lan englan tam

පුවත්

විශාල පිරිසක් එක්ක හිටිය ආනන්දට අද ඉන්නේ අපි විතරයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

– පොල් සම්බෝලයි බතුයි කන්න

හරි මම නළුවෙක් බඳින්න කැමතියි කියලයි ගෙදර අයට කිව්වේ

– ඇ‍‍‍ඟේ හයිය තියෙනකං වැඩ කළත් බැරි වුණාම ජීවත් වෙන්න ස්ථිර වැඩපිළිවෙළක් නැහැ
– “තමුන් කරන වැඩේ හරියට කරන්න තමුන්ට හොඳ අනාගතයක් තියෙන බව මට පේනවා. හරියට වැඩ නොකළොත් තමුන්ට අනාගතයක් නැති වෙයි – ගාමිණි ෆොන්සේකා දවසක් මට එහෙම කිව්වා
– පැමිණි මඟ හැරිලා බලද්දි අතීතය ගැන සතුටක් වගේම වර්තමානය ගැන දුකකුත් දැනෙනවා

සැපේදිත්, දුකේදිත් සෙවණැල්ල සේ ළඟින් සිට සසර ආ පුරුදු ලෙස ආදරය, රැකවරණය අදත් සමසිත්ව දෙන ඇය මානෙල් වානගුරු නම් වන්නීය. ඇයගේ ආදරය, රැකවරණය ලබන ඔහු ආනන්ද වික්‍රමගේ ය. සිංහල සිනමාවේ ඉතා දක්ෂ රංගන ශිල්පියෙක් වූ ඩඩ්ලි සැමුවෙන් වානගුරුගේ ආදරණීය දියණිය ඇයයි. තම පියා අතීතයේ රඟපෑ “එදා රෑ, හදිසි විවාහය, ගැහැනු ගැට, පටාචාරා” වැනි චිත්‍රපට බොහෝමයක් අදටත් රසික සහෘදයින්ගේ මතකයේ ඇත. ඔහුගේ ආභාසයෙන් සිනමා රංගනයට පිවිසි මානෙල් වානගුරු සිනමාව පමණක් නොව වේදිකා නාට්‍යවල ද ටෙලි නාට්‍ය ගණනාවක ද රංගනයෙන් දායක වී ඇත. විශේෂයෙන් හාස්‍ය රංගනයෙහි ද ඉතා දක්ෂ වූ ඇය විවාහ වන්නේ ද රංගනයෙන් බොහෝ ජනප්‍රියත්වයක් ලැබූ ආනන්ද වික්‍රමගේ සමඟය. මේ දෙපළගේ පුතුන් දෙදෙනා වන ජනිත් වික්‍රමගේ සහ ස‍ංකෙත් වික්‍රමගේ ද රංගනයෙහි දක්ෂයෝ ය.

රංගන ක්ෂේත්‍රය දෙස ආපසු හැරිලා බලද්දි අද මොකද හිතෙන්නේ…?

