lan englan tam

යාල්පානමේ රස ආහාර ගැන ‘අභී’ කියන කතාව මෙන්න!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

අභිෂේකා විමලවීර කියන දක්ෂ ගායන ශිල්පිණියව අපි කවුරුත් දන්නවනේ. ඔන්න ඉදිරියේදී ඇයගේ ගී ප්‍රසංගයක් (Abhi Live in concert 2025) සැප්තැම්බර් මාසයේදී යාපනයේදී පැවැත්වීමටත් නියමිතයි.

ඉතින්, මේ දවස්වල යාල්පානමට නිතරම යන එන ඇය යාපනයේ ආහාර සංස්කෘතිය ගැන අපූරු සටහනක් සිය මුහුණු පොතට එක් කරලා තිබුණා.

ඉතින් මේ සටහනත් යාපනයේ ආහාර වගේම හරිම රසවත්. ඒ වගේම යාපනයේ ආහාර සංස්කෘතිය ගැන ඉතා හොඳ දැනුවත් කිරීමක් එහි ඇතුළත්. පහතින් දැක්වෙන්නේ එම සටහනයි.

 

(උපුටා ගැනීම)

අපි කෑම බීම වලට හරි ආදරේ මිනිස්සු.

ලංකාවෙ අපි කොහේ ගියත් හොයන්නෙ රහට කන්න.පිට රට ඉන්න කෙනෙක් ගෙන් අහල බලන්නකො.

තමන් ආදරය කරන මිනිස්සුන්ගෙන් පස්සෙ ඒ ගොල්ලන්ට වැඩියෙන්ම මතක් වෙන්නෙ ලංකාවෙ කෑම.

අපේ තුනපහ වල සුවද ලෝකෙ වෙන කිසිම රටක නෑ.

ඔස්ට්‍රේලියානු මාස්ටර් චෙෆ් කිඩ්ස් එකට ගියපු පුංචි ලීසා ෆයිනල් එකේදි හදන්නේ එයාගෙ ලංකාවෙ ආච්චි අම්මා එයාට කියල දීපු Sri Lankan රෙසිපි එකක්.

වයිවාරණ කෑම වට්ටෝරු ගණනාවක් පරද්දලා ,විනිසුරු වරුන්ගෙ රස නහර වෙනස් කරලා,පුංචි ලීසා තරගය ජයග්‍රහණය කරනවා.

ඉතින් ,

ඉස්සරහට යන්න වෙනස් ගමනකුත් තියෙන නිසා අපි අද එහෙදි හම්බෙන වෙනස් කෑම වර්ග ගැන කතා කරමු.ඔයා තව Jaffna Food ගැන දන්නවනම්, තැන් ගැන දන්නවනම් ලියාගෙන යන්න.

 

යාපනේ තුනපහ , Jaffna Curry Powder

කිසිම තෙල් වර්ගයක් නැතිව රත් කරපු මැටි තැටියක් උඩ පිළිවෙලින්

වරකට එක් කුළුබඩු වර්ගයක් පමණක් බැගින් එකතු කරමින් හරිම ඉවසීමෙන් නළලේ තිලකයක් තියා ගත්ත යාපනේ සුන්දර ගෘහනියන් අතින් හැදෙන ජැෆ්නා තුනපහ වලට ආවේණික රහස් වට්ටෝරුවක් තියෙනවා.

ඒක කෙනාගෙන් කෙනාට වෙනස්.

සාමාන්‍යයෙන් නම් මුලින්ම රත් වුනු මැටි ඇතිලියට කරපිංචා කොළ අහුරක් එකතු කරනවා.

බැදුනම ඒ ටික පැත්තකින් තියලා ඊට පස්සෙ වියලි මිරිස් කරල් අහුරක්,ඊටපස්සෙ පිළිවෙලින් කොත්තමල්ලි ,ගම්මිරිස් ඇට,කඩල පරිප්පු,හාල්, කරදමුංගු,කරාබු නැටි,කුරුදු පොතු,උළුහාල්, සූදුරු,මාදුරු බැද ගන්නවා.

