lan englan tam

නික්ම ගිය ලලිත් ධර්මවර්ධන ගැන විෂ්ණු වාසුගේ මතක සටහන!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

හෙළ සිනමාවේ වසර 45 කට වැඩි කාලයක් කේෂලාවන්‍ය ශිල්පියෙකු ලෙස කටයුතු කරමින් සිනමාවට අනුපමේය සේවයක් කළ ලලිත් ධර්මවර්ධන පසුගිය (06) වනදා දිවි ගමන නිම කළා.

කලක් රෝගාතූරව සිටි ඔහු අභාවප්‍රාප්ත වන විට 75  වන වියේ පසුවූවා.

ලලිත් ධර්මවර්ධනගේ නික්ම යාමට ප්‍රථම පසුගිය මාර්තු මාසයේදී සුදර්ශි සිනමා අනුමණ්ඩලය විසින් ලලිත් ධර්මවර්ධන වෙනුවෙන් “රිදී තිරේ ලලිත් කලාව” යනුවෙන් ඇගයුම් උළෙලක් සංවිධානය කර තිබූ අතර එහිදී ප්‍රධාන කථාව වෙන්ව තිබුනේ ජනප්‍රිය ලේඛක විෂ්ණු වාසු හටයි.

පහතින් දැක්වෙන්නේ එදින විෂ්ණු වාසු විසින් සම්පාදනය කරන ලද ලිඛිත කතාවයි. එදින එම සටහන කියවනු ලැබුවේ කැළුම් ශ්‍රීමාල් විසිනි

(උපුටා ගැනීම)

"එයාගේ සම්පූර්ණ නම ලලිත් ධර්මවර්ධන. හැමෝම එයාගේ මූණට කථා කළේ ලලා කියලා. නැති තැන කොණ්ඩ ලලිත් කිව්වා. සමහර කට කැඩිච්ච එවුන් පො.... ලලිත් කියලත් එයාව හැඳින්නුවා. ඒ වුනාට එයා නෙවෙයි ඔය කිසිම හැඳින්වීමකින් සැළුනේ.

“ඔවු මම එහෙම තමයි. ඉතිං කාටත් ඇති රුදාව මොකක්ද?”

එයා හිස රිජුව තබාගෙන, ආඩම්බරෙන් ප්‍රශ්න කළා. ලලිත් කෙලින් මිනිහා. ලලනා ගති වලින් ආඩ්‍ය වුනාට, වචනේ වෙනස් කරන ජාතියේ කෙනෙක් නෙවෙයි එයා. කිව්වොත් කිව්වම තමයි. හිසේ කෙස් ගානට යාළුවෝ. නීතිඥයෝ, දොස්තරලා, නළු නිළියෝ, දේශපාලඥයෝ ආදී වශයෙන් සමාජයේ විවිධ තරාතිරම් වලට අයිති අය. ලලිත් කියන්නේ වෛරයෙන්, ක්‍රෝධයෙන් පුපුරන, තමන්ගේ මුල් සිඳගත් තුට්ටු දෙකේ දේශපාලඥයෙක් නෙවෙයි. චන්ඩියෙකුත් නෙවෙයි. ඒ වෙනුවට එයා හරීම අහිංසකයා. ඒ වුනත් සමාජ අසාධාරණයේදී හිස නොනනමන, මහ රජ්ජුරුවන්ට වුනත් වචනෙකින්වත් යටත් නොවෙන චරිතේ.

ලලිත්ලාගේ ගෙදර වැල්ලවත්තේ. මුහන්දිරම් පාරේ. එයාම කියන විදියට පුංචි කාලෙම එයාට පසක් වුනා, එයාගේ පිරිමි ශරීරය ඇතුගේ ගැහැණියක් ජීවත් වෙනවා කියලා. ගෙදර කවුරුවත්ම නැති වෙලාවක් සහතික කරගත් ලලිත්, අම්මාගේ කාමරයට රිංගලා දොර අගුල් තද කළා. අම්මාගේ සාරියකින් සැරසිලා, කරාඹු කුට්ටමක්ද පැළඳ, තොල් රතු කරගත්තු ලලිත්, කණ්නාඩිය ඉදිරියේ රඟපෑවේ මධුබාලා, මීණා කුමාරි, වෛජන්තිමාලා හෝ නාර්ගීස් සිතින් මවාගෙන.

