තම කණ්ඩායමේ මතයට නොගැලපෙන ලිංගික, වාර්ගික හා ආගමික වෙනස ආදීය හේතු කොට, සාමාන්‍ය ජනතාව කිසිඳු බාධාවකින් තොරව ප්‍රසිද්ධියේ මිනිසුන්ට පහරදී මරා දැමීම හා විවිධ හිංසාවන්ට ලක් කිරීම පිටුපස නිතරම එයට පරිසරය හැදු හා බලය ලබා දුන් දෘෂ්ඨිවාදයක් ඇත.
ඉතිහාසය පැහැදිලිව පෙන්වන පරිදි එම දෘශ්ඨිවාදය වඩාත් බලවත් කාලවල ඊට ආදල හිංසා වැඩි වන අතර එහි බලය අඩුවන විට ඊට අදාල හිංසා ද අඩුවේ. කුරාණයට පටහැනි අදහස් සමාජගත කිරීම නිසා,මෑතකදී මාෂල් ඛාන් නම් තරුණ පකිස්තාන් මාධ්යාවේදියාව එරට මිනිසුන් වගයක් මහමග පහරදී මරා දමනවිට ඊට අවශ්‍ය දෘශ්ඨිවාදී සහාය ආගමික නායකයින්, දේශපාලකයින් හා 'විද්වතුන්' විසින් නිර්මාණය කර තිබුණි. මහා යුද්ධ වල සිට මියන්මාරය හරහා කලු ජූලිය දක්වා හරි හෝ වැරදි සාමාන්‍ය ජනතාව සාමූහිකව මිනී මැරීමේ කතාව එයයි.
නූතන මානව අයිතිවාසිකම් සථාපිත කර, අභ්‍යාස කර නැති විට හෝ එවා ගැන ප්‍රමාණවත් දැණුමක් නැති විට එවන් ජනතාවගේ සදාචාර විනිශ්චය ලෙසට බොහෝ විට ඉතිරි වන්නේ ආගමික හා සාම්ප්‍රදායික ඉගැන්වීම්ය. මෙතනදී ආගමික මතය ලෙස වැදගත් වන්නේ ආගමික නිර්මාතෘවරු අවුරුදු දහස් ගණනකට කලින් හරියටම කීවේ කුමක්ද යන්න නොව එවා ඒ ඒ සන්ධර්භවල උකහාගෙන, අර්ථකතනය කරගෙන හා අභ්‍යාස කරන ආකාරයයි. උදාහරණයකට, අද බෞද්ධ සචරිතවාදය ලෙස එන ආකල්ප විශාල ප්‍රමාණයට වික්ටෝරියානු ක්‍රිස්තියානී ඉගැන්වීම් හා මිශ්‍ර වී ඇත්තෙකි. කූට දේශපාලකයින් ජනතාව අතර ජනප්‍රිය වීමට යොදාගන්නේත් එම ආගමික හා සාමිප්‍රදායික මතය. එය ජනතාවට අපේ එකෙක් කියා දනවන්න හැකි හොඳම ක්‍රමය වේ.
පසුගිය කාලයේ දේශපාලකයකුට පහරදීම සඳහා ඔහුගේ විරුද්ධ දේශපාලකයින් භාවිතා කලේ බටහිර ගැති 'පොන්නයා' යන සංකල්පය බව අපි දනිමු. එම දේශපාලකයාව ‘අපේ කම’ නියෝජනය කළ කඳවුරේ උන් ලංගිකත්වයට ඈඳා ප්‍රසිද්ධියේ සමාජමය වශයෙන් ඝාතනය කළ ආකාරය බලන විට 'පොන්නයා' යනු ජාතියේ නාමයෙන් ප්‍රසිද්ධියේ මරා දැමීමට සුදුසු එකෙක් විය. ඊට අමතරව මෑත කාලයේ ආගම හා ජාතිය සම්බන්ධ කර පැණ නැගි 'සුචරිතවාදය' බ්‍රසියර් විසිකළ කෙල්ලට මඩු වල්ගයෙන් ගැසීමේ සිට පිරිමින්සේ සමාජශීලී වු ගැහැණුන්ව සමාජමය වශයෙන් සමුල ඝාතනය කිරීම දක්වා දුරදිග ගොස් තිබූ අතර ඒ බොහෝ සමාජ ඝාතකයෝ පෙනී සිටියේ අපේ සංස්කෘතිය ආරක්ෂා කරනවුන් සේය. පිරිමියා සේ හැසිරෙන ගැහැණියද ගැහැණිය සේ හැසිරෙන පිරිමියාද ඔවුන්ට විකෘතියකි. ඔවුන් සංස්කෘතිය බේරා ගැනීම සඳහා වඩා උනන්දු වූයේ කුඩා දැරිවියන් දූෂණය කර මරා දැමීම ගැන නොව කාන්තාවක් පන්සලේදී ඉන්න හැටි ගැනය, ගැහැණු පාටි දාන හැටි හෝ නාන්න අඳින හැටි ගැනය. එවැන්නකදී, ඔවුන්ට අනූව වැරදිකරු වෙන ගැහැණිය ජාතිය ඉදිරියට ගෙනවිත් සමාජමය වශයෙන් ඝාතනය කර දැමීමට හොඳටම ප්‍රමාණවත් විය. අවසානයේ මේ දෘශ්ඨිවාදය 'දඹුල්ල' හෝ 'කුලියාපිටයේ' බිම්මට්ටමට ඇවිත් අර ‘පොන්නයා’ හෝ ‘සමාජශිලි ගැහැණිය’ මුණ ගැසුනම සිදුවිය හැකි විනාශය දැන් ඔබට රස විඳිය හැකිය!
දඹුලු ඝාතනයේ මිනීමරුවන්ගේ නම් ලිස්ට් එක හිතනවාට වඩා දිගු විය හැකිය!
ධනංජය කරුණාරත්න