මේ වෙනකොට හරිම මිහිරි සුවදක් පැතිරෙන්න පටන් ගන්නවා.

විශේෂම දේ තමයි.මේ හැම දේටම කිසිම යන්ත්‍රයක් පාවිච්චි කරන්නෙ නෑ.

අන්තිමට මේ හැම දේම එකට එකතු කරල කුඩු කරගෙන මුලින්ම බැදගත්ත කරපිංචා කොළ ටිකත් එකතු කරනවා...

ජැෆ්නා ක්‍රැබ් කරි එක, මට්න් කරි එක හදන්න ගන්නෙ මෙන්න මේ රහස් වට්ටෝරුව. හැබැයි අතේ ගුණයයි හිතේ ගුණයයි අනුව රස වෙනස් වෙනවා...සමහරු මේකට බැදපු පොල් එහෙමත් එකතු කරනවා...

 

ජැෆ්නා කූල්

images 28

දකුණු ඉන්දීය ආහාර කියලා බොහෝ දෙනෙක් වරදවා වටහාගෙන හිටියත් උතුරට ආවේණික වුණු හුගක් ආහාරපාන, ව්‍යංජන අතුරුපස වර්ග පාරම්පරික ව පැවත එන සාම්ප්‍රදායික දෙමළ ආහාර වට්ටෝරුවලින් පිළියෙළ කරන ඒවා.

උතුරේ මිනිස්සුන්ගෙ කප් රුක වෙන්නෙ තල් ගස්.

ඔවුන් තල්ගසේ හිසේ සිට පාදාන්තය දක්වා ප්‍රයෝජනයට ගන්නවා.

තල් මල් කපාගෙන ,ඒ යුෂ වලින් තල් හකුරු,තල් පැණි, සූකිරි,විනාකිරි නිපදවන්න යාපනේ මිනිස්සු පුදුම දක්ෂයි.

සීෆුඩ් , තල් පිටි , එළවලු, කුළුබඩු එකට එකතු කරලා හදන හරි ඝනකම් සුප් එකක් තමයි කූල් කියන්නෙ.

මේක හරිම රස, ඒ වගේම ගුණදායක බීමක්.

මේ ඔඩියල් කූල් පිළි ගන්වන්නෙත් වේලුණු තල් කොළයකින් හදපු ගොටුවකට දාල.

මේ ගොටුවට කියන්නෙ "තඩ්ඩුවෝම්" එහෙමත් නැත්තං "පුලා" කියල ලු.

 

තල් කැවුම්,පාම්පෝෂ,තල් අග්ගලා,තල් වඩේ,තල් අල/කොට්ට කිලංගු

505373725 1240562627435847 4643874863101427145 n

ඉදුණු තල් ගෙඩිය ලෙලි ගහලා ඇතුළෙ තියෙන කහපාට පල්ප් එක අරගෙන පෙරහනකින් පෙරාගෙන උකුවන තුරු හොදින් රත්කර ගෙන සහල් පිටි එකතු කරලා සීනි හරි තල් හකුරු හරි මිශ්‍ර කරලා ගැඹුරු තෙලේ බැද ගන්නවා.මේවට කියන්නෙ,

යාපනේ තල් කැවුම් කියලා.

තල් පිටි ,තල් හකුරු එකක මිශ්‍ර කරලා හදා ගන්න අග්ගලා , එතකොට තට්ටු වඩේ ඒ කියන්නෙ ,

තල් පිටි, කව්පි, මිරිස්, කරපිංචා එකතු කරලා හදපු උණු වඩයක් හවසකට හොඳ ඉගුරු දාපු තේ කහට කෝප්පයක් එක්ක පංකාදුයි කියලයි යාපනේ අපේ ඇත්තො කියන්නෙ..

තල් අල තම්බලා වගේම වේළලත් හරිම රසයි.වේළපු තල් අල වලට කියන්නෙ "පනම් කිලංගි" කියලා..

