ගුණදාස කපුගේ විසින් සංගීතවත් කරන ලද 'පන්සල් වැලපිල්ල' ගීතය ඔහුගේ ජනප්‍රිය 'කම්පන' සංගීත ප්‍රසංගයේදී ගායනා කරන ලද ගීතයකි. සුප්‍රසිද්ධ ශ්‍රී ලාංකේය සංගීතවේදියෙකු මෙන්ම මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකුද වන ගුණදාස කපුගේ විසින් සංගීතවත් කරනු ලැබ ගායනා කරන ලද මෙම ගීතය රත්න ශ්‍රී විජේසිංහ විසින් රචනා කරන ලද්දකි.
1988 ඔක්තෝම්බර් 22 වැනිදා පැහැර ගනු ලැබූ වෛද්‍ය ශිෂ්‍ය ත්‍රිමා විතාණ ඝාතනය පදනම් කර ගත් 'පන්සල් වැල්පිල්ල' - මෙම ගීතය ඉතා සංවේදී එකක් වන්නේ සැබැවින්ම ත්‍රිමාගේ ඝාතනය එවකට බොහෝ තරුණ ජීවිත ඝාතනය කෙරුණු ආකාරය පෙන්වන ඉතා සාහසික ඝාතනයක් වීම හේතුවෙනි.
වැල්ලවාය, කොස්ලන්ද මාර්ගය අසලදී ත්‍රිමා විතානට වධ හිංසා කොට, ඔහුගේ සිරුර සිගරට්වලින් පුළුස්සා, නියපොතු ගලවා, යටිපතුල් ගැලවී, ඇස් උගුල්ලා දමා, පරාල ඇණ හිසට ගසා කඹයක් බැඳ ජීප් රථයකින් පාර දිගේ ඇදගෙන ගොස් පුළුස්සා දමා ඇති බවට අනාවරණය වූවකි.
ගුණදාස කපුගේ නම් සංගීතවේදියා මෙම තරුණ සංහාරයෙන් අනතුරුව එළඹි කාලයේදී 1990 අගෝස්තු 25 වැනිදා ලුම්බිණි රඟහලේදී ඔහුගේ ඒක පුද්ගල සංගීත නිෂ්පාදනය වන "කම්පන" ආරම්භ කළ අතර මෙම ප්‍රසංගය සිංහල සංගීත ක්ෂේත්‍රයේ නවමු අත්දැකීමක් සනිටුහන් කළ එකක් විය.
වසර දෙකකටත් අඩු කාලයක් තුළදී කපුගේ විසින් "කම්පන" ප්‍රසංග දහසකට අධික ප්‍රමාණයක් රට පුරා ප්‍රදර්ශනය කරන ලද අතර ප්‍රේක්ෂකයන්ගේ ඉල්ලීම පරිදි පැය දෙකේ ප්‍රසංගය පැය තුන දක්වා දීර්ඝ කිරීමටද කපුගේට සිදු විය.
කපුගේගේ මෙම සමාජ හිතකාමී ස්ථාවරය හේතුවෙන් කිහිප වතාවක්ම ඔහු සේවය කළ ශ්‍රී ලංකා ගුවන්විදුලියේ සේවයෙන් ඔහු පහ කෙරුණු නමුත්, ඝාතන විරෝධී සිය ස්ථාවරය කපුගේ මියෙන තුරු වෙනස් කළේ නැත.
Gee Ceylon යූටියුබ් නාලිකාව ඇසුරිනි