'යකඩ' වනාහී රළුභාවය සංකේතවත් කරන්නට, ශක්තිමත් බව සනිටුහන් කරන්නට, නොනැමෙන සුළු ඍජු බව
අරුත් ගන්වන්නට අපේ වහරේ බහුලව යෙදෙන වචනයකි. ඒ හැර භෞතික වශයෙන් යකඩ නම් ලෝහය සෑමවිටම
රළුද, නොනැමිය හැකි තරම් සවිමත්ද, ඍජුද යන පැන නැගෙද්දී යකඩවලින් විටෙක සියුම් රටාවන් මැවිය හැකි බවටත්,
එවිට එහි රළුබව අතුරුදන්ව ආකර්ෂණීය වස්තුන් නිමැවෙන බවටත් නිදසුන් පෙන්වා දිය හැකිය.
භෞතිකව නම් ඒ යකඩ ගොඩක එකතුවකි, යකඩ ගොඩක රටාවකි. නමුත් අනෙක් අතට මානසිකව වින්දනය
කළ හැකි කලාකෘතියකි. හැකි පමණ වේලා ගෙන බලා සිටිය හැකි තරමේ සංකල්පනාවකි. 'හිතනවනම් මේ ලෝකේ
කොයිතරම් දේවල් කරන්න පුළුවන්ද' කියා සිතෙන තරමට අත්‍යන්ත සංකල්පයකි. නමුත් එවැනි සංකල්ප බිහිවන්නේ
විශේෂ අවස්ථාවකදී පමණි. එවැනි සංකල්පනා නැගෙන්නේද යකඩ ගැන පවා සංවේදී වියහැකි මනසකට පමණි.
'' යකඩ කියන්නේ රළු දෙයක් කියලා බොහෝම දෙනෙකුට හිතුණත්, මම නම් යකඩ කියන දේට ආසා කළේ
පුංචි කාලේ ඉඳලමයි. ඒ කාලේ පාරේ යද්දි පවා ඇණ මුරිච්චි එහෙම වැටිලා තිබුණොත් මම ඒක අහුල ගන්නවා
එකතු කරන්න. ඒ වගේම ඉස්සර අපේ තාත්තා ගාව පරණ කාර් තිබුණා. ඒවට කෑලි හොයන්න අපිත් යනවා
තාත්තත් එක්ක පංචිකාවත්තේ...''
ගවහිස:
මගේ තාත්තා ඒ ඩී මිල්ටන් ජයපාල, කේරි විද්‍යාලයේ චිත්‍ර ගුරුවරයා විදියටයි සේවය කළේ.
Assemblage වලට පුංචි කාලේ ඉඳලම යොමුවෙන්නේ තාත්තා නිසා. තාත්තගේ කලා ජීවිතේ
වැඩි නැඹුරුවක් තිබුණේ මූර්ති කලාවට. තාත්තා නිර්මාණ කරද්දි අපිත් ඒකට හවුල් වෙනවා. අත් උදව් දෙනවා.
තාත්තා ටියුෂන් දෙන තැන්වලට අපිවත් සමහර වෙලාවට එක්කගෙන යනවා. ඉතින් කලාවත් එක්ක තමයි
මෙතෙක් කල් ජීවිතේම ගෙවුණේ කිව්වොත් හරි.
මම 9 වසරේ ඉද්දී තාත්තා මට පෙන්නුවා පිකාසෝගේ ගවහිස. 1942 දී පිකාසෝ ගවහිස හදලා තිබුණේ
බයිසිකල් සීට් එකකුයි, හැඩලයකුයි එකතු කරලා. එතැනදී තමයි මට තේරෙන්න ගත්තේ නිකම් ආසාවට එකතු
කරන යකඩ කෑලිවලින් කොයිතරම් ලස්සන නිර්මාණ මට හදන්න පුළුවන් වෙයිද කියලා. මට අදටත් නිර්මාණයක්
සම්පූර්ණ කරනතුරු නින්ද යන්නේ නැහැ. ඉස්සරත් එහෙම වෙන්න ඇති. මොකද මම අවුරුද්දක් කලින්
සාමාන්‍ය පෙළයි උසස්පෙළයි ඉවර කළා, පුහුණුවකට ඉන්දියාවේ යන්න තිබ්බ නොඉවසිල්ල නිසා.