තල් පිටි වලට කියන්නෙ ඕඩියල්.ඉස්සෙල්ල අපි කතා කරපු සුප් එකට ඔඩියල් කූල් කියන්නෙ අන්න ඒ නිසා.

හාල් පිටි වෙනුවට යාපනේ හුගක් වෙලාවට පිට්ටු හදන්න ගන්නෙ කුරක්කන් හරි තල් පිටි හරි තමයි.

එතකොට අපි රස කර කන ත්‍රිපෝෂ වලට සමාන පෝෂණ අතිරේකයක් එයාලත් හදනවා.ඒකෙ නම් "පාම්පෝෂ"

ඊට අමතරව තල් පිටි වලින් චොක්ල්ට්ස්,මාශ්මෙලෝස් රසම රස කේක් කුකීස් වගේ දේවලුත් හදනවා.

 

තල් බීම

තල් කුරුම්බා කියන්නෙ රස කෑමක් තමයි.කන්නත් පුළුවන්..බොන්නත් පුළුවන්.

හැබැයි තල් බීම කියන්නෙ වෙන creative වැඩක්.

තල් කුරුම්බා කෑලි,දෙහි ,ශුගර් සිරප්, අයිස් කැට, නෙක්ටෝ ,කස කසා ඇට , කජු ,කිරි එහෙම දාලා තමයි මේක හදන්නෙ.

494701271 1240562274102549 2387038055530760133 n

අව්වේ ඇවිදලා මහන්සියට අපි බොන ගම්මිරිස් දාපු ඇඹුල් දොඩම් වෙනුවට යාපනේ හම්බෙන ඔප්ෂන් එක තමයි මේ තල් බීම එක..

හරි හරි...තල් වලින් තව බීම හදනව තමයි.ඒවා බොන්නෙ නරක ළමයි

 

ජැෆ්නා ක්‍රැබ් කරි

506461913 1240563110769132 641661200284123775 n

යාපනේ කකුළුවන් හැදෙන්නෙ ලවණ සාන්ද්‍රනය සහිත මුහුදු වතුර හා කලපු වතුර මිශ්‍ර වුණු

ස්වාභාවික කඩොලාන සහිත පරිසරයක.

ඒ නිසා මේ කකුළුවන්ට ඉතා ඉක්මණින් කුළුබඩු වල සාරය උරා ගන්නවා.මෙලෙකයි.වතුර ගතිය අඩුයි.නැවුම්.

ඒ නිසා තමයි ලංකාවෙ සීෆුඩ් වල රස වෙනම එකක් කියල විදේශිකයොත් කියන්නෙ.

ඉතින් ,මේ කකුළුවන් මැටි බදුනක උකු පොල්කිරි, යාපනේ තුනපහ, මුරුංගා කොළ එක්ක පියනකින් වහලා පැය භාගයක් විතර තියල ඇරියම එන සුවද දැන් ඔයාට දැණෙනවා නේද?

සැප්තැම්බර් 6 යාපනේ ආවම මේ අත්දැකීමත් ඔයාට ගන්න පුළුවන්.

 

තවත් දෙයක්...

යාපනයේ ගෙදරක දවල් කෑම වේලක් කියන්නෙ ඔයා විදින්නම ඕනෙ අත්දැකීමක්.

යාපනයේ උදවියගේ ද ආගන්තුක සත්කාර ගැන නම් ආයෙ කතා දෙකක් නෑ .

අඟහරුවාදා දවසක යාපනේ නිවසකට ගියොත් කෙසෙල් කොළයකට බෙදූ බත් එක්ක ව්‍යාංජන කීපයක්, තයිර්/මුදවාපු කිරි,වාලෙක්කායි පෝරියල් ඒ කියන්නෙ කෙසෙල් පෙති බැදුමක් එක්ක ලුණුවල දාල බැදපු මිරිස් කරලක්, පපඩමක්, ලුණු දෙහි, රසම් කෝප්පයක් වරදින්නේ නම් නෑ.

