ඔස්ට්‍රේලියාවේ අන්ත දක්ෂිණාංශික සෙනෙට් සභිකයෙකුගේ ඔලුවටම බිත්තර ප්‍රහාරයක් එල්ල කළ විලියම් කොනොලි නම් 17 හැවිරිදි දඩබ්බර ඕස්ට්‍රේලියානු කොලුවෙකු මේ දිනවල ජාත්‍යන්තර පුවත් මවන්නෙකු බවට පත්ව තිබෙනවා.
නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් ප්‍රහාරයට දිනකට පසු සිදුවූ මෙම සිදුවීම වාර්තා වන්නේ ඔස්ට්‍රේලියාවේ මුරාබීන්හි දක්ෂිණාංශික රැළියක පැවති මාධ්‍ය හමුවක් අතරතුරයි.
විලියම්ගේ මේ ආන්දෝලනාත්මක ප්‍රහාරය ඇතුළත් වීඩියෝව ලොවපුරා සමාජ මාධ්‍ය තුළින් ප්‍රචාරය වීමත් සමඟම ඔහු බොහෝ පිරිසකගේ වීරයෙකු බවට පත්ව තිබෙනවා. ඔහුව දැන් හඳුන්වන්නේ බිත්තර කොලුවා (Egg Boy)යන අනවර්ථ නාමයෙන්. වීඩියෝවේ දැක්වෙන පරිදි ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ සෙනෙට් සභිකයකු වූ ෆ්රේසර් ඇනින්ග් මාධ්‍යවේදීන් ඉදිරියේ නවසීලන්ත ප්‍රහාරය වැනි සිදුවීම් ඇතිවීමට බලපෑ හේතු විග්රහ කිරීමට උත්සාහ කරනවා. ඔහුගේ පිටුපසටම වී ස්මාට් දුරකථනයකින් එම කථාව වීඩියෝ කරන මේ නසරානියා හොර පූසෙකු මෙන් යමක් කිරීමට කුරුමානම් අල්ලන බවක් පෙනී යනවා. එක වරම පිටුපසින් තම ඔලුගෙඩියටම එල්ල වන බිත්තර ප්‍රහාරයෙන් හොල්මන් වී යන සෙනෙට් සභිකයා කොලුවාට පහර දෙන්නට පනිනවා.
නවසීලන්තයේ ක්රයිස්ට්චර්චහි මුස්ලිම් දේවස්ථාන දෙකක් වෙත පසුගියදා සුදු අන්තවාදියකු විසින් එල්ල කරන ලද අමානුෂික වෙඩිප්‍රහාර වලින් පුද්ගලයන් 50 දෙනෙකු මියගියා. ඝාතකයා විසින් අදාල ප්‍රහාරය සමාජ මාධ්‍ය හරහා සජීවීව විකාශය කිරීම මහත් ආන්දෝලනාත්මක වූ අතර ලොවපුරා සාමකාමී සමාජය එයින් තිගැස්මට ලක්වුණා.
සෙනට් සභික ඇනින්ග්ද සිදුවීම හෙළාදැක ඇති නමුත් එවැනි සිදුවීම් ඇතිවීමට හේතු ඇති බවද සඳහන් කරනවා. ඔස්ට්‍රේලියාව හා නවසීලන්තය විසින් අනුගමනය කරන ලිහිල් ආගමන ප්‍රතිපත්ති හේතුවෙන් මුස්ලිම් සංක්‍රමණිකයන්ගේ ප්‍රමාණය වැඩි වී ඇති බවට ඔහු චෝදනා කළා.
බිත්තර ප්‍රහාරයෙන් පසුව ඇනින්ග්ගේ අනුගාමිකයන් විසින් අල්ලාගන්නා ලද විලියම් පොලීසියේ අත් අඩංගුවට පත්වෙනවා. ඔහුගේ නීතිමය කටයුතු වලට සහාය වීමේ හා ඔහුට වැඩි වැඩියෙන් බිත්තර ලබා ගැනීමේ අරමුණින් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් විසින් අරමුදලක් පිහිටුවනු ලැබුවා. හිටිවනම තරුවක් බවට පත් වූ තරුණයා වෙනුවෙන් රසික සමාජයක්ද ඇතිවූ අතර අද වන විට ඔහුගේ අරමුදලට ඇ.ඩො.50000/-ක් පමණ බැරවී තිබෙනවා.
තමන් මිනිසකු වීම පිළිබඳව ආඩම්බර වන බවත් මුස්ලිම්වරුන් යනු ත්රස්තවාදීන් නොවනවා සේම ත්රස්තවාදීන්ට ආගමක් නැති බවත් විලියම් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටිනවා.මුස්ලිම් ජනතාව ත්රස්තවාදීන් බවට සලකන සියලු දෙනා ඇනින්ග් මෙන්ම හිස් මිනිසුන් බවත් එහි වැඩිදුරටත් සඳහන් වෙනවා.
තමා වෙනුවෙන් ලැබුණු සියලුම මුදල් නවසීලන්ත ප්‍රහාරයෙන් විපතට පත්වූවන් වෙනුවෙන් යොදවන මෙන් බිත්තර කොලුවා තම මිතුරන්ගෙන් ඉල්ලා තිබෙනවා.
-ශානක මධුශාන් ලියනගම-
2019|03|21 (The Guardian|CNN)