"මගේ A/L exam එකට දවසයි තිබුණේ. මගේ ලඟම යාලුවෙක් ගෙන් මට හිතාගන්න බැරි විදියේ නරක ෆේස්බුක් පණිවුඩ වගයක් ඇවිත් තිබුණ," පූර්ණිමා මීගම්මන තමන් මුහුණ දුන් වේදනාබර අත්දැකීමක් සිහිපත් කරයි.
"මට හිතාගන්න බැරි වුනා මගේ යාලුවා ඒ වගේ දෙයක් කරාවිද කියල. පස්සේ තමයි මම දැනගත්තේ මගේ වෙනත් යාලුවෙක් මගේ හොඳම යාලුවෙකුගේ ෆේස්බුක් ගිණුමකට හොරෙන් ලොග් වෙලා එහෙම කැත පණිවුඩ එවපු බව."
සයිබර් බුලින් (Cyber bulling) හෙවත් අන්තර්ජාලය ඔස්සේ කෙරෙන හිරිහැර, වර්තමානයේ ලොව තරුණ තරුණියන් ඇතුළු බොහෝ දෙනා මුහුණ දෙන බරපතල ගැටලුවකි.
තමන් ද එවැනි හිරිහැරයක ගොදුරක් වී ඇති බව පූර්ණිමාට වැටහින. සිය මිතුරාගේ අත්දැකීමෙන් අනතුරුව වෙනත් අවස්ථාවල ද එලෙස තමන් 'සයිබර් බුලින්' වලට ගොදුරු වූ බවත් ඇය පවසන්නීය.
"ඒ වෙලාවේ මම මොනවා කරන්න ද කියල දන්නේ නෑ මොකද මම කවදාවත් හිතන්නේ නෑ ඒ වගේ යාලුවෙක් ඒ වගේ දෙයක් කරාවි කියල," පූර්ණිමා මීගම්මන බීබීසී සිංහල සේවය සමග ඒ අමිහිරි අත්දැකීම විස්තර කළාය.
සිය මිතුරාගේ 'සයිබර් හිරිහැරය' හේතුවෙන් එදා තමන් බරපතල මානසික කඩා වැටීමකට ලක් වූ ආකාරය ඇයට තවමත් මතකය.
"එදා මට තිබුණ ලොකුම හයිය තමයි මගේ දෙමව්පියෝ සහ මගේ වටේ හිටපු අයට මේ ගැන දැනුමක් තිබීම. එයාල මට හුඟක් උදවු කළා."
එහෙත් එයින් සලිත වී මානසිකව බිඳ වැටෙනු වෙනුවට ඇය වෙනත් මගක් තෝරා ගත්තාය.
අන්තර්ජාලය ඔස්සේ එවැනි හිරිවලට ලක්වන ශ්‍රී ලංකාවේ තමා වැනිම තරුණ, තරුණියන් උදෙසා "විශේෂයෙන්ම තරුණියන්ට" එයින් මිදෙන මාර්ග පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් සකස් කිරීමයි, ඒ.
ඒ සඳහා ඇය සිය මිතුරු මිතුරියන් පිරිසක් ද සම්බන්ධ කරගත්තාය.
'Respect Girls on Internet' නමින් දියත් කළ ඒ වැඩසටහන වෙනුවෙන් ඇය දැන් ජාත්‍යන්තර සම්මානයකින් ද පිදුම් ලබා සිටියි.
ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටනය මූලස්ථාන කරගත් Internet Society සංවිධානයේ 25 වෙනි සංවත්සරය සැමරීම පිණිස අන්තර්ජාලය භාවිත කරමින් සිය සමාජය වෙනුවෙන් පුරෝගාමී මෙහෙයක යෙදෙන අන්තර්ජාල ක්‍රියාකාරීන් 25 දෙනෙකු තෝරාගෙන තිබේ.
ලොව පුරා වෙසෙන විසි පස් වෙනි විය නොසැපිරූ තරුණ තරුණියන් 25 දෙනෙකු '25 Under 25' නම් එම කණ්ඩායමට තෝරා ගෙන තිබෙන අතර, ඒ අතර සිටින එකම ශ්‍රී ලාංකිකයා ඇයය. 'සයිබර් බුලින්' වලට ගොදුරු වන තරුණියන් දැනුවත් කිරීම පිණිස 'Respect Girls on Internet' ව්‍යාපෘතිය ඇය දියත් කළ පළමු වැඩසටහනය.
"අපිට කරන්න ඕනේ වුනේ ඒ වගේ හිරිහැරවලින් වැලකිලා, ප්‍රවේශම් වෙලා අන්තර්ජාලයේ ඉන්න විදිහ දැනුවත් කරන්න. ඒකට අපි කෙටි චිත්‍රපට, චිත්‍ර කථා ඒ වගේ දේවල් හරහා තමයි අපි ඒ පණිවිඩය ගෙනියන්නේ."
"ඊට අමතරව අපි අන්තර්ජාලයේ ආරක්ෂාකාරීව ඉන්න විදිය ගැන සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂාවලින් 'සයිබර් පෞද්ගලිකත්වය' (Cyber privacy) ගැන අපි අත්පොතක් හැදුව. ඒක ඕනෑම කෙනෙකුට අපේ අඩවියෙන් බාගන්න පුළුවන්."
ඒ හැරුණු විට සිය කණ්ඩායම විවිධ පාසල් වෙත ගොස් 'සයිබර් බුලින්' වලින් ආරක්ෂාවීම පිළිබඳව වැඩමුළු පවත්වන බවත් ජාත්‍යන්තර ඇගයීමට ලක් වූ සයිබර් ක්‍රියාකාරිනිය, පූර්ණිමා මීගම්මන බීබීසී සිංහල සේවයට කියා සිටියාය.
"ඊට අමතරව අපේ තියන ෆේස්බුක් සයිට් එකක් Respect Girls on Internet කියල. ඒ වගේ හිරිහැරවලට ලක්වෙච්ච හුඟක් තරුණ අය කතාකරලා උදවු ඉල්ලනවා. අපි එයාලටත් උදව් කරනවා."
තරුණ, තරුණියන් සයිබර් හිරිහැරවලින් බේරා ගැනීම හැරුණු විට එහි දෙවැනි අදියරක් ලෙස ශ්‍රී ලාංකික තරුණියන් උදෙසා තවත් ව්‍යාපෘතියක් ද දියත් කිරීමට ඇය සූදානම් වෙයි.
"මේ ව්‍යාපෘතිය කරගෙන යනකොට අපි සොයාගත්තා හුඟක් වෙලාවට මේ හිරිහැරවලට හේතුව නොදැනුවත්කම වගේම ශ්‍රී ලංකාවේ තරුණියන් තොරතුරු තාක්ෂණය වගේ තාක්ෂණික අංශවලට නැඹුරුවක් නොදැක්වීම කියල. ඒ නිසා තරුණියන් තාක්ෂණික අංශවලට ඒම දිරිමත් කිරීමේ ව්‍යාපෘතියක් අපි පටන් අරන් තියෙනවා."
සැප්තැම්බර් 18 වැනි දින ලොස් ඇන්ජලීස් නුවර පැවැත්වෙන '25 Under 25' විශේෂ උළෙලේ දී පූර්ණිමා මීගම්මන ඇතුළු තරුණ, තරුණියන්ට සම්මාන ප්රදානය කිරීමට නියමිතය.
උපුටා ගැනීම සිංහල BBC සේවය