506641606 1240580777434032 2633789684658760484 n

රසම් එක කෑම කන්න කලින් බොන්නත් පුළුවන්.

එහෙම නැත්තං හෝ බත් එක්ක මිශ්‍ර කරගෙන කන්නත් පුළුවන්.

කන්න කලින් රසම් එකක් බිව්වම ආහාර රුචිය වැඩි වෙනවලු.

රසම්වලට ඖෂධීය වටිනාකමක් තියෙනවා.ආහාර දිරවීම පහසු කරනවා.කැමති නම්

ප්‍රධාන ආහාර වේලෙන් පසුවත් රසම් කෝප්පයක් බොන්න පුලුවන්.

ව්‍යාංජන අතර මුරුංගා, වම්බටු, මෑකරල්, කඩල ඔක්කොම එකට දාල හදපු අමුතුම කරි එකකුත් තියෙනවා..

ආහ්.අතුරුපසට පැණි, කජු, පොංගල් එකට දාල හදපු රහ කියාගන්න නොතේරෙන අමෘත රහ අතුරුපසකුත් එයාල ඇවිත් හෙමීට පැත්තකින් තියනවා.

 

ජැෆ්නා මට්න් කරි එක

508017774 1240563354102441 372170856008316088 n

මේක නම් මම අහ ගත්තෙ යාපනේ වයස අවුරුදු 80 ක විතර අත්තම්මා කෙනෙක් ගෙන්.එයා අපිට මේක හදලම පෙන්නුවා.

එයා කියන විදියට ජැෆ්නා මට්න් කරි එකේ ප්‍රධානම වෙනස එයාල ඒකට කහ දාන්නෙ නැති එකලු.

ඒ වෙනුවට එයාල දාන්නෙ වේලිච්ච මිරිස් කරල්,යාපනේ තුනපහ,පළවෙනි කිරි,සුදුලූණු,ඉගුරු, ලූනු , ලුනු ,කරපිංචා සහ ගනකම් සියඹලා ඉස්ම ටිකක් විතරලු.

ඇත්තටම අපිත් බලන් හිටියා.

කිසිම වෙන රසකාරකයක් නම් දැම්මෙ නෑ.

ඒත් අපි හදනකොට කුස්සියෙ තියෙන ඔක්කෝම ජාති එකට දාලත් මේ අහලින් යන කරි එකක් හදා ගන්න බැරි වෙන එකට තමයි දුක.

තව රහසක් .චූටිම චූටි කෑලි වලට කපල ලිපේ තියන මේ මට්න් කරි එක පියනකින් වහල, අඩු ගින්දරේ පැය එකහමාරක් විතර තිබ්බා.

ඉතින් අපේ කෑම රහ වෙන්නෙ නැති එක අහන්නත් දෙයක්ද? අපිට කොහෙන්ද එච්චර ඉවසීමක්?

 

උළුදු වඩේ, තෝසෙ ,ඉඩ්ලි,සාම්බාර්,මිංචි සම්බල් එක්ක මසාල චායි.

508398085 1240580680767375 194483790033383315 n

හෝව් හෝව් වෙජිටේරියන් කට්ටිය බනින්න එපා.

ඔයාලටත් යාපනේ ගොඩාක් options තියෙනවා.

506442921 1240563150769128 2378442104139720956 n

අවුරුදු 100 කටත් වඩා පරණ "මලයන් කැෆේ" එක එක ,එක ඔප්ෂන් එකක්.

යාපනේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ මේ කැෆේ එකේ ඉගෙන ගන්න අතරතුර පාර්ට් ටයිම් සේවය කරනවා.

සුදු පාට ශර්ට් එකයි කලු කලිසමයි ඇදගත්ත සිංහල , දෙමළ තරුණ පිරිමි ළමයි වැඩ කරන්නෙ කූඹියොන්ටත් වඩා කඩිසරව.

මේ ගොල්ලො කෑම දෙන්නෙ කෙසෙල් කොළ වල.

