මේ ලෝකේ නරක මිනිස්සු නැහැ. ඕනෑම කෙනෙක් දිහා මම බලන්නේ සුබවාදිව. මම හීන එක්ක ජීවත් වෙන කෙනෙක්.
ඒ හීනවල පොඩි පොඩි තැන් තමයි දැන් හැබැ කරගෙන තියෙන්නේ. පුංචි දේවල්වලින් පවා මට සතුටු වෙන්න පුළුවන්.
ලාංකේය පොප් සංගීතයට වසන්ත සමය උදා කිරීමේ පුරෝගාමි වූ භාතිය - සන්තුෂ් ඉතා කෙටි කලෙකින් ජාත්‍යන්තර ඇගැයීමට ලක් වෙමින් ලාංකේය සංගීත ඉතිහාසයේ තවත් යුගයක් සනිටුහන් කළ දෙදෙනෙකි. අද අපේ කතා බහා ඉන් එක් පුරුකක් වූ සන්තුෂ් වීරමන් සමඟය.
සන්තුෂ් උපන් දිනය කියමූකෝ?
සැප්තම්ර් පහ.
පාසල් මතකය යළි අවදි කළොත්?
සංගීතයට ළැදියි. පෙරදිග සංගීතයෙන් තමයි ඇරඹෙන්නේ. පසුව බටහිර ශාස්ත්‍රීය සංගීතය ප්‍රගුණ කරනවා. පාපන්දු, රගර් වැනි ක්‍රීඩාවලටත් දක්ෂයි. ඒ අතර පාසල් විවාද කණ්ඩායමෙත් පාසල් බාලදක්ෂ කණ්ඩායමේ නායකයා විදිහටත් කටයුතු කළා. ශිෂ්‍ය ක්‍රියාකාරී ජිවිතයක් තමයි ගත කළේ.
පොඩි කාලේ විවිධ නම් පටබැඳෙන්න ඇති?
පාසල් කාලේ ක්‍රීඩා කරන කොට වීරමන් කියනවා.
පාසල් අවදියේ සිදු වුණු ලොකුම වැරැද්ද ?
අනන්තවත් වැරැදි කළා. ඒවට අඩුවක් නැතිව බැණුම් අහනවා. ඉස්කොලේ කාලෙනේ. ටිකක් දඟයි තමයි.
පොත පතට සන්තුෂ්ගේ තිබුණු ළැදියාව?
පොඩි කාලේ තිලකා, විලම්භීත වැනි නව කතා කියෙව්වා. නව කතාවට තිබූ රුචිය ටිකෙන් ටික අඩු වෙලා අවුරුදු14,15දී බෞද්ධ ධර්මය ගැන ලියැවුණු පොත පත කියවන්න පටන් ගත්තා. දැන් වැඩිපුර කියැවෙන්නේ චරිතප්‍රදාන.
ඔබ සිත් ගත් කතාව?
‘රිචඩ් බ්රැන්සම්‘ගේ චරිත කතාව හරිම ලස්සනයි. ඔබාමාගෙත් ලස්සන පොතක් තියෙනවා.
ඔබ සිනමා ලෝලියෙක්ද ?
ඔව්. ‘බව දුක‘මම කැමතිම චිත්‍රපටයයි.
ඔබ කැමතිම ගීතය?
ගොඩාක් තියෙනවා. ඒ අතුරෙන් රූකාන්ත සහ සී.ටි ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ ගීතවලට ලොකු කැමැත්තක් තියෙනවා.
ඔබේ ලෝකයේ වීරයා?
මහත්මා ගාන්ධි තුමා, මම බොහොම අගය කරනවා. ඔහු තම ජීවිතය සහ සමාජීය ප්‍රශ්න දිහා හරි වෙනස් විදිහට බලපු කෙනෙක්. ඒ ප්‍රශ්නවලට ඉතා සංයමයෙන් හා අවිහිංසාවාදීව දීර්ඝ කාලීන විසඳුම් දුටු පුද්ගලයෙක්.