පැමිණි මඟ හැරිලා බලද්දි අතීතය ගැන සතුටක්, වර්තමානය ගැන දුකකුත් දැනෙනවා. මුල් කාලයේත්, මැද කාලයේත් අපට ඉතා හොඳ නිර්මාණ ලැබුණා. ක්ෂේත්‍රයේ හැමෝගෙම පිළිගැනීම, සහාය ලැබුණා. ප්‍රවීණත්වයට ගරුත්වයක් තිබුණා. ඒ නිර්මාණ එක්ක සෑම අංශයකින්ම දක්ෂ පිරිසක් එක්ක අපි වැඩ කළා. නිර්මාණයට අවංකව හැමෝම කැපවුණා. ඒ නිසාම සාමූහිකව කළ ඒ නිර්මාණ ඉතා සාර්ථක වුණා. සිනමා ශාලා පිරී ඉතිරී ගියා. වර්තමානය වනවිට ඒ සාර්ථක බව බොහෝ සෙයින් අඩු වෙලා තියෙනවා. මේ ක්ෂේත්‍රයේ අවංකයින් අතර සටකපටයින් අද මතු වෙලා ඉන්නවා. ඉතා අඩු මුදලට කලාකරුවන්ගෙන් වැඩ අරගෙන සමහර අවස්ථාවල ගෙවීම් පවා පැහැර හරිනවා. මමත් එවැනි අවස්ථා කිහිපයකට මුහුණ දුන්නා. ඒවා හරිම පහත් වැඩනේ. අද තියෙන තරගකාරී බවත් එක්ක නිර්මාණවල ගුණාත්මක බව වැඩි වෙන්න ඕනේ වුණත් මේ සටකපටයින් නිසා නිර්මාණ බංකොලොත්භාවය ඉහළ ගිහින් තියෙනවා. හොඳ දක්ෂ ශිල්පීන් බහුතරයක් අද නිර්මාණයකට දායක වෙන්නේ තෝරා බේරා ගැනීමක් කරලායි. ඉස්සර එහෙම නැහැ. බිහි වුණෙත් හොඳ නිර්මාණ මයි. ඒවාට ආරාධනා ලැබුණාම ප්‍රතික්ෂේප කරන්න පෞද්ගලික බාධා හැර වෙනත් හේතු කලාකරුවන්ට තිබුණේ නැහැ. මේ ක්ෂේත්‍රයට වයස ප්‍රශ්නයක් නැහැ. දෙනවක හාමිනේ, අයිරාංගනී සේරසිංහ, ජෝ අබේවික්‍රම වගේ ශිල්පීන් වයසට ගිහිල්ලත් හොඳට රඟපෑවා. අදටත් මේ ක්ෂේත්‍රයට ආදරයක්, ගෞරවයක් ඇතිව උසස් කලා කෘති සමාජගත කිරීමෙහිලා කැප වන අවංක පිරිසකුත් ඉන්නවා. ගල් බොරලු අතර ඉඳ හිට මිණිකැට වගේ මතු වන නිර්මාණ ඒවායි.

 

ඔබ මේ දිනවල කාර්ය බහුල වෙලා නේද…?

කලා නිර්මාණ කිහිපයකටම සම්බන්ධ වුණා. ටෙලි නාට්‍ය කිහිපයකුත් මේ වනවිට විකාශය වෙනවා. සිරස මායාවී සඳුන් රාජකරුණාගේ අධ්‍යක්ෂණයක් ලෙස විකාශය වෙනවා. ලාල් ප්‍රියදේවගේ චිත්‍රපටයක් සහ තවත් චිත්‍රපටි කිහිපයකම රඟපෑවා. තව ආරාධනා කිහිපයකුත් ලැබිලා තියෙනවා.

රඟපෑමට සම්බන්ධ වෙනවාට දෙමව්පිය කැමැත්ත ලැබුණාද…?

තාත්තා රංගන ශිල්පියෙක් නිසා මම රඟපානවාට තාත්තා අකැමති වුණේ නැහැ. නමුත් තාත්තාට ඕනෑ වුණේ මාව අධිනීතිඥවරියක් කරන්නයි. අම්මාගේ කැමැත්ත තිබුණේ මම ගුවන් සේවිකාවක් වෙනවා දකින්න යි. නමුත් නිළියක් වීම ගැන දෙන්නාම සතුටු වුණා. බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්නගේ ‘වන ලිය‘ චිත්‍රපටයට තමයි මම මුලින් ම සම්බන්ධ වුණේ. එතකොට වයස අවුරුදු හතයි. පාසලෙන් කැමති වුණේ නැහැ මම රඟපාන්න යනවාට. මම පාසලේ ක්‍රීඩා, කලා කටයුතු බොහොමයක් කළ නිසා පාසලෙත් ජනප්‍රිය වෙලා හිටියා. පාසලෙන් පස්සේ මම මහරාජා ආයතනයට සම්බන්ධ වෙලා රැකියාවක් කළා. ඒ කාලේ තමයි සේන සමරසිංහගේ ‘සදහට ම ඔබ මගේ‘ චිත්‍රපටයට සම්බන්ධ වෙන්න ලැබුණේ. ඒකත් එක්ක මට චිත්‍රපට ගණනාවක රඟපාන්න අවස්ථාව ලැබුණා. සේන සමරසිංහගේ චිත්‍රපට බොහෝමයක මම රඟපෑවා. ප්‍රවීණයින්ගේ ඇසුර ලැබුණා.