ලලිත් වයසින් මුහුකුරා ගියා. ඉතිරි කිරීමේ බැංකුවේ රස්සාවක් හම්බ වුනා. අවුරුදු දෙක තුනකට පස්සේ ඒ රස්සාවෙන් සමුගත්තා. සිනමා කර්මාන්තයට සම්බන්ධ වුනා. ඉතා කෙටි කලකදීම, සිනමා තරු පොකුරේ දිදුලන, බ්‍රාජමාන චරිතයක් බවට රූපාන්තරණය වුනා. ඒ කාලේ, එයාව නොදන්නා කෙනෙක් චිත්‍රපටි ක්ෂේත්‍රයේ හිටියේ නැහැ. කැමරා, ලයිට්, ට්‍රැක්, ඩොලි පවා එයාගේ නම කිව්වම පිබිදෙන්න ගත්තා. එයා තමයි මාලිනී අක්කගේ ස්ථාවර කොණ්ඩා මෝස්තර ශිල්පියා. ඇතැම් සුප්‍රසිද්ධ ප්‍රේම වෘතාන්ත ලියලනවා ඇසින් දුටු ප්‍රධාන සාක්ෂිකාරයා.

සබීතා, ගීතා, සංගීතා එහෙමත් විශේෂ උත්සව වලට ගියේ ලලිත්ට කියලා කොණ්ඩේ සරසාගෙන. ගාමිණී, විජේ, රවීන්ද්‍ර, රොබින් ඔය කොයි කෙරුම්කාරයත් ලලිත්ගේ වචනෙට යටයි. කොච්චර ආඩම්බරකාර කැමරාමන් වුනත් වාමදේවනුත් එයාට අවනතයි. ඕනෑම වෙලාවක කැමරා විව් ෆයින්ඩර් එකට ඇහැ තියන්න ලලිත්ට ඉඩ දුන්නා.

80 දශකයේ මැද භාගයේ මම දකුණු ඉන්දියාවේ ගුරුකුලයක ශිල්ප හදාරා නැවත ලංකා දූපතට සංක්‍රමණය වුනා. ඒ කාලයේම ටෝනි රණසිංහ අධ්‍යෂණය කළ ජුලියස් සීසර් නාට්‍යයට නළුවෙකු සහ වේදිකා පරිපාලන සහායකයෙකු ලෙස සම්බන්ධ වුනා. මට හාපුරා කියා ලලිත්ව මුණගැහෙන්නේ එතැනදි. ලලිත්ගේ අර්ධනාරීශ්වර ගති ලක්ෂණ මගේ සිත් ගත්තා. ඔහු කතා කරන ලාලිත්‍යට මං පෙම් බැන්දා. මං එයාගේ ජීවිතේ රස තැන් හාරා ඇවිස්සුවා. දවසක් එයා මට කිව්වා...

“මේ... අපි අද රෑට වල්කමේ යනවා. ඔච්චරම අපි ගැන දැනගන්න ආසයි නං හතට විතර බම්බලපිටිය ස්ටේෂන් එක ළඟට එන එකයි ඇත්තේ...”

ලලිත් එදා එතැනට ආවේ සාරියක් පටලවාගෙන. කොණ්ඩේ පිච්ච මලින් සරසලා. මට මගේ ඇස් අදහාගන්නට බැරිවුනා. ලලිත්ගේ ශරීරයෙන් එක්තරා ආකාරයක කාන්තියක් විහිදුනා. පිරිමින් ලලිත් දිහාවේ දෙසැරයක් හැරිලා බැලුවා. පුදුම ලස්සනක්. ඒ රාත්‍රියේ මා අත්දුටු සිද්ධිදාමය පිළිබඳව මට මාගලක් ලියන්නට පුළුවනී.

එදා මං අධිශ්ඨානය කරගත්තා, කවදා හරි දවසක මං ලලිත්ගේ කථාව පාදකව පොතක් ලියනවා කියලා. ඔබ දන්නා ලලිත් විශිෂ්ඨ කොණ්ඩා මෝස්තර ශිල්පියෙක්. මා දන්නා ලලිත් මේ රටේ සමරිසි කුලකයේ පුරාවෘතය කටපාඩමින් කියන්න දන්නා ඉතිහාසඥයෙක්. ඔබ දන්නා ලලිත්, සිනමා තාරුකාවක් තරම්ම ජනප්‍රිය චරිතයක්. මා දන්නා ලලිත් සමරිසි කුලකයේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කළ පුරෝගාමියෙක්.