සන්තුෂ්ට ලැබුණු හොඳම උපදෙස ?
අවුරුදු 15 - 16 දී වගේ බෞද්ධ ධර්මයට මම බොහොම ළැදියි. ජිවිතේ සිදු වෙන හැම දේකටම හේතුවක් තියෙනවා කියලා තේරුම් ගත්තා. “තණ්හාය ජායති ශෝකෝ තණ්හාය ජායති භයං“ මේ ඔස්සේ හිතුවොත් අපිට ජීවිතේ සෑහෙන දෙයක් ඉගෙන ගන්න පුළුවන්.
සන්තුෂ් ගායකයෙක් නොවුණා නම් ?
පොඩි කාලේ ගුවන් හමුදාවට යන්න කැමැත්තෙන් හිටියේ. ඒ නිසා ඒ පැත්තට යොමු වෙන්න තිබුණා.
සංගීත ක්ෂේත්රයේ ඔබ අනුගමනය හෝ අනුකරණයේ යෙදන චරිත?
අනුකරණයක් නැහැ. සංගීතයේ භාවමය රසය හිතට දැනෙන්න හසුරුවන ගායක ගායිකාවන් හෝ සංගීතඥයන්ට මම කැමැතියි. රෝහණ විරසිංහ, රූකාන්ත ගුණතිලක වැනි ප්‍රවීණයෝ මං අගය කරනවා.
සංගීතය හැරුණු විට ඔබේ තවත් දක්ෂතා තිබේද?
මම තවම පාපන්දු ක්‍රීඩාවට හරි කැමතියි. විනෝදාංශය විදිහට මම පොඩි කාලේ ඉඳන්ම මුද්දර එකතු කරනවා. ඡායාරූපකරණයටත් හරිම කැමැතියි.
ඔබෙන් පසු පරපුර පිළිබඳ ඔබේ දැක්ම ?
අවුරුදු තිහකට විතර කලින් ජාත්‍යන්තරය හා ගැටෙන්න අපිට මියුසික් ඉන්ඩස්ට්‍රි එකක් තිබුණේ නැහැ. වර්තමාන සංගීත ක්ෂේත්රයේ පොප් සහ රොක් ආරයේ හොඳ නිර්මාණ මෙන්ම දක්ෂ පිරිසක් බිහි වෙලා. මම ඒ ගැන හරිම සතුටුයි. ඔවුන්ගේ හඬ සහ නිර්මාණ එක්ක ලාංකේය සංගීත ක්ෂේත්රය දැන් හරි ශක්තිමත්.
ආගම දහම වාසනාව හා ලැබීම ගැන ඔබේ මතය?
මම මිත්‍යාවෙන් දුරස් කෙනෙක්. බෞද්ධ ධර්මයට බොහොම ළැදියි. හේතුඵල දහම මම තදින් විශ්වාස කරනවා.
සන්තුෂ් තම ඉලක්ක සපුරා ගත් කෙනෙක්ද ?
සංගීත ක්ෂේත්රයේ ශ්‍රී ලාංකේය අනන්‍යතාවයෙන් යුතු පොප් හඬක් බිහි කරලා එය ජාත්‍යන්තරයට ගෙන යෑමේ හීනය සැබෑ වුණා. නමුත් ජිවිතේ බලාපොරොත්තු, සපුරා ගත යුතු සමහර දේවල්වලට තව කල් තියෙනවා. මම පසුතැවීම වෙනුවට ජිවිතේ සුභවාදීව දකින කෙනෙක්. බොහෝ ඉලක්ක සපුරා ගන්න දක්ෂතා තිබුණත් අධිෂ්ඨානය සහ වෑයම නැතිව සාර්ථක වෙන්න බැහැ.
ජීවිතයට සැලසුමක් තිබිය යුතුමද?
අනිවාර්යයෙන්ම. මගේ ජීවිතයේ කාල සටහන පටන් ගන්නේ අට වසරේදී. අද තරුණ පරපුර එවැනි සැලසුමක් හදා ගත යුතුයි.