රංගන ජීවිතයේ සාර්ථකත්වයට හේතු වූ අතීත අත්දැකීම් මොනවාද…?

ප්‍රවීණයින්ගේ සහාය, මනා පුහුණුවක් හා මඟ පෙන්වීමක් ලැබීම රංගනයේ සාර්ථක බවට හේතු වුණා. ඒ අතර සිනමා සක්විති ගාමිණි ෆොන්සේකා මහතාගෙන් මට ලැබුණු අවවාදය මගේ රංගන ජීවිතය සාර්ථකව මේ තරම් දුරකට ගෙන එන්න ප්‍රධාන හේතුවක් වුණා. ‘නිල්ල සොයා‘ චිත්‍රප‍‍ටයේ රඟපාද්දි ගාමිණි ‍ෆොන්සේකා මහත්මයා දවසක් මම රඟපානවා දැකලා මගේ ළඟට ඇවිත් “තමුන් කරන වැඩේ හරියට කරන්න. තමුන්ට හොඳ අනාගතයක් තියෙන බව මට පේනවා. හරියට වැඩ නොකළොත් තමුන්ට අනාගතයක් නැති වෙයි” කියලා කිව්වා. ඒක මගේ හිතට හොඳට දැනුණා. ටෙලි නාට්‍ය පනහක විතර, චිත්‍රපට එකසිය පනහක විතර මම රඟපාලා තියෙනවා. හාස්‍ය චරිත වගේම නපුරු චරිතත් රඟපෑවා. ඒ අතරින් ‘තාරා දේවි’ නාට්‍යයේ කළ නපුරු චරිතයත් බොහෝ ම ජනප්‍රිය වුණා.

ඔබට ලැබුණු සම්මාන ගැනත් මතක් කරමු ද…?

අසූ ගණන්වල මට නැඟී එන හොඳම නිළිය ලෙස දීපශිකා සම්මානය ලැබුණා. වැනීසියේ වෙළෙන්දා නාට්‍යයටත් කුසලතා සම්මාන ලැබුණා. 2021දි ජීවිතයේ එක් වරක් පමණක් හිමි වන යූ. ඩබ්ලිව්. සුමතිපාල සම්මානය ලැබුණා. ජනවාරි 06 වැනිදා මං වෙනුවෙන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී ලොකු උත්සවයක් පවත්වමින් සම්මාන ජීවිතයේ එක් වරක් පිරිනමන සම්මානයක් ලබා දෙමින් ඇගයීමක් කළා. සබ්‍රිණා ෆාරිස් මහත්මිය සහ ඇයගේ පවුලේ සැම එකතුවෙලා ඒ ඇගයීම් උලෙළ සංවිධානය කර තිබුණා. ආනන්ද වික්‍රමගේ කලාකරුවා ඇගයීමක් පසුගිය මාසේ එකොළොස් වැනිදා සුදර්ශි ශාලාවේදී සුදර්ශි කලා එකමුතුව විසින් සංවිධානය කරලා පැවැත්වූවා. එ් හැමෝටම අපි දෙන්නා ස්තුතිවන්ත වෙනවා.

ආනන්ද වික්‍රමගේ ඔබට හමු වන්නේ කොහොමද…?

