lan englan tam

පුවත්

"මාව සිනමා රසිකයෙක් විදිහට හිතන්න; ජාතික චිත්‍රපට අරමුදලක් හදන්න ඕනේ!" - ඇමති හිනිඳුම සුනිල් සෙනෙවි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

විචක්ෂණශීලි දේශපාලන නායකත්වයක් නොමැති වීම හේතුවෙන් සිනමා ක්ෂේත්‍රයේ ගැටලු විසඳා ගැනීමට නොහැකි වූ බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ඇමති, ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි පසුගියදා (21) ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී පැවැති දේශී කථානාද සිනමාවට වසර 78කුත් චිත්‍රපට සංස්ථාවට වසර 53කුත් සපිරීමේ උත්සවයට සහභාගි වෙමින් පැවසීය. 


"මාව චිත්‍රපට රසිකයෙක් ලෙස සලකන්න. මගේ අමාත්‍යාංශය යටතේ ඇති ආයතන 26න් එකක් චිත්‍රපට සංස්ථාව. චිත්‍රපටි සංස්ථාව භාර දෙන්නේ කාටද කියලා හිතනකොට මට මතක් වුණේ සුදත් මහදිවුල්වැව. ඒ පත්කිරීම නිවැරදි බව අද පෙනෙන්න තිබෙනවා.
1925දී 'රාජකීය වික්‍රම'යේ ප්‍රධාන චරිත රඟපෑ ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා මුදල් ඇමැතිවරයාව සිටියදී චිත්‍රපටි සංස්ථාව ඇරඹුවා. ආචාර්ය සරත් අමුණුගම එහි ප්‍රථම සභාපති. එදා සිරිමාවෝ මැතිනියගේ මැතිවරණ සටනේදී රාජ්‍ය සිනමා සංස්ථාවක් ඉල්ලුවා. ශ්‍රී ලංකාව ජනරජයක් වෙනකොටම රාජ්‍ය චිත්‍රපට සංස්ථාව ලැබුණා.
බී.ඩබ්. ජයමාන්න යුගයේ සිට මේ මොහොත දක්වා කර්මාන්තයේ නොවිසඳුණු ප්‍රශ්න රැසක් තිබෙනවා. මේ ගැටලු නොවිසඳුණේ අපට හොඳ දේශපාලන නායකත්වයක් බිහි කර ගන්න බැරි වුණ නිසයි. ඔබ 'ක්ලීන්' සිනමාවක් බලාපොරොත්තු වෙනවා. චිත්‍රපටි බෙදා හැරීමේ ක්‍රමවේදය යුක්තිසහගත කරගන්න ඔබට අවශ්‍යයි. අපට එක මේසයක කතා කරලා නොවිසඳුණු ගැටලු කඩිනමින් විසඳාගෙන රට නිසි මඟකට යොමු කරගන්න පුළුවන්.
අපේ අමාත්‍යාංශවල තියෙන්නේ අපේ වයස වගේ දෙතුන් ගුණයක් වයස පනත්. මේවා නැවත සලකා බලන්න ඕනේ. චිත්‍රපට සංස්ථාවේ හිටපු සභාපතිවරුන් විශාල වැඩ කොටසක් සිදු කළා. හැබැයි විචක්ෂණශීලී දේශපාලන නායකත්වයක් නොවූ නිසා අපේ සිහින සැබෑ වුණේ නෑ. සිනමාවට සම්බන්ධ ක්ෂේත්‍රවල ශිල්පීන්ගේ ප්‍රශ්න කර්මාන්තයක් ලෙස විසඳිලා නෑ. මේ ප්‍රශ්න විසඳන්න අවංක කැපවීමක් අපි පළ කරනවා. ජාතික චිත්‍රපට අරමුදලක් හදන්න ඕනේ. ඒ වගේම ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා බලාපොරොත්තු වූ චිත්‍රපට සංරක්ෂණාගාරයක් හදන්න ඕනේ. චිත්‍රපට පාසල ඉදි කරන්න ඕනේ. විශ්වවිද්‍යාලවල, පාසල්වල සිනමා සමාජ හදනවා.
ඔබේ උවමනාවයි දේශපාලන උවමනාවයි අතර එදා පරතරයක් තිඹූ නිසයි ප්‍රශ්න විසඳුණේ නැත්තේ. අද එහෙම පරතරයක් අපි අතර නෑ. සිනමාවට සම්බන්ධ සෑම ක්ෂේත්‍රයකම ප්‍රශ්න එක මේසයකදී සාකච්ඡා කර විසඳා ගමු." ඇමතිවරයා පැවසීය.
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය ඇමති ගමගෙදර දිසානායකද මෙම අවස්ථාවට සහභාගි වූහ.
මේ අවස්ථාවට කලාකරුවන් රැසක් සහභාගී වූ අතර, චිත්‍රපට සංස්ථාව ස්ථාපිත කළ එවකට අග්‍රාමාත්‍යවරියව සිටි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට පුෂ්පෝපහාර දැක්වීම සහ සංස්ථාවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් දෙදෙනකු අගයා සම්මානයට පාත්‍ර කිරීම ද මෙහිදී සිදු විය.

Back to top
Go to bottom