ලිංගිකත්වය සම්බන්ධයෙන් ඉංග්‍රීසි යුගයේ පනවනු ලැබූ 'වික්ටෝරියානු සදාචාරයේ' පීඩාකාරී නීති අහෝසි කිරීම සඳහා ගෙන එනු ලැබූ යෝජනාවක් පසුගිය කැබිනට් මණ්ඩලයේදී බරපතල ලෙස සංවාදයට ලක්ව ඇති අතර, එමඟින් සමලිංගිකත්වයට අනියමින් අවසර ලැබෙන බැවින් ඇමතිවරුන් කිහිපදෙනෙකු ඊට දැඩි ලෙස විරෝධය පළකර තිබේ.
ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ සංස්කෘතියක් පවතින රටක් බැවින් ඊට අභියෝගයක් වන කිසිදු දෙයකට ඉඩ ලබා දිය නොහැකිය යන පදනමෙන් ජනාධිපතිවරයා ද මෙම විරෝධය මතුකර ඇත.
යුරෝපා සංගමය විසින් ලබාදීමට නියමිත GSP+ (Genaralised Scheme of Preferences) සහන සඳහා ශ්‍රී ලංකාව විසින් ඉදිරිපත්කල යුතුව ඇති මානව හිමිකම් ක්‍රියාකාරී සැලැස්ම (National action plan for the protection and promotion of human rights 2017-2021) වැඩබලන විදේශ අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කල අවස්ථාවේදී මෙම සංවාදය මතුව තිබේ.
තවදුරටත් සංශෝධනය කිරීමට :
GSP+ ප්රදානය කිරීමේ කොන්දේසිවලට අනුව ශ්‍රී ලංකා රජය, යුරෝපා සංගමය විසින් නීර්ණය කරන ලද ජාත්‍යන්තර සම්මුතීන් 27 ක් දේශීයව බලාත්මක කිරීම සිදු කළ යුතුය.
එම කොන්දේසි පිළිගැනීම සහ ඒ සඳහා වන ක්‍රියාකාරී සැලැස්මක් ද ශ්‍රී ලංකාව ඉදිරිපත් කළ යුතුව ඇත.
නමුත් මූලික වශයෙන් එම කොන්දේසි ශ්‍රී ලංකා රජය විසින් පිළිගෙන තිබුණ ද ඒ සඳහා වන ක්‍රියාකාරී සැලැස්ම සහිත වාර්තාව යුරෝපා කොමිසම වෙත මෙතෙක් ඉදිරිපත් කර නොමැත.
එහි ඇති ඇතැම් වගන්ති සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විරෝධය පළ කිරීම නිසා එම වාර්තාව තවදුරටත් සංශෝධනය කිරීමට සිදුව ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
ජාතික ආරක්ෂාවට, රටේ සංස්කෘතියට සහ රටේ ස්වාධිපත්‍යයට බලපෑම්සහගත වන කොන්දේසිවලට යටත්ව විදේශ සහන ලබා ගැනීමට තමා එකඟ නොමැති බව ජනාධිපතිවරයා කළ දැනුම් දීමෙන් පසුව විවාදයට තුඩුව තිබෙන කාරණා සංශෝධනය කර එම වාර්තාව යුරෝපා කොමිසම වෙත පිළිගැන්වීමට අගමැතිවරයා තීන්දු කර ඇත.
කෙසේ නමුත් පසුගිය 12 වන දින මෙම වාර්තාව යුරෝපා කොමිසම වෙත ලබා දීමට නියමිතව තිබිණි.
ඇද බැඳ තබා ගැනීම :
සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම්, වද හිංසා වැළැක්වීම, කාන්තා අයිතිවාසිකම්, අවතැන් වූවන් සහ සරණාගතයන්ගේ අයිතිවාසිකම්, සංක්‍රමික ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම්, ආබාධිතයන්ගේ අයිතිවාසිකම්, ආර්ථික සමාජ සහ සංස්කෘතික අයිතිවාසිකම්, ළමා අයිතිවාසිකම්, කම්කරු අයිතිවාසිකම්, පාරිසරික අයිතිවාසිකම් යන විෂය යටතේ එම හිමිකම් ආරක්ෂා කිරීම සඳහා රජය ඇද බැඳ තබා ගැනීම මෙම GSP+ සහනය ලබා දීමේ දී අරමුණ වී තිබේ.
මේ වන විට ලෝකයේ රටවල් 10 කට GSP+ සහනය ලැබී තිබේ.