ටෝනි රණසිංහ සහ බන්දුල විතාන‍ගේ නිර්මාණය කළ ‘වැනිසියේ වෙළෙන්දා‘ නාට්‍යයේ පෝෂියාගේ චරිතය රඟපාන්න මට ලැබුණා. එම නාට්‍යයේ බැසෑනියෝගේ චරිතයට ආනන්ද වික්‍රමගේ පසුව සම්බන්ධ වුණා. ඔහු සුගත් සමරකෝන්ගේ නාට්‍යයක දේශපාලුවාගේ චරිතය රඟපානවා මම ඊට පෙර දැක තිබුණා. නාට්‍ය පුහුණුවීම් කරද්දි අපි ඇසුරු කළාට ප්‍රේම සම්බන්ධයක් තිබුණේ නැහැ. පස්සේ එහෙම අදහසක් ඇති වුණාම මගේ ලොකු අයියා ඒකට ගොඩාක් විරුද්ධ වුණා. රඟපෑමෙනුත් අයින් වෙලා ගෙදර ඉන්න කිව්වා. නළුවෙක් ඔයාට ගැළපෙන්නේ නැහැ කිව්වා. මම ඒ වෙලාවේ අයියාට සහ ගෙදර හැමෝටම කිව්වේ ‘පොල් සම්බෝලයි බතුයි කන්න හරි මම නළුවෙක් බඳින්න කැමතියි’ කියලා යි. එහෙම තමයි ආනන්දයි මමයි 1983 දී විවාහ වුණේ. අපි දෙන්නා නිර්මාණ ගණනාවකට එකට සම්බන්ධ වුණා. දැන් නම් ආනන්ද අසනීප වෙලා ගෙදර ඉන්නවා. එයා රඟපාන්න යන්නේ නැහැ. ආනන්දගේ අසනීපවලට බෙහෙත්වලට ඩොක්ටර් ළඟට එක්කගෙන යන්න ලොකු වියදමක් යනවා. පුළුවන් හැටියට අපි ඒ දේවල් කරගන්නවා. පුළුවන් කාලේ කොච්චර හම්බ කළත්, යම් ප්‍රමාණයක් ඉතුරු කළත් වියදමක් කරන්න ලෙඩක් දුකක් හැදුණාම අද කාලේ තියෙන වියදම් එක්ක ඉතුරු කරන මුදල ප්‍රමාණවත් වෙන්නේ නැහැ. පරිණත ප්‍රවීණ රංගන ශිල්පීන් වෙනුවෙන් චිත්‍රපට සංස්ථාවෙන් සුලු මුදලක් ගෙවනවා. නමුත් ඒ මුදල අද කාලෙට ප්‍රමාණවත් නැහැ. අපේ රටේ කලාකරුවන් බොහෝමයකට මේ තත්ත්වය පොදුයි. අපි අනුන් සතුටු කරන්න ජිවිතයම කැප කළා නේද කියලා හිතලා කවුරුත් ඇවිත් අපිව සතුටු කරන්නේ නැහැ. කලාකරුවන් බොහෝ දෙනෙක් ජීවිතයේ අවසන් කාලයේ අසරණ වෙන්නේ මෙන්න මේ නිසයි. අනාගත රැකවරණයක් ඔවුන්ට තිබිය යුතුයි. වයස සීමාවක් නැතුව කලාව වෙනුවෙන් ඇ‍‍‍ඟේ හයිය තියෙනකන් වැඩ කළත් බැරි වුණාම ජීවත් වෙන්න ස්ථිර වැඩපිළිවෙළක් නැහැ. ඒක ලොකු අඩුපාඩුවක් මේ ක්ෂේත්‍රයේ හැමෝට ම බලපානවා. ඉතින් මම ආනන්දගේ වැඩ ටික කරගෙන ගෙදර වැඩ ටිකත් මගේ අතින් ම කරලා වෙලාව කළමනාකරණය කරගෙන කලා කටයුතුවලටත් සම්බන්ධ වෙනවා. ජනිත් ලොකු පුතා අපි දෙන්නා ළඟම සෙවණැල්ල වගේ ඉඳගෙන අපි දෙන්නාගේම හැම දේකටම උදව් කරනවා. සංකෙත් පොඩි පුතා විවාහ වෙලා විදේශගත වුණා. එයාලාටත් දැන් පුංචි පුතෙක් ඉන්නවා. පුතාලා දෙන්නාම ඉගෙන ගත්තේ කොළඹ රාජකීය විද්‍යාලයේයි. පාසල් කාලයේ සිට ම ඒ දෙන්නා නාට්‍ය රංගනයටත් දක්ෂතා දැක්වූවා. ජනිත් රංගන කටයුතුත්, නිවේදන කටයුතුත් කරනවා. සංකෙත්ටත් රංගන ක්ෂේත්‍රයේ ලොකු ඉල්ලීමක් තියෙනවා. එයා ලංකාවට ආව වෙලාවට නිර්මාණ කටයුතුවලට සම්බන්ධ වෙනවා.