ඔහු තමන්ගේ කුලකයේ අය වෙනුවෙන් පෙනී සිටින්නට අධිශ්ඨාන කරගත් දවසේ සිට, ඔහුගේ නාරාහේන්පිට නිවස, රට වට, රට මැද සිට රාජකාරි කටයුත්තකට කොළඹට එන තම කුලකයේ ඕනෑම කෙනෙකුට විවෘත කළා. සිංහලද, දෙමළද, කොණ්ඩේ බැඳලද, පච්ච කොටලද, කරාඹු දාලද, සාරි ඇඳලද, තරුණද, මහළුද කියන එක ලලිත්ට අදාල වුනේම නැහැ.

තම කුලකයේ අයිතිවාසිකම් වෙනුවෙන් තව දුරටත් තනි තනිව සටන් කරනවා වෙනුවට, ඔහු හාර්ට් ටු හාර්ට් නමින් සංවිධානයක් පිහිටුවා ගත්තා. 2011 හාර්ට් ටු හාර්ට් ආරම්භයෙන් වසර 13 ගෙවුනු තැන, මෙරට වෛද්‍ය වෘත්තිකයින්, සෞඛ්‍ය සේවයේ නියුත්තන්, ස්ත්‍රී පුරුෂභාවය පදනම් ව්‍යාපෘති වලට සම්බන්ධ රාජ්‍ය නිළධාරීන් ආදී, මෙකී නොකී පිරිස, ඉහලින්ම අගේ කරන ආයතනය බවට හාර්ට් ටු හාර්ට් සංවිධානය පත්වුනා.

ලලිත් මුණගැසීමෙන් වසර තිස් හතකට පසුව මා ලියූ සාරි ඇඳපු පිරිමි පොතට ප්‍රස්තූතය වුනේ, ලලිත් මට ඥාණනය කළ, මේ රටේ සමරිසි පිරිමින්ගේ ඉතිහාසය. මේ දූපතේ පාලකයින් සහ බහුතර ජනතාව කතා කරන්නට ලැජ්ජා වෙන, ඒ වචනය ඇහුනාමත් භ්‍රාන්තියෙන් වෙව්ලන, බණ්ඩාරනායක, දහනායක, ලලිත්, මංගල, ටිරෝන්, ඔගස්ටින්, ටානියා සහ මංජුගේ කතාව. මා මගේ සාරි ඇඳපු පිරිමි පොතේ පිදුම ලිව්වේ ලලිත්ට. මෙන්න මෙහෙම...

"සංක්‍රාන්තික ලිංගික යන වචනයේ තේරුමවත් නොදත් කාලයක, ලංකාවේ සමරිසි ප්‍රජාවට මවක් වැනිව දයා කරුණාව පෑ සත්‍යාවතී, ලලිත් ධර්මවර්ධන සන් මිතුරාට අප්‍රමාණ සෙනෙහසින්."

නිරන්තරයෙන්ම සමාජ අසාධාරණයන්ට ලක්වෙන තම කුටුම්බයේ පිරිස ලලිත්ව දකින්නේ, තමන් අත්විඳින, අනේක විධ දුක්ඛ දෝමනස්සයන්ට පිහිට වෙන, නාරි ශක්තියෙන් සුපසන් පාර්වතී, දුර්ගා හෝ කාලි දේවිය ලෙස. මා දැන සිටි ලලිත්, සහතික වශයෙන්මත් එහෙම තමයි.

ලලිත්ගේ සම කුලකයේ පරම්පරාව එයාව ඇමතුවේ අම්මා කියලා. සත්තකින්ම එයා මව් ගුණයෙන් පරිපූර්ණ, අතිශය ශිෂ්ට සම්පන්න, මෛත්‍රී කරුණාවෙන් උතුරා ගිය චරිතයක් තමයි.

ආදරණීය ලලිත්. ඔබ මට කියා තියෙනවා එළඹෙන පුනරුත්පත්තියේදී, ස්ත්‍රී ආත්මයක ඉපදෙන්නට ඔබ ප්‍රාර්ථනා කරනවා කියා. ඒ ඉෂ්ටාර්ථය සර්වප්‍රකාරයෙන්ම සපල වේවා. "

මම විෂ්ණු වාසු

( උපුටා ගැනීම අවසන්)

මෙම සටහන Ajantha Alahakoon ෆේස්බුක් පිටුව ඇසුරින් උපුටා ගන්නා ලදී)

 

kemadasa

shungara

Back to top
Go to bottom