කෑම කාල ඉවර වුණාම අපි මේ කොළේ පිටිපස්සෙ තියන ලියුම් පෙට්ටියක් වගේ බිත්ති සිදුරකින් එළියට දාන්න ඕනේ.

වෙනස් ආහාර සංස්කෘතියක්.

මේ කෑම ගැන වෙනම ලියන්න දෙයක් නෑ කියල හිතන්න එපා.

ඔයා ලංකාවෙ කොහේ හිටියත් මේ කෑම ලිස්ට් එක අත් හදා බලල තියෙනවා තමයි..

හැබැයි මම කියනවා ,

පරණ ,වටින,උස ලී රාක්ක වලින් හැඩ කරපු "මලයන් කැෆේ"එකෙන් තෝසයක් කාල බලන්නකෝ..

507795540 1240580917434018 2771562411374280130 n

ඒක බම්බලපිටියෙ සරස්වතී එකට වඩා ,වැල්ලවත්තෙ ශන්මුගාස් එකට වඩා ,කොළඹ කැම්පස් එක ළග තියෙන ශාන්ති විහාර් ..ආහ් දැන් නම වෙනස් කරලනේ. අලුත් ශ්‍රී විහාර් එකට වඩා වෙන රහක්.වෙන සුවදක්.රසේ වැඩි අඩුවක් නෑ.

හැබැයි ඒ දෙක දෙකක්.

 

අයිස් ක්‍රීම්

506448535 1240563754102401 4013620949943246759 n

එදා මට ටිකක් කැස්ස.ඒත් යාපනේ ඇවිත් Rio ice cream එකක් නොකා කොහොමද?

පාට පාට , Flavors ගොඩකින් අපිට අයිස් ක්‍රීම් වර්ග සරුවත්, නෙල්ලි කෝඩියල් ,Hot Brownies තෝර ගන්න පුළුවන්.

මිල ගණන් හරිම සාධාරණයි.

පැණිරහ ,අපේ අනික් අයිස් ක්‍රීම් වලට වඩා වැඩියි.

මම ආසම වුණේ සුදු පාට එකට.

එතනට හැමදාම වගේ එන මල්ලි කෙනෙක් නම් කිව්වෙ යාපනයේ වතුර වල කිවුල් රස මග හැරෙන්න සීනි සාන්‍ද්‍රනය වැඩි කරනව කියල.

ඉතින් යාපනේ ආවොත් ප්‍රසිද්ධ රියෝ අයිස් ක්‍රීම් එකෙන් වගෙම ,ලින්ගන් එකේ ක්‍රීම් එකකත් රස බලන්න අමතක කරන්න එපා.

 

හ්ම්...සැප්තැම්බර් 6 කියන්නෙ සෙනසුරාදා දවසක්.5/6/7 දවස් තුනම නිවාඩු.

Long Weekend එකක්.

ඉතින් මේ ඔක්කොම කෑම වල රස බලල ,මගේ සින්දුවකුත් අහල යාපනේ වටේ ඇවිදල මිහිරි මතක ටිකක් ගෙදර අරන් යන්න.

ඔයත් "අභී" Concert එක බලන්න එන්න..

අභී!

 

506454361 1240626510762792 3945762951618075980 n

 
Makeup -Hanshi Sanjeew
Photography -Chalitha Lishan Photography

Sources -

-Recipes of the Jaffna Tamils by Rani Thangararajah (edited/translated by Nesa Eliezer)
-Jaffna Heritage Cooking by N. Maheshwari Devi
-They Came from Jaffna: A Historical Culinary Journey… by Indra Iswaran
-Viduni Basnayake -Roar Madia
-Ranjanee Samaraweera-Yan Kohehari
(උපුටා ගැනීම අවසන්)
 
(ඡායාරූප උපුටාගැනීම අභිෂේකා විමලවීරගේ  facebook පිටුව ඇසුරිනි) ඡායාරූප අයිතිය මුල් අයිතිකරු සතු වේ.
 
 
 
 
 
 
 
 

kemadasa

shungara

Back to top
Go to bottom