ඔමර්ටා නම් අපරාධ කේතය (රහස් අංකය) පිළිබඳ කසුකුසුවක් පවතින්නේ 2005 වසරේ සිට ය. එහෙත් එය තහවුරු කර ගැනීමට හැකිවන්නේ 2018 වසරේ අප්‍රේල් මාසයේ විසි වැනි දිනයි. ඒ එදිනට ඉන්දියාව පුරා සිනමා ශාලාවල ‘ඔමර්ටා’ නම් අපරාධ කේතය ප්‍රදර්ශනය වන නිසයි.
ඉදිරියේදී තිරගත වීමට නියමිත බොලිවුඩ් සිනමා පට අතර ‘ඔමර්ටා’ ප්‍රේක්ෂක, විචාරක බලාපොරොත්තුවකි. අපරාධමය සිනමා වෘතාන්තයක් වන ‘ඔමර්ටා’ අහමඩ් ඔමාර් සහීඩ් නම් පකිස්ථානු සම්භවයක් ඇති බ්‍රිතාන්‍ය ත්රස්තවාදියා වටා ගෙතී ඇත.
ත්‍රස්තවාදය ලොවට සුනාමියකට, ටොනාඩෝවකට වඩා තර්ජනයක්වී තිබියදී එහි දරුණුකම ප්‍රේක්ෂක හදවතේ ප්‍රකම්පනය කරන නිර්මාණ සෙලියුලොයිඩ් පටයේ සිත්තම් කිරීම කාලීන අවශ්‍යතාවක්ව තිබියදී ‘ඔමර්ටා’ තිරගත කෙරේ.
1994 ඔක්තෝබර් 20 වැනිදා කාශ්මීර ත්රස්තවාදීන් විසින් යුරෝපීයයන් සිවු දෙනකු පැහැර ගැනීමේ සත්‍ය පුවතක් සිනමා පටයට පාදකවී තිබේ. ජම්මු කාශ්මීර දරුණු කැරැලි පවතින්නේ 1989 වසරේ සිට ය. කාශ්මීර බෙදුම්වාදීන් විසින් 1991 දී ඊශ්‍රායල ජාතිකයන් සත් දෙනකු පැහැර ගැනීමට ගත් උත්සාහය අසාර්ථක විය. එහෙත් ඉන්පසු 1994 වනතුරුම ඔවුන් ප්‍රදේශයෙන් පිටස්තර පුද්ගලයන් පැහැර ගැනීමට ප්රයත්න දැරුවේ නැත. 1994 දී බ්‍රිතාන්‍ය සම්භවයක් ඇති ඔස්ට්‍රේලියානු පුරවැසියන් තිදෙනකු හා ඇමෙරිකානු පුරවැසියකු පැහැර ගැනීමත් සමඟ ලෝකයේ ම ඇස කාශ්මීර කැරැලිකරුවන්ට එරෙහිව එල්ල විය. සංචාරකයන් සිවු දෙනාම තරුණ බ්‍රිතාන්‍ය වැසියකුවූ අහමඩ් ඕමාර් සහීඩ් සීක් සමඟ මිතුරු විය. ඔහු හර්කත් - අල් - මුජාහිදීන් නම් පාකිස්තානු මූලික ඉස්ලාමීය හමුදා කණ්ඩායමට අයත්වූ අතර කාශ්මීරයේ මෙහෙයුම් කටයුතුවල නියැළිණි. මේ කණ්ඩායම ඔසාමා බින් ලේඩ්න්ගේ නායකත්වයෙන් යුතු අල් ඛයිඩා ත්‍රස්තවාදී කණ්ඩායම හා සම්බන්ධතා පවත්වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නම් කර තිබිණි. අහ්මඩ් ඔමාර් සාහීඩ් සීක් රෝහිත් ෂර්මා නම් ව්‍යාජ නමින් පෙනී සිටියේ ය.
ඔහු සංචාරකයන්ට පැවසුවේ මාමාගේ මිය යාමෙන් පසු ගමේ තනිවූ බව ය. ඔහු සංචාරකයන්ට ද ගමට අඬ ගැසීය. බ්‍රිතාන්‍ය සම්භවයක් තිබූ තිදෙනා පළමුවත්, ඇමෙරිකානුවා දෙවනුවත් පැහැර ගන්නා ලදී. පැහැර ගැනීමෙන් පසු ත්රස්තවාදීන් කාශ්මීර් සිර භාරයේ සිටි තම දස දෙනකු නිදහස් කරනා ලෙසත් එසේ නොකළොත් පැහැර ගත්තවුන්ගේ හිස ගසා දමන බවටත් තර්ජනය කළේ ය. අවසන ජය ගන්නේ පැහැර ගත් යුරෝපීය ජාතිකයන් ද? නො එසේ නම් අහමඩ් ඕමාර් ද සාමාජිකයකු වන ත්‍රස්තවාදී කණ්ඩායම ද? ඕමාර්ගේ ත්‍රස්තවාදී ක්‍රියා එතැනින් නිම වන්නේ ද නැත. ඔහු වසර 2002 දී ඇමෙරිකාවේ වෝල් ස්ට්‍රීට් හිදී ඩැනියල් පර්ල් නම් මාධ්‍යවේදියා ඝාතනය කරනු ලබයි.