සන්තුෂ් නිතරම මුමුණන පදවැලක් තියෙනවද?
"මේ ලෝකේ කරන්න බැරි දෙයක් නැහැ" .
ඔබ ඉක්මණින් තරහ යන කෙනෙක්ද?
මගේ කෝපය අවශ්‍යය තැනට විතරක් සීමා කරනවා.
ඔබේ ජීවිතයේ හොඳම විචාරකයා හෝ විවේචකයා ?
මගේ මව්පියන්. පොඩි කාලේ ප්‍රශ්නයකදී ඔවුන් මට උපදෙස් දෙමින් මග පෙන්වනවා මිසක් නීති දැම්මේ නැහැ. අපේ අදහස් ගැන පවා ඔවුන් සමඟ විවෘතව කතා බහ කළ හැකියි.
ඔබේ සහකාරිය හමු වෙන්නේ?
ඒක දිග කතාවක්. මුලින්ම හම්බවෙන්නේ සාදයකදි. මගේ ආදරණිය බිරිය. මගේ දරුවන් දෙදෙනාගේ මව. මගේ ජීවන ගමනේ ඇය මට ශක්තියක්.
පුද්ගලයකුගේ ඔබ වඩාත් අගය කරන ගුණාංගය?
මේ ලෝකේ නරක මිනිස්සු නැහැ. ඕනෑම කෙනෙක් දිහා මම බලන්නේ සුබවාදිව.යම් යම් දුර්වලතා අඩුපාඩු තියෙන්න පුළුවන්. නමුත් ඔවුන්ගේ හොඳ පැත්ත බලලා වැඩ කරන්න ඕනේ.
ජීවිතේ මෙතෙක් මුහුණ දුන් ලොකුම අභියෝගය?
කාලෙන් කාලෙට මුහුණ දුන් එවැනි අභියෝග තිබුණා. සංගීත ක්ෂේත්රයට ආපු කාලේම අපිව එක්තරා පිරිසක් ප්‍රතික්ෂේප කළා. නමුත් හොඳ සැළැස්මක් ඇතිව ඒ අභියෝග ජය ගන්න පුළුවන්.
ජීවිතයේ පැරදුණු තැන් ගැන පසුතැවීමක් නැද්ද?
පැරදුණු අවස්ථා ගොඩයි, පසුතැවීමක් නැහැ. පරාජය තමයි ජීවිතය ශක්තිමත් කරන්නේ. අපි වැටෙන්නේ ආයිත් නැඟිටින්න. හැබැයි නැඟිටිලා යා යුත්තේ හරි සංයමයෙන්. මම ඒ දේවල් ඉගෙන ගත්තේ ගාන්ධි තුමාගෙන්
කාර්යබහුල ජීවිතය වෙහෙසකර නැද්ද?
නැහැ.කවදාවත් වෙහෙසයි කියලා වැඩ නවත්වන්නේ නැහැ. ඇඟ මහන්සි කිව්වත් හිත මහන්සි කියන්නේ නැහැ. හොස්පිටල් එකට යනකම්ම වැඩ කරනවා.
ඔබ ඔබව දකින්නේ?
මම හීන එක්ක ජීවත් වෙන කෙනෙක්. ඒ හීනවල පොඩි පොඩි තැන් තමයි දැන් හැබැ කරගෙන තියෙන්නේ. ඒ හීන තමයි තමන්ව ජීවත් කරවන්නේ. පොඩි පොඩි දේවල්වලින් පවා මට සතුටු වෙන්න පුළුවන්. ජීවිතේට එන ප්රශ්නවලදී සංවේදියි, නමුත් පසුබට වෙන්නේ නැහැ. මම මටම බරක් නොවී ජීවිතේ සරලව ජීවිතය ගෙවන්නයි උත්සාහ කරන්නේ.
ඔබේ ජීවිතය ගැන තෘප්තිමත්ද?
බොහොම තෘප්තිමත්
ටානියා මෝසස්
Dinamina-