දීර්ඝ කාලයක් අඛණ්ඩව ජනමාධ්‍ය ක්ෂේත්රයේ නිරතවූ මේ දක්වාද නිරත වන සැබෑ ජනමාධ්‍ය විශිෂ්ටයින් ලෙස ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදීන් පස් දෙනෙකුට ජීවිතයේ එක් වරක් පමණක් පිරිනැමෙන 'දීර්ඝ සේවා සම්මාන' පිරිනැමීම පසුගියදා ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් පවත්වනු ලබන ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උළෙලේදී සිදු විය.
ජනමාධ්‍ය ක්ෂේත්රය වෙනුවෙන් සිය දිවිය තුළ කළ සුවිශේෂී කාර්යභාරය වෙනුවෙන් බෙනට් රූපසිංහ, එම්.එන්. අමීන්, චන්ද්‍රිකා විජේසුන්දර, සැනීටා කරීම් සහ එස්. යෝගමූර්ති යන ප්‍රවීණයෝ මෙහිදී ඇගයුමට ලක්වූහ.
ශ්‍රී ලංකා කර්තෘ සංසදය සහ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය ඒකාබද්ධව සංවිධානය කළ මෙම සම්මාන උළෙල ජනමාධ්‍යයේ වෘත්තීය ප්‍රවීණත්වය හඳුනා ගැනීම සහ එහි විශිෂ්ටත්වයට පත්වූවන් අගය කිරීම සඳහා පැවති අතර මෙවර සම්මාන උළෙලේ දී වර්ගීකරණයන් 18ක් වෙනුවෙන් සම්මාන පිරිනැමිණි.
මෙහිදී 2023 වසරේ දී සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම ජාතික පුවත්පත්වල පළ වූ පුවත් සහ විශේෂාංග ඇතුළු කරුණු පදනම් කරගෙන විවිධ අංශ සඳහා සම්මාන 51ක් පිරිනැමුණු අතර වර්ගීකරණ 18ක් සඳහා සේවයේ නිරත වන ජනමාධ්‍ය ක්රියාකාරිකයෝ බොහෝ ගණනක් මෙහිදී සම්මාන ලැබූහ.