‘ඔමර්ටා’ නවතම බොලිවුඩ් සිනමා පටයේ විශේෂ දර්ශනයක් 2017 ටොරොන්ටෝ අන්තර්ජාතික සිනමා උලෙළේදී ද මුම්බායි සිනමා උලෙළේදී ද, ෆ්ලෝරන්ස් සිනමා උලෙළේදී ද, හොංකොං අන්තර්ජාතික සිනමා උලෙළේදී ද බූසාන් අන්තර්ජාතික සිනමා උලෙළේදී ද තිරගත විය.
මෙහි ප්‍රධාන චරිතය රඟනු ලබන්නේ දක්ෂ චරිතාංග නළුවකු වන රාජ්කුමාර් රාඕ ය. හන්සාල් මෙහෙතා අධ්යක්ෂවරයාට ඔමර්ටා කතාව සිනමා පටයකට රැගෙන එන යෝජනාව කරන ලද්දේ වසර 2005 දී නළු මුකුල් දේව් විසිනි. අන්තර්ජාලයෙන් සිදුවීමේ තතු සෙවීමට හන්සාල් උත්සාහ කළ ද එහි මන්දගාමී ස්වභාවය නිසා ඒහා සම්බන්ධ තොරතුරු රැගත් සඟරා, පොත් මිලට ගත්තේ ය.
ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවෙන් ලිපි ලේඛන සොයාගෙන කියවීය. එහෙත් ඒ අතරේ රාජ්කුමාර් රාඕ සමඟ (2012) දී සාහිඩ් සිනමා පටය අධ්‍යක්ෂණය කිරීමට පටන් ගත් නිසා ඔමර්ටා අතරමඟ නතර විය. 61 වැනි ජාතික සිනමා සම්මාන උලෙළේදී හන්සාල් හොඳම අධ්යක්ෂවරයා හා රාජ්කුමාර් රාඕ හොඳම නළුවා බවට පත් කළේ එම සිනමා පටයයි.
‘ෂාහිඩ්’ අධ්‍යක්ෂණය කරද්දී හන්සාල්ට රාජ්කුමාර් සමඟ ඔමර්ටා සිනමා පටය කිරීම ඉතා පහසු කාර්යයක් බව වැටහිණි. රාජ්කුමාර්ගේ රංග කුසලතාවෙන් ඔමර්ටාහි ඔමාර් චරිතය පණ ගන්වන තුරු අධ්යක්ෂවරයා සිටියේ නොඉවසිල්ලෙනි.
රාජ්කුමාර් චරිතයට සූදානම් වීමට පෙර වීඩියෝ දර්ශන නැරඹුවේ ය. සීක් ත්රස්තවාදීන්ගේ කතාවලට සවන් දුන්නේ ය. මෙතෙක් රැඟූ චරිත අතරින් වඩාත් දුෂ්කර චරිත නිරූපණය ඔමාර්ගේ චරිතය බව ඔමාර් පවසන්නේ ය. ඔහු චරිතයට කෙතරම් අනුගත වී සිටියා ද කිවහොත් රූගත කිරීම් පවා දැනී ඇත්තේ බාධාවක් ලෙසිනි. රූගත කිරීම් අතරේ 2015 නොවැම්බර් මාසයේද පැරිස් ප්‍රහාරයට ද සිනමා කණ්ඩායමට මුහුණපෑමට සිදුවිය. රාජ්කුමාර් කෙතරම් දුරට ත්‍රස්තවාදියකු වී සිටියා ද කිවහොත් ඔහු ප්‍රහාරයෙන් සතුටට පත්වී තිබේ. එහෙත් එසේ සිතීම වැරැදි බව පියවි සිහියට පත් වහාම වැටහී ඇත.
සිනමා පටයේ රාජ්කුමාර් රාඕට අමතරව රාජේශ් තායිලං, රුපින්දර් නග්රා, කේවල් අරෝරා, තිමොති රයන් හිකර්නල් රංගනයෙන් දායක වෙති.
රාජ් කුමාර් කළු චරිතයක් නිරූපණය කරන්නේ ප්‍රථම වතාවට ය. ඔහුට ඕමාර් චරිතයෙන් අත්මිදීමට කාලයක් ගත විය. රූගත කරන කාලයේ බොහෝ දෙනා රාජ්කුමාර්ට පැවසුවේ ඔහුගේ ගති ස්වභාවය වෙනස්වී ඇති බවයි. රූගත කිරීම් නිමවී රැවුල කැපූ පසු ඊළඟ සිනමා පටය සඳහා මානසිකව සූදානම්වීමට රාජ්කුමාර්ට අවශ්‍ය විය. ඔහු තම හිතවතුන් සමඟ කාලය ගත කළේ ය. ඇවිද්දේ ය. ෂහිඩ් (2012) හන්සාල් සහ රාජ්කුමාර් සුසංයෝගය සිටි ලයිට්ස් (2014), ඇලිගාර් (2015) සිනමාපටවලට පසු දක්නට ලැබෙන්නේ අප්‍රේල් 20 වැනිදා තිරගතවන ඔමර්ටා සිනමා පටයෙනි. සිනමා පටයේ සංගීතය ඉෂාන් චාබිරා ගෙනි.
IMDB ශ්‍රේණිගත කිරීම්වලට අනුව ‘ඔමර්ටා’ 8.1/ 10 ක මනාපයක් හිමි කරගෙන ඇති අතර මිනිත්තු 96 ක කෙටි තිර කාලයකට සීමා වුව ද සිනමා පටය ගැන තිබෙන ප්‍රේක්ෂක බලාපොරොත්තුව නම් ඉතා ඉහළය.
චම්පිකා දීපානි රණසිංහ