lan englan tam

පුවත්

ප්‍රවීණ කේෂලාවන්‍ය ශිල්පී ලලිත් ධර්මවර්ධන අභාවප්‍රාප්ත වෙයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ප්‍රවීණ කේෂාලංකරණ ශිල්පියෙකු වන ලලිත් ධර්මවර්ධන මහතා ඊයේ (06) පස්වරුවේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.

කලක් රෝගාතූරව සිටි ඔහු අභාවප්‍රාප්ත වන විට 75 වන වියේ පසුවූවා.

ලලිත් ධර්මවර්ධන මහතාගේ දේහය අද උදෑසන 10.00 යේ සිට සවස 03.00 දක්වා කිරිබත්ගොඩ මාකොළ සුප්‍රීම් අවමංගල්‍යය ශාලාවේ අවසන් ගෞරව දැක්වීම පිණිස තැම්පත් කොට තැබෙනු ඇති.

පහතින් දැක්වෙන්නේ ලලිත් ධර්මවර්ධන මහතාගේ දිවි ගමන පිළිබඳව කෙටි සටහනකි.

චන්ද්‍රසිරි ප්‍රනාන්දු සහ එලියට් දික්කුඹුර යුවළට දාව වැඩිමහල් දරුවා ලෙසින් වැල්ලවත්තේදී උපන් ලලිත් චන්ද්‍රතිලක ධර්මවර්ධන ප්‍රනාන්දු, ක්ෂේත්‍රයේ පසුකාලීනව ප්‍රකට වන්නේ ඔහුම ව්‍යවහාරිකව සකසාගන්නා "ලලිත් ධර්මවර්ධන" යන නාමයෙනි.

70 දශකයේ මැද භාගයේ මාලනී ෆොන්සේකාගේ කේෂාලංකරණ ශිල්පියා ලෙසින් ක්ෂේත්‍රයට එක්වන ඔහු මුල්වරට සිනමාපටයකට කේෂාලංකරණයෙන් එක් වන්නේ සුගතපාල සෙනරත් යාපා අධ්‍යක්ෂණය කළ "ඉන්දුට මල් මිටක්" චිත්‍රපටයෙනි.

ඉන්පසුව මාලිනී ෆොන්සේකා සමග චිත්‍රපට ගණනාවකටම සම්බන්ධ වීමේ වරම් ලද හෙතෙම මාලිනී ෆොන්සේකා සමග දකුණු ඉන්දීය සුපිරි නළු සිවාජි ගනේෂන් එක්ව රංගනය කළ "පයිලට් ප්‍රේම්නාත්" චිත්‍රපටයේ ද කේෂාලංකරණ ශිල්පියා ලෙස කටයුතු කරනු ලැබීය.

මේ හරහා ක්ෂේත්‍රයේ තම වෘත්තිමය වටිනාකම තහවුරු කරගත් ලලිත් ධර්මවර්ධනයන් "යළි හමුවෙන්නයි", "නැවත හමුවෙමු", "ක්‍රිස්තු චරිතය", "පූජා", "බැද්දෙගම", "අවරගිර", "ආකාස කුසුම්", "මචං", "කුසපබා", "අබා" වැනි චිත්‍රපට ගණනාවකම කේෂාලංකරණ කටයුතු සිදු කළ ඔහු, "පිටගම්කාරයෝ", "කඩුල්ල", "රැජින", "පුරසක්මන" සහ "අඹු දරුවෝ" වැනි සුවිශේෂී ටෙලිනාට්‍ය නිර්මාණ 14කට පමණ ද කේෂාලංකරණයෙන් දායක වී තිබෙනවා.

රුක්මණි දේවියගේ සිට බොහෝමයක් රංගන ශිල්පිණියන්ගේ කේෂාලංකරණ ශිල්පියා ලෙස කටයුතු කොට ඇති ලලිත් ධර්මවර්ධන විදෙස් චිත්‍රපට රැසකට ද කේෂාලංකරණ ශිල්පියා ලෙස එක් වී තිබෙනවා. මේ දිනවල ද බොහෝ දෙස් විදෙස් පැසසුම් ලබන දීපා මෙහෙතාගේ "ෆනී බෝයි" චිත්‍රපටයේ ද කේෂාලංකරණය ලලිත් ධර්මවර්ධනයන්ගේ වන අතර එය ඔහුගේ කලා ජීවිතයේ සුවිශේෂී ස්ථානයක් සනිටුහන් කළේය.

 

Lalith Dharmarathna. photo e

 

චායාරූපය - දයාන් විතාරණ විසින් ගනු ලැබූවකි.

 

 

kemadasa

shungara

Back to top
Go to bottom