ආනන්ද වික්‍රමගේත් කුඩා කල පටන් කලාවට දක්ෂ සහ කලා කටයුතු බොහොමයකට සම්බන්ධ වුණු කෙනෙක් නේද…?

ඔව්. ආනන්ද පුංචි කාලේ ඉඳලා පන්සලත් එක්ක දහම් පාසලත් එක්ක බැඳුණු කෙනෙක් හැටියට දහම් පාසලේ නාට්‍ය, ගායනා ආදි නොයෙකුත් කලා කටයුතුවලට සම්බන්ධ වෙලා තියෙනවා. එයා කොල්ලුපිටියේ ඉපදිලා කොල්ලුපිටියේ පොල්වත්ත පන්සලත් එක්ක සමීපව කටයුතු කර තිබුණා. එයාගේ තාත්තා දුම්රිය දෙපාර්තමේන්තුවේ රැකියාව කළා. ආනන්ද පවුලේ බාලම දරුවා. එයා කොළඹ ඉසිපතන මහා විද්‍යාලයේ අධ්‍යාපනය හදාරා තිබුණා. එම පාසලේ ගුරුවරයෙක් ලෙස එවකට අති දක්ෂ රංග ශිල්පියෙක් වූ උපාලි අත්තනායක මහතා සේවය කර තිබුණා. ඔහුගේ නාට්‍ය බලන්න යන්න ආනන්දට ආරාධනා පත්‍ර, ටිකට් පත් උපාලි අත්තනායක මහතා ලබා දී තිබුණා. එහෙම තමයි ආනන්ද කලාවට බැ‍ඳෙන්න පටන් අරන් තියෙන්නේ. උපාලි වනසිංහගේ ‘සයිලාසනය’ නාට්‍යයට මුලින් ම සම්බන්ධ වෙලා තිබුණා. ඊට පස්සේ තමයි ‘වැනිසියේ වෙළෙන්දා’ නාට්‍යයට ඔහු සම්බන්ධ වුණේ. ඔහු රඟපෑ ‘උතුරේ රාහුල’, ‘අමල් බිසෝ’, ‘නල්ලතම්බි’, ‘නෙයිනාගේ සූදුව’ වගේ නාට්‍ය බොහෝ ජනප්‍රිය වුණා. 1976 වර්ෂයේදී හොඳම නළුවා සම්මානයත් ලැබුණා. ඊට පස්සේ චිත්‍රපට ගණනාවකත් එයා රඟපෑවා. මුලින් ම “චූඩා මාණික්‍ය” චිත්‍රපටයේ රඟපෑවා. මිල්ටන් ජයවර්ධන‍ගේ චිත්‍රපට කිහිපයක ම රඟපෑවා. යසපාලිත නානායක්කාරගේ “පටලැවිල්ල” ‍ටෙලි නාට්‍යයේ ආනන්ද ද්විත්ව චරිත නිරූපණයක නිරත වුණාට පස්සේ දිගින් දිගට ම එයාට හාස්‍ය චරිත ලැබෙන්න පටන් ගත්තා. රෝයි ද සිල්වාගේ නිර්මාණ ගණනාවක එයා රඟපෑවා. ශාන්ත සොයිසා අධ්‍යක්ෂණය කළ ‘පබා‘ නාට්‍යයේ කළ මර්වින්ගේ චරිතයත් බොහෝ ජනප්‍රිය වුණා. ඒ අතර ඔහු නිර්මාණ පහක් ම අධ්‍යක්ෂණය කළා. තිර පිටපත් රචනයත් ඔහු කළා. විශාල පිරිසක් එක්ක හිටිය ආනන්දට අද ඉන්නේ අපි විතරයි. ඔහු අද ගෙදර හුදෙකලාව සිටිනවා. අපේ රටේ කලාකරුවන්ගේ උරුමය එය යි. ඒ ගැන නම් දුකයි. ඒත් ඉතින් කවදා හරි අපි මේ ජීවිතයෙන් සමුගෙන යන්නේ තනිවමනේ. ඒ දහම ගැන හිතලා ජීවිත අවබෝධය ලබා ගන්නවා. ඒ නිසා දුක් ‍වෙන්න දෙයක් නැහැ.

තුෂාරී කළුබෝවිල(රසඳුන)

Back to top
Go to bottom