ප්‍රවීණ ගායන ශිල්පියෙකු මෙන්ම සංගීතවේදියෙකු වූ රාජු බණ්ඩාර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
කලක පටන් රෝගාතූරව ප්‍රතිකාර ලබමින් සිටි හෙතෙම මියයන විට 65 වැනි වියේ පසුවිය.
වර්ෂ 1960ක් වූ අප්‍රේල් මස 14 වන දින කෑගල්ලේදී උපත ලැබූ රාජු බණ්ඩාර මහතා ලංකාවේ ප්‍රකට කලා පවුල් පසුබිමකින් පැවත එන්නෙකි. ප්‍රවීණ ගායිකා චන්ද්‍රා බණ්ඩාර මහත්මියගේ පුතනුවන් වූ ඔහු, ජනප්‍රිය සංගීතඥ මහින්ද බණ්ඩාරගේ ආදරණීය සොහොයුරා ද විය.
කෑගලු මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබන අවධියේදීම ‘Dark Shadows’ සංගීත කණ්ඩායමේ ලීඩ් ගිටාර් වාදකයෙකු ලෙස කලා ලොවට පිවිසි ඔහු, පසුකාලීනව සිය මාමා වන ප්‍රේමනාත් කොඩිතුවක්කු මහතාගේ ආභාෂය ද ඇතිව සංගීතය ස්වකීය ජීවිතය කර ගත්තේය.
පාසල් අධ්‍යාපනයෙන් පසු රූකාන්ත ගුණතිලක මහතා සමඟ එක්ව ‘නයග්‍රා’ (Nayagra) නම් බටහිර සංගීත කණ්ඩායම නිර්මාණය කරමින් සංගීත ක්ෂේත්‍රයේ කටයුතු කළ ඔහු ස්ටැන්ලි පීරිස් මහතාගේ ඇරයුමින් ප්‍රකට ‘පෝචූන්ස්’ (Fortunes) කණ්ඩායමට එක්ව කීර්ති පැස්කුවල් සමඟ එක්ව කටයුතු කිරීම ඔහුගේ සංගීත දිවියේ සුවිශේෂී සන්ධිස්ථානයක් විය.
කණ්ඩායම් සංගීතයෙන් ඔබ්බට යමින් ඒ මහතා ඒක පුද්ගල ගායන ශිල්පියෙකු ලෙස ස්ථාවර වන්නේ 1993 වසරේදී නිකුත් කළ ‘මං ආදරේ රන් සීනු’ ඇල්බමය හරහාය. ‘මා ආදරෙයි මුළු ලොවටත් වඩා’, ‘ඔය රූ සෝබා’, ‘රන් සීනු නාද දී’, ‘හද වේදනාව’, ‘කවුදෝ මගේ ලොවේ’ සහ ‘රෝස මල් කුමාරි’ වැනි අතිශය ජනප්‍රිය ගීත රැසක් මෙරට රසිකයන්ට දායාද කිරීමට ඔහු සමත් විය. එමෙන්ම තම මව සමඟ ඔහු ගායනා කළ ‘හද ගී පොතේ පිටුවක් ඉරා’ ගීතය ද රසිකයන් අතර ඉමහත් ආදරයට පාත්‍ර විය.
ගායනයට හා වාදනයට පමණක් සීමා නොවූ රාජු බණ්ඩාර මහතා රංගන ක්ෂේත්‍රයේ ද තම කුසලතා විදහා දැක්වීය. ‘දිය කැට පහණ’ ටෙලි නාට්‍යයේ ඔහු ඉදිරිපත් කළ රංගනය වෙනුවෙන් හොඳම නැඟී එන නළුවා ලෙස නිර්දේශ වීමට ද ඔහු භාග්‍යවන්ත විය. මෑත කාලීනව දෙරණ රූපවාහිනියේ විකාශය වූ සංගීත වැඩසටහන් රැසකට සහභාගී වූ ඔහු 2024 වසරේදී ‘දන්නවද ඔයා’ නමින් නවතම ගීත ඇල්බමයක් ද නිකුත් කරමින් අවසන් කාලය දක්වාම සංගීතය තුළ සක්‍රීයව රැඳී සිටි කලාකරුවෙකි.
රාජු බණ්ඩාර මහතාගේ දේහය 16වන සිකුරාදා උදෑසන 10.00 සිට මහජන ගෞරවය සදහා බොරැල්ලේ ජයරත්ත මල්ශාලාවේ තැන්පත් කෙරෙන අතර 17වන සෙනසුරාදා සවස 5.00ට බොරැල්ල පොදු සුසාන භුමියේදි අවසන් කටයුතු සිදුකිරීමට නියමිතයි.
තොරතුරු - අසංක නවරත්න (Asanka Navarathna)




