිත පෙළක්වන අතර පෘථීවි තලයේ බලවත්ම වීර නාම ලේඛනයම එහි අන්තර්ගතය. ඒ අතර මුළු ලොවම ආදරය කරන චරිත වන ඈන්ට් - මෑන්, හල්ක්, අයන් මෑන්, තෝර් හා වාස්ප් ද සිටිති. ඇවෙන්ජර්වරු අභ්‍යවකාශ චාරිකා වීරයන් වන ගාඩියන්ස් ඔෆ් ද ගැලක්සි ද එක් කරගෙන තානෝස්ට එරෙහිව කරන සටන ජය ගන්නේ කෙසේද ? තානෝස් විශ්වය විනාශ කර ආත්මාර්ථකාමී අභිලාෂයන් මුඳුන්පත් කර ගැනීමට කරන සටන ප්‍රේක්ෂකයන්ගේ රෝම උද්දීපනය කරන සටනක් වන බව නම් ඒකාන්තය. අප්‍රේල් පාසල් නිවාඩුවට ආදරණීය සුපිරි වීර චරිත සියල්ලම එකතුවන ‘ඇවෙන්ජර්ස්: ඉන්ෆිනිටි වෝ’ පොඩිත්තන්ට දෑස් දල්වාගෙන බලා සිටීමට හැකි සිනමා පටයකි.
2014 දී ‘ඇවෙන්ජර්ස්: ඒජ් ඔෆ් අල්ට්‍රෝන්’ රූගත කරද්දීම මාවල් ස්ටුඩියෝස් විසින් 2018 දී ‘ඇවෙන්ජර්ස්: ඉන්ෆිනිටි වෝ” පළමු වැන්නත් 2019 දී එහි දෙවැන්නත් තිරගත වන සුබ ආරංචිය ලොවට රැගෙන ආවේය.
මාවල් ස්ටුඩියෝ අනුව මේ සිනමා පටයේ ප්‍රධාන චරිත හැට හතරකි. චිත්‍රපටය මෙන්ම ඒ හා බැඳී රසවත් සිදුවීම් රාශියක් තිබේ. ස්පයිඩර් - මෑන් : හෝම්කමිං (2017) සිනමා පටයේ වීර ස්පයිඩර් ඇවෙන්ජර්ස් මෑන්, තෝමස් ස්ටැන්ලි හෝලන්ඩ්ට පිටපත කියවීමට අවස්ථාවක් දී නැත. නව ස්පයිඩර් මෑන් තමන්ගෙන් සැඟවූ රහස් සියල්ල දැනගෙන ඇත්තේ දර්ශන තලයට පිවිසි පසුය. වොල්වරීන් සිනමාපට මාලාවේ වොල්වරීන් ලෙස ජනප්‍රිය වුණු හියු ජැක්මන් ඇවෙන්ජර්ස් සිනමා පට මාලාවට සම්බන්ධ වීමට කැමැත්තෙන් සිටිය ද 2017 දෙසැම්බර් මාසයේ කියා සිටියේ ඔහුට නව සිනමා පටයේ වොල්වරින් චරිතය නැවත නොලැබුණු බවත් වෙනත් අයකු එම චරිතය නිරූපණය කරනු දක්නට කැමැති බවත් ය.
ඇවෙන්ජර්ස් සිනමා පට මාලාවට ගාඩියන්ස් ඔෆ් ද ගැලක්සි එක් වන්නේ ප්‍රථම වතාවටය. රොබට් ඩව්නි, (කනිෂ්ඨ) හා ක්‍රිස් එවන්ස් අයන් මෑන් හා කැප්ටන් අමෙරිකා ලෙස එම චරිතවලට පණ දෙන්නේ නව වැනි වරටයි. ඒ අනුව ඔවුන් එකම සුපිරි වීර චරිතයට නව වැනි වරටත් පණ දීමේ හියු රුක්මන්ගේ වාර්ථාව සම කරන්නේය. තෝර්, හල්ක්, ස්ටීව් රොජර්ස්, බ්ලැක් විඩෝ, ස්ටෙෆන් ස්ට්‍රේන්ජ්, වෝ මැෂින්, බ්ලැක් පැන්තර්, විෂන්, ස්කාලට් විච්, ෆෝල්කන්, වයිට් වුල්ෆ්, ලොකී , වොං, මැන්ටිස්, නෙබියුලා ආදී සුපුරුදු සුපිරි චරිත රැසක් සිනමා පටයෙන් ප්‍රේක්ෂකයන් හමුවට එති. අවතාර් සිනමා පටයේ නේතිරී, ගාඩියන්ස් ඔෆ් ගැලැක්සි සිනමා පටයේ ගැමෝරා හෙවත් සූ සැල්ඩානා මේ වසරේ ඉන්ෆිනිටි වෝ සිනමා පටයේ මෙන්ම 2019 දී තිරගතවන දෙවැන්නේද රඟන්නීය.
2017 දෙසැම්බරයේදී ෆැන්ඩන්ගෝ සමීක්ෂණයෙන් හෙළි වුණේ ඉන්ෆිනිටි වෝ 2018 වසරේ ලොකුම බලාපොරොත්තුව ලෙසය. බොක්ස් ඔෆිස් අනාවැකිවලට අනුව තිරගතවන පළමු සති අන්තයේ (සෙනසුරාදා, ඉරිදා) අමෙරිකාවෙන් හා කැනඩාවෙන් පමණක් ඩොලර් මිලියන 490 – 590 ක ආදායමක් ලබනු ඇත. පුර්ව ප්‍රවේශ පත්‍ර අලෙවියෙන්ද ඉන්ෆිනිටි වෝ, බ්ලැක් පැන්තර් ඇතුළු සියලු සුපිරි වීර සිනමා පට පරදා වාර්ථාවක් පිහිටුවා ඇත.
දෙවරක්ම ඇකඩම් සම්මානයට පාත්රවුණු සැටර්න් සම්මාන තුනක්ම දිනාගත් ඇලන් සිල්වෙස්ට්රිගේ සංගීතයෙන් සිනමා පටය රසවත් වී ඇත. ඔහු සුපිරි වීර චරිත රැගත් සිනමා පට රැසකම තනු නිර්මාපකයායි. සියලුම ඇවෙන්ජර් සිනමා පටවලට යොදාගෙන ඇත්තේ ඇලන් සිල්වෙස්ට්රිගේ සංගීතයයි.
ඇවෙන්ජර්ස් : ඉන්ෆිනිටි වෝ වෝල්ට් ඩිස්නි ස්ටුඩියෝස් මෝෂන් පික්චර්ස් බෙදා හැරීමකි. පැය දෙකක් හා මිනිත්තු 36 ක (මිනිත්තු 156 ක) කාලයක් පුරා තිරගත වන මේ සිනමා පටයේදී ලොවම ආදරය කරන සුපිරි වීරයන්ගේ ඉරණම කෙසේ වේවිද? හදවතේ ස්පන්දනය ආදරණීය චරිත වෙනුවෙන් වේගවත්වන අවස්ථා රැසක්ම මෙහි ඇති බව කියැවේ.
චම්පිකා දීපානි රණසිංහ