චන්ද්‍ර මාස යනු අපේ පැරණි මාස ක්‍රමයයි.
උපදින්නෙත් හඳට,
මැරෙන්නෙත් හඳට,
පිස්සු හැදෙන්නෙත් හඳට,
බුදු වෙන්නෙත් හඳට,
එය ආසියාතික අපේ විශ්වාසයයි.
හඳේ චක්‍රයටත් ගැහැණියගේ ඔසප් චක්‍රයටත් ගත වන්නේ දින 28කි. මේ ස්වභාව ධර්මයේ දේශපාලනයයි.
28 කතා සාරංශය
දූෂණයකර මරා දමා ඇති ගැහැණියකගේ මළසිරුරක් හඳුනාගැනීමට පොලීසියෙන් ආරාධනාවක් ලබන අබසිරි (50) සහ මනී (25) පිටිසර ගමක සිට අගනුවරට පැමිණෙයි.
විවාහයෙන් තෙමසකට පසුව තමා අතහැර ගිය තම බිරිඳ වූ සුද්දිව, අබසිරිට අවුරුදු 15 කට පසුව කොළඹ මහ රෝහලේ මෘත ශරීරාගාරයේ දී හමුවෙයි.
මුදල් අත නොමැති අබසිරි තමා දන්නා සියලු සටකපටකම් යොදා,හිස් මිනී පෙට්ටියක් පමණක් රැගෙනයන බව පවසමින් රියදුරු (ලෙනින්) මුලා කොට, කුඩා අයිස්ක්‍රීම් වෑන්රියක හුඞ්රැකයේ මිනී පෙට්ටිය තබාගෙන ගම බලා පිටත් වෙයි
රියදුරු සන්තර්පනය කිරීමට මත් පැන් පානය කරමින් ගමන් කරන වෑන් රියෙන් මිනී පෙට්ටිය බිමට වැටෙයි.
සියල්ල හෙළි වෙයි.
තමන් රවටා, තමන්ට හොරා තම වාහනයේ මිනියක් රැගෙන ඒම ගැන දැඩි ලෙස උරන වන රියදුරු ලෙනින්, සුද්දිගේ මිනිය දැකීමෙන් පසු තර්කයකින් තොරව මිනිය රැගෙන යාමට එකඟ වෙයි.
මිනිය නිවසට රැගෙන එනවිට පුවත්පත් සහ කටකතා මගින් තමන්ට වඩා මරණය ගැන දැනුවත් වී සිටින ගම්මුන් ඉදිරියේ අබසිරි අසරණ වෙයි. අවමංගල්‍ය සභාව අමතන සුද්දී, තමා දැන් මියගිය ගැහැණියක බැවින් තමාට බියක් නැතිව ඇත්ත කිවහැකි බව පවසා, සියලු ගැහැණුන්, පිරිමින් වෙනුවෙන් පාපොච්චාරණයක යෙදෙයි.