මහගම සේකර මහතා "ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත" නම් පැරණි කියමන මුසාවක් බවට පත් කරමින් ක්ෂේත්ර රැසකම සිය දක්ෂතා ප්රකට කල අමරණීය කලාකරුවෙක්.
තමන්ගේම නවකතාවක් ඇසුරින් සිංහල චිත්රපටයක් අධ්යක්ෂණය කල ලංකාවේ මුල්ම අධ්යක්ෂවරයාත් ඔහුයි. ඒ සේකර මහතා නිර්මාණය කල මුල්ම සහ එකම චිත්රපටය වූ "තුං මං හන්දිය".
වරක් ලංකාවේ හොඳම සිංහල චිත්රපට දහය අතරට පවා "තුං මං හන්දිය"චිත්රපටය ඇතුලත් වුනා. සේකර මහතාගේ දක්ෂතාවට එයම හොඳ සාක්ෂියක්.
'තුං මං හන්දිය" නවකතාවට පසුබිම් වූයේ සේකර මහතාගේම පෞද්ගලික අත්දැකීම් බව කියැවෙනවා. දක්ෂ චිත්ර ශිල්පියෙක් ද වු සේකර මහතා චිත්රපටයේ එන රූප රාමු ,කැමරා කෝණ සහිතව සිතුවමට නැගූ බව කියැවෙනවා. චිත්රපටය රූගත කිරීමේදී කැමරා ශිල්පියාට එය ඉතා උපකාරී වන බවත් කිව යුතුයි. තිර රචනය ලිවීමේදී රූප රාමු චිත්රයට නැගීමේ ක්රමය සත්යජිත් රායි පවා අනුගමනය කර ඇති බව කියැවෙනවා. රායි ද සේකර මහතා මෙන් දක්ෂ චිත්ර ශිල්පියෙක්.
තුං මං හන්දිය චිත්රපටය නැරඹීමේදී එහි රූපරාමු පිළිබඳව අධ්යක්ෂවරයා දක්වා ඇති අවධානය දැක ගන්න පුළුවන්.
"තුං මං හන්දිය" වාණිජමය වශයෙන් අසාර්ථක වු චිත්රපටයක්. මෙය සංවේදී මිනිසෙක් වූ සේකර මහතාගේ දැඩි ශෝකයට හේතු වූ බව කියැවෙනවා. මේ කරුණ සම්බන්ධයෙන් සිත් තැවුලට පත්වූ ඔහු උද්යානයකට ගොස් තනිව බොහෝ වෙලා හැඬූ බවත් කියැවෙනවා.
දක්ෂතා රැසකට හිමිකම් කිවූ මේ සංවේදී මිනිසා හෘදයාබාධයකින් අකාලයේ සමු ගන්නේ ඉදිරියේදී විශිෂ්ට සිනමා නිර්මාණ බිහි කිරීමට හැකියාව තිබූ සිනමාකරුවෙක් සිංහල සිනමාවට අහිමි කරවමින්.
සේකර මහතාගේ එකම චිත්රපටය වූ "තුං මං හන්දිය" චිත්රපටය පුරාම දැක ගත හැකි එක් සාධනීය ගුණයක් තිබෙනවා.
ඒ අව්යාජ බවයි.
රුවින්ද කොල්ලුරේ - The Cinema People