මම ගියේ බරණැස හින්දු විශ්ව විද්‍යාලයට. ඒ කාලේ මගේ අතේ හැම තිස්සෙම sketch book
එකක් තිබුණා. දකින දකින හැමදේම අඳින්න පුරුදු වුණා. ඒ පරිචය ඉතාම වැදගත්. Practice කරලා
අවසානේදී අපි අතින් අපේ හිතේ වැඩ කරන නිර්මාණය බිහිවෙනවා ඉතාම සුවිශේෂී විදියට. ඉතින් ඒ පුහුණුව
ඉවර වෙලා ලංකාවට ඇවිත් කැලණිය විශ්ව විද්‍යාලයට ඇතුළු වුණා.
අබලි:
මම උද්‍යාන සැලසුම්කරණය පටන් ගත්තේ කැම්පස් ඉන්න කාලේ. දේශන ඉවර වෙලා මම යනවා මගේ
ගෝලයොත් එක්ක වැඩට. ඒ අතර පරණ යකඩ කඩවලට ගිහින් මට ඕනේ කරන යකඩ කෑලි ටික තෝර ගන්නවා.
ඒවා කැම්පස් එකට ගෙනත් වෑල්ඩින් එහෙම කරලා Assemblage කරනවා. මගේ නිර්මාණ මම
උද්‍යාන කලාවට එකතු කරගන්නවා. ඒවා සාම්ප්‍රදායික උද්‍යාන කලාවට එකතු වුණු වෙනස් නිර්මාණ.
දෙවැනි ලෝක යුද්ධ කාලේ පිකාසෝ හඳුන්වලා දුන්නු Assemblage කලාව ඒ වෙද්දි අපේ රටට
ඉතාම වෙනස් දෙයක් වුණා. දැනටත් ඒකේ ලොකු වෙනසක් නැහැ. මූර්ති කලාව හරියට වැඩුණු වෘක්ෂයක් වගේ.
Assemblage කියන්නේ ඉන් එක ශාඛාවක්. මගේ කලාකෘතිවල වැඩි නැඹුරුවත් තියෙන්නේ
figurative art සහ සංකල්පිත (conceptual) කලාවක් වෙතයි. එවැනි කලාකෘති
බිහිකරන්න නම් පැවතිය යුතු ඉතා සියුම් රටාවන් වෙනුවෙන් පවා පණ නැති යකඩ කෑලි ප්රශස්ත ලෙස
assemble කරන්නේ කොහොමද කියන දේ නිවැරදිව වටහා ගන්නට අවශ්‍යය යි. නිර්මාණ කර්තව්‍ය
අවසානයේ ඊට අනන්‍ය හැඟීම් දැනවෙන ප්රකාශනයක් ගොඩනැගිය යුතුයි. රළුභාවය කියන දෙයින් මිදිලා
සියුම් ජීව ගුණයක් මතුවිය යුතුයි. ඒ වගේම නිරන්තරයෙන් යොදාගන්නේ ඉවත දාන ලෝහ. Assemblage
කලාව විසින් කිසි වටිනාකමක් නැතිව ඉවත දාන අබලි ද්‍රව්‍ය වලින් ඉහළ වටිනාකමක් ඇති සංකල්පයක් තනන්න
මාර්ගය සලසා දෙනවා. ඒ දේ ලංකාව වගේ රටකට ඉතාම වැදගත් දෙයක්.
සරුංගලේ:
ඉස්සර ඉස්කෝලේ යන කාලේ අපේ අම්මයි තාත්තයි දෙන්නම රැකියා කළා. අපි කට්ටියයි, අම්මයි තාත්තයි
ඔක්කෝම ගෙදරින් පිටත් වෙන්නේ එක වෙලාවට. අම්මා ගම්පහෙන් වෙන්වෙලා යනවා. අපි තාත්තත් එක්ක
කෝච්චියේ කොළඹ එනවා ඉස්කෝලේ යන්න. ආපහු හවසට කට්ටියම එකට ගෙදර යනවා. ගමයි නගරයයි,
ඒ අතරමැදයි සිද්ධ වුණු දේවල්, සිද්ධ වුණු හැටි, විවේකයක් නැති මිනිස්සුන්ගේ ජීවිත අපි හොඳින් දැක්කා.
පස්සේ කාලෙක landscaping කරද්දි එක එක විදියේ මිනිස්සු මුණගැහුණා. එතැනදී මිනිස්සුන්ගේ
රුචි අරුචිකම් විවිධ වෙන්නේ කොහොමද, මිනිස්සුත් එක්ක සම්බන්ධතා පවත්වන්නේ කොහොමද කියන
මේ සියළු දේ ඉගෙන ගත්තා. ඒකයි මම කියන්නේ අම්මයි තාත්තයි මම කියන සරුංගලයේ රාමුව හැදුවා.
ඉන්පස්සේ ජීවිතේ ලබපු අත්දැකීම් විසින් ඒ සරුංගලේ වර්ණවත් කළා කියලා.
ප්‍රගීත්:
මම උසස්පෙළ කරන කාලේ ඉඳන් තාත්තත් එක්ක විවිධ නිර්මාණ කටයුතුවල යෙදුණා. විශේෂයෙන්
උද්‍යාන අලංකරණය සම්බන්ධ නිර්මාණ. ඒවායින් හොඳ අත්දැකීමක් වගේම මූල්‍යමය වශයෙනුත් ප්රතිලාභ ලැබුණා.
විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන කාලේ දී සහ ඉන්පසුවත් ප්‍රදර්ශනවලට සම්බන්ධ වුණා. ඒ විදියට කලා පොලට
සම්බන්ධ වුණු අවස්ථාවක තමයි සස්කියා ප්‍රනාන්දු ගැලරි එකත් එක්ක සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙන්නේ.
ඇත්තටම අර මුලින් කිව්ව සරුංගලේ අහසට යැව්වේ සස්කියා ප්‍රනාන්දු ගැලරි එක. ඉන්පස්සේ අද දක්වාම ඒක
පුද්ගල ප්‍රදර්ශන වගේම කණ්ඩායම් ප්‍රදර්ශනවලටත් සම්බන්ධ වුණා. සමහර වෙලාවට විශේෂ ඇණවුම් වෙනුවෙන්
දායක වුණා. ලංකාවේ වගේම විදේශීය රටවලත් මගේ නිර්මාණ ප්‍රදර්ශනය කරලා තියෙනවා. මේ වෙද්දි මම
කරලා තියෙන නිර්මාණ 3000 කට අධිකයි. මේ හැම නිර්මාණයකම අවසානේදී මම සියයට සියයක් තෘප්තිමත් විය යුතුයි.
පුංචි කොටසක හෝ ඇදයක් තියෙනවනම් මම ඒක නැවතත් සකස් කරන්න දෙවරක් හිතන්නේ නැහැ.
ඒ නිර්මාණයට මිලක් ගෙවලා ගන්න කෙනාට කලාකරුවෙක් විදියට අවංක වෙන්න පුළුවන් ඒ විදියටයි.
වෙනස් විදියකට කිව්වොත් මම නිර්මාණයක් කරන්නේ අලෙවි කිරීමේ අරමුණින්මයි. මම සාමාන්‍ය මනුස්සයෙක්.
ඒ කියන්නේ ලංකාවේ සාමාන්‍ය කියන මිනිස්සුන්ට තියෙන ගැටළු මටත් ඒ විදියටම තියෙනවා. ඒ නිසයි මම කිව්වේ
ප්‍රගීත් මනෝහංස යම් නිර්මාණයක් කරන්නේ අලෙවි කිරීමේ අරමුණින්මයි කියලා. ඒ තමයි ප්‍රගීත් මනෝහංස
කියන මතුපිට ජීවත් වෙන කෙනා.
මම:
මුලින් කිව්ව කතාවේ තව පැත්තක් තියෙනවා. හැකිතරම් මහන්සි වෙලා මට හැකි උපරිමයෙන් වැඩ කරපු නිසාම
මට මේ වෙද්දි ඉතා සාර්ථක නිර්මාණ කරන්න පුළුවන් වෙලා තියෙන බව මම විශ්වාස කරනවා. ඒ නිසාම මගේ
කුසලතාවය වැඩිදියුණු වුණු බව මම විශ්වාස කරනවා. ලංකාවේ උද්‍යාන කලාවේ වෙනසක් කරන්න
මගේ Assemblage කලාකෘති බලපෑමක් ඇති කරවපු බව මම විශ්වාස කරනවා. ඒක එක්තරා විදියකට
ලාංකීය සමකාලීන කලාවේ turning point එකක් කියලත් මම තවදුරටත් විශ්වාස කරනවා.
අද වෙද්දි සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ Assemblage නමින් වෙනම විෂයක් පවා තිබෙනවා.
මේ කොයි දේ කොහොම වුණත් මගේ නිර්මාණ කාර්යය මා තුළ සිටින අභ්‍යන්තර පුද්ගලයාට එතරම් විශාල
දෙයක් විදියට දැනෙන්නේ නැහැ. මට මගේ නිර්මාණ අලෙවි නොකර ඉන්න පුළුවන් තත්ත්වයක් තිබුණා
නම් මම ඒවා අලෙවි කරන්නේ නැහැ. Art කියන්නේ සතුට, තමන්ගේ ජීවිතේ වින්දනයක් විවේකයක්
ලබන්න පුළුවන් වැදගත්ම අංගය කියලයි මම හිතන්නේ.
ලංකාව:
ලංකාවේ මිනිස්සු අතර තියෙන පොදු මතයක් තමයි කලාකාරයා හිඟන්නා කියන එක. ලංකාවේ කලාකරුවෙකුට
තමන්ගේ නිර්මාණ පෙන්වන්න තැනක් නැති එක, වෙළඳපොළක් නැති එක තමයි මූලික ගැටළු වෙන්නේ.
අනෙක් දේ තමයි සෞන්දර්ය විශ්ව විද්‍යාලයෙන් එළියට එන අය හැර කලාවට දක්ෂ අනෙක් අය කලාකරුවන්
විදියට සමාජයේ පිළිගැනීමට ලක්වෙන්නේ නැති එක, සමහර කලාකරුවන්ගේ ඉංග්‍රීසි භාෂා දැනුම අඩුකම.
දේශපාලනික වශයෙන් කලාවට අනුග්‍රහයක් ලැබෙන්නේ නැති එකත් තව ප්‍රධාන ප්‍රශ්ණයක්. මේ හැමදේම
අතරේ කොළඹට පමණක් සීමා වුණු පුද්ගලික කලාගාර අතර දෝලනය වෙන සීමා සහිත කලාකරුවන් පිරිසක්
විතරයි මතු වෙලා පේන්නේ. වෙන රටවල නම් කලාව කියන දේ ගම නගරය, සමාජ පන්තිය කියන භේදයෙන්
තොරව හැමෝම අතරේ බෙදාහදාගැනීමේ අවස්ථා තිබෙනවා. නමුත් ලංකාවේ එහෙම තත්ත්වයක් දකින්න නැහැ.
එහෙම කරන්න කැමති ප්‍රවීණ කලාකරුවන් හිටියත් ඒ දේවල් සංවිධානය කිරීමේ ගැටළු පවතිනවා.
මේ හැමදේම අතරේ කලාකරුවන් අඩුම තරමේ තමන් වෙනුවෙන් හරි තවදුරටත් පැවතීමේ අරගලයක යෙදෙනවා.
සටහන: නිමේෂා තන්ත්‍